නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයේ සේවාවන්වලට පැමිණෙන ඔබට විශේෂ දැනුම්දීමක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මගින් සපයනු ලබන සියලුම මහජන සේවාවන්, ලබන සඳුදා (23) සිට පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රමවේදය යටතේ පමණක් සිදු කිරීමට තීරණය කර තිබේ.
මහජනතාවගේ පහසුව සඳහා පෙර ලබා දී තිබූ දෛනික පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ අවස්ථා සංඛ්‍යාව මේ වන විට දෙගුණයකටත් වඩා වැඩි කිරීමට දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් තුෂාර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
මේ හරහා පෙරට වඩා වැඩි සේවාලාභීන් පිරිසකට දෛනිකව කඩිනමින් සිය සේවාවන් ඉටුකර ගැනීමට අවස්ථාව සැලසේ.
ඒ අනුව, සේවාලාභීන්ට 011 2 117 116 යන දුරකථන අංකය ඇමතීමෙන් හෝ https://dmtappointments.dmt.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තමන්ට පහසු වේලාවක් කල්තියා වෙන්කර ගත හැකිය.
සඳුදා සිට නාරාහේන්පිට ප්‍රධාන කාර්යාල පරිශ්‍රය අසල උදෑසන සිට අනවශ්‍ය ලෙස පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙසත්, කාලය ඉතිරි කර ගැනීම වෙනුවෙන් හඳුන්වා දී ඇති මෙම පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රමවේදය පමණක් අනුගමනය කරන ලෙසත් කොමසාරිස් ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

