LAUGFS ගෑස් පාරිභෝගිකයින්ට සුබ ආරංචියක්

Editorial Staff by Editorial Staff -
1,183 views 0 comments

2026 නොවැම්බර් මාසය තුළ ශ්‍රී ලංකාවට LPG ගෑස් නැව්ගත කිරීම් තුනක් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ලාෆ්ස් ගෑස් (LAUGFS Gas) සමාගම නිවේදනය කරයි. එමෙන්ම හම්බන්තොට පිහිටි සිය LPG පර්යන්තය දේශීය වෙළෙඳපොළට ගෑස් සැපයීම සඳහා යොදා ගැනීමට අවශ්‍ය අනුමැතීන් ලබාගැනීම වෙනුවෙන් අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවද සමාගම සඳහන් කරයි.

වර්තමානයේ පවතින ගෑස් සැපයුම් බාධා හේතුවෙන් පාරිභෝගිකයන් මුහුණ දෙන අපහසුතා පිළිබඳව කනගාටුව පළ කරන සමාගම, සැපයුම් කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බව අවධාරණය කර තිබේ.

නොවැම්බර් මාසයේදී දිවයිනට ළඟාවීමට නියමිත LPG නැව්ගත කිරීම්

නොවැම්බර් 12 – 14: OQT සැපයුම්කරු – හම්බන්තොට වරාය.

නොවැම්බර් 15 – 17: Geogas සැපයුම්කරු – කොළඹ වරාය.

නොවැම්බර් 24 – 28: OQT සැපයුම්කරු – හම්බන්තොට වරාය.

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ප්‍රවාහන බාධා හේතුවෙන් ගෝලීය LPG සැපයුම් දාමයට බලපෑම් එල්ල වී ඇති බවද සමාගම පෙන්වා දෙයි.

මෙවැනි තත්ත්වයන් හමුවේ මෙරට ගෑස් සැපයුම් සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් හම්බන්තොට පිහිටි මෙට්‍රික් ටොන් 30,000ක ගබඩා ධාරිතාවකින් යුත් ආනයන හා අපනයන LPG පර්යන්තය ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 65ක ආයෝජනයක් සිදුකර ඇති බවද ලාෆ්ස් සමාගම සඳහන් කරයි.

කෙසේ වෙතත්, ආයෝජන මණ්ඩලයේ (BOI) ‘Commercial Hub’ රාමුව යටතේ පවතින කොන්දේසි සහ අතීත ආර්ථික අර්බුද හේතුවෙන් ප්‍රතිඅපනයන කටයුතු අපේක්ෂිත මට්ටමින් පවත්වාගෙන යාමට නොහැකි වීම නිසා මෙම පර්යන්තය දේශීය වෙළෙඳපොළට ගෑස් සැපයීම සඳහා භාවිත කිරීම සීමා වී ඇති බව සමාගම පවසයි.

ඒ අනුව, හම්බන්තොට පර්යන්තය දේශීය ගෑස් සැපයුම් කටයුතු සඳහා යොදා ගැනීමට මාස තුනක තාවකාලික අවසරයක් ලබාදෙන ලෙස සමාගම ඉල්ලීමක් කර තිබේ.

මීට අමතරව, දැනට පවතින ‘Hub’ තත්ත්වයෙන් ඉවත්ව, අදාළ බදු සහ තීරුබදු ගෙවීමට යටත්ව පර්යන්තය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මෙහෙයුම් ක්‍රමවේද සකස් කරමින් සිටින බවද සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත අදාළ අනුමැතීන් සතියක් ඇතුළත ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස භාණ්ඩාගාර ලේකම්වරයාට දැනුම් දී ඇති බව ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා තහවුරු කර ඇති නමුත්, මේ දක්වා එම අවසර ලබාදී නොමැති බව ලාෆ්ස් සමාගම පෙන්වා දෙයි.

මේ අතර, 2027 ජනවාරි මාසයේ සිට කොළඹ වරාය වෙත සෘජුව LPG ගෙන්වීමේ අරමුණින් නව ටෙන්ඩරයක් ද කැඳවා ඇති බව සමාගමේ නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම ජාත්‍යන්තර සම්බාධක සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින්, ලාෆ්ස් ගෑස් පීඑල්සී (LAUGFS Gas PLC) සහ ලාෆ්ස් ටර්මිනල්ස් ලිමිටඩ් (LAUGFS Terminals Limited) යන සමාගම් ඇමරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය (OFAC) විසින් සම්බාධක පනවා ඇති ආයතන ලෙස නම් කර නොමැති බවද සමාගම අවධාරණය කර තිබේ.

අවශ්‍ය නියාමන අනුමැතීන් ලැබීමෙන් අනතුරුව ගෑස් බෙදාහැරීමේ කටයුතු ක්‍රමානුකූලව යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ලාෆ්ස් ගෑස් සමාගම පාරිභෝගිකයන්ට වැඩිදුරටත් දැනුම් දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?