TIN අංකය මේ දිනය දක්වා කල්දමයි – හදිසි වුණු ජනතාවට දැනුම්දීමක්
2027 අප්‍රේල් 1 වනදා දක්වා යම් යම් ගනුදෙනු සඳහා අනිවාර්ය බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ අංකය (TIN) ලබා ගැනීමේ අවශ්‍යතාවය ක්‍රියාත්මක කිරීම කල් දමා ඇත.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මීට පෙර අදාළ නිලධාරීන් වෙත දැනුම් දී තිබුණේ නිශ්චිත ගනුදෙනු වර්ග අටකට අදාළ කටයුතුවල නිරත වන පුද්ගලයින්, නොවැම්බර් 1 වනදා සිට වලංගු TIN සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවයි.
නමුත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වාර්තා කළේ මෙම ගනුදෙනුවල නිරත වන පුද්ගලයින්ගෙන් මෙන්ම වෙනත් පාර්ශ්වයන්ගෙන් ද TIN සහතික ලබා ගැනීම සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බවයි.
ඒ අනුව මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සහ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව, එම කාලසීමාව 2027 අප්‍රේල් 1 වනදා දක්වා දීර්ඝ කර තිබේ.
මෙම දීර්ඝ කරන ලද කාලසීමාව තුළ, දැනටමත් ලියාපදිංචි වී සිටින පුද්ගලයින්ට තම TIN සහතික ලබා ගැනීම පහසු කිරීම සඳහා දෙපාර්තමේන්තුව විසින් විකල්ප ක්‍රියා පටිපාටි හඳුන්වා දෙනු ඇත.
මේ අතර, තවමත් TIN අංකය ලබාගෙන නොමැති පුද්ගලයින්ට, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විද්‍යුත් සේවා ද්වාරය (e-services portal) හරහා අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වන ලෙස දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා උපදෙස් ලබා දී තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

