ලාංකිකයන්ට කොරියාවේ රැකියා අධ්‍යාපනය හා ස්ථිර පදිංචිය – අලුත්ම ගිවිසුමක් අත්සන් කරයි
අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය සහ රැකියා අවස්ථා පුළුල් කිරීම අරමුණු කරගත් බහුපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමකට මෙරට කම්කරු අමාත්‍යාංශය ඇතුළු පාර්ශ්ව පහක් දකුණු කොරියාවේ චැංවොන් ප්‍රදර්ශන සම්මේලන මධ්‍යස්ථානයේදී අත්සන් තබා ඇත.
කම්කරු අමාත්‍යාංශයට අමතරව ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය, ග්යොන්ග්සංනම්-ඩෝ පළාත් රජය, චැංෂින් විශ්වවිද්‍යාලය සහ සචියොන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය ගිවිසුමට එක් විය.
ගිවිසුම මගින් ශ්‍රී ලාංකික සිසුන්ට උසස් අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, කාර්මික ශ්‍රම බලකා සංවර්ධනය සහ දකුණු කොරියාවේ ස්ථිර පදිංචිය ආදී සුවිශේෂ අවස්ථා නිර්මාණය වේ.
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ මූලිකත්වය ගත් අතර, ඊට කම්කරු අමාත්‍යාංශ ලේකම් එස්. එම්. පියතිස්ස සහ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ අධ්යක්ෂ ජනරාල් දුමින්ද ජයලත් යන මහත්වරුන් ද සහභාගී වී සිටියේය.
කොරියානු පාර්ශ්වය නියෝජනය කළේ ග්යොන්ග්සංනම්-ඩෝ අධ්‍යාපන හා යෞවන කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් කිම් සොං-ග්යු , සචියොන් මණ්ඩලයේ සභාපති හ්වං තේ-බු සහ චැංෂින් විශ්වවිද්‍යාලය වෙනුවෙන් ANCHOR ව්‍යාපෘති කණ්ඩායමේ අධ්යක්ෂ ලී ජේ-හක් ය.
ශ්‍රී ලංකාව සහ චැංෂින් විශ්වවිද්‍යාලය අතර මේ වන විටත් ස්ථාපිත අධ්‍යාපනික සහයෝගිතාව හේතුවෙන් ශ්‍රී ලාංකික සිසුන්ට දකුණු කොරියාවේ අධ්‍යාපන අවස්ථා උදා කර ගැනීමට හැකි වී ඇති අතර නව ගිවිසුම මගින් එම අවස්ථා තවදුරටත් ශක්තිමත් කරමින් පුළුල් කෙරේ.
මෙම ගිවිසුම අත්සන් කිරීම, අධ්‍යාපනය, වෘත්තීය ආරක්ෂාව, වෘත්තීය කුසලතා සහ කාර්මික සංවර්ධනය එකිනෙක සම්බන්ධ කරන ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් පුළුල් කිරීමේ ශ්‍රී ලංකාවේ උත්සාහයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වේ. මෙම සහයෝගිතාව, අනාගත ඒකාබද්ධ ව්‍යාපෘති, ආයතනික හුවමාරු සහ ශ්‍රී ලංකාවට මෙන්ම කොරියා ජනරජයට ද ප්රතිලාභ ගෙන දෙන ව්‍යුහගත අධ්‍යාපනයෙන් රැකියා කරා යන මාර්ග සඳහා පුළුල් පදනමක් නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා වේ.
රජය, අධ්‍යාපන ක්ෂේත්රය සහ කර්මාන්තය ඒකාබද්ධ කරමින් අන්තර්ජාතික වශයෙන් නිපුණ මානව සම්පත් සංවර්ධනය කිරීමේ පොදු කැපවීමක් මෙම ගිවිසුමෙන් පිළිබිඹු වන අතර, රටවල් දෙක අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය ද එමගින් තවදුරටත් ශක්තිමත් වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

