ජනාධිපති අරමුදලෙන් රෝගීන් සඳහා ලබා දෙන දීමනාව 50% සිට 100% දක්වා වැඩි කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
2022 වසරේ අගෝස්තු මස වන විට ජනාධිපති අරමුදල වෙත ලැබුණු හෘද රෝග හා වකුගඩු රෝගීන් 8000කට අධික පිරිසකගේ ඉල්ලීම් ගොඩ ගැසී තිබුණු බවත්, ඒ සියල්ල එම වර්ෂය තුළ ම ගෙවීමටත්, ගෙවීම් කිරීමේ දී අදාළ දීමනාව 50% සිට 100% දක්වා වැඩිකිරීමට පියවර ගත් බවත්, ඉල්ලුම් පත්‍රයක් ලැබී සතියක් තුළ අදාළ දීමනා සඳහා ප්‍රතිපාදන වෙන් කරන තත්වයට එම කටයුතු කඩිනම් කිරීමට වත්මන් රජය යටතේ පියවර ගත් බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.
ජනාධිපති අරමුදල මගින් දැයේ පාසැල් දරුවන් සඳහා ලබා දෙන ශිෂ්‍යාධාර වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සිසු දරු දැරියන් 4000ක් වෙත ශිෂ්‍යාධාර දීමනා සහ පාසල් පොත් සහිත බෑග ලබා දීම සඳහා අද (16) පැවති ජාතික උත්සවයට සහභාගි වීමට පෙර මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.
ජනාධිපති අරමුදල මගින් හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසු දරු දැරියන් 1,16000 ක් සඳහා ශිෂ්‍යාධාර ලබා දීමට වත්මන් රජය කටයුතු කරන බවත් අනාගත පරපුර වෙනුවෙන් සිදු කරන මෙම ආයෝජනය රටේ ඉදිරි ගමන පිළිබඳ වන සාධනීය සාධකයක් බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.
මීට වසර දෙකකට පෙර ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභ ලබා දුන් ආකාරය කෙරෙහි අවධානය යොමු කළහොත්, පැහැදිලි වන කරුණ වන්නේ.
සෞඛ්‍යමය හේතු සම්බන්ධයෙන් උදව් අවැසි පුරවැසියන්ට සහන ලබා දීමට, විශේෂයෙන් හෘද රෝග සැත්කම් සඳහා ආධාර ලබාදීමට මෙම අරමුදල් ප්‍රතිපාදන වැඩි ප්‍රමාණයක් වෙන් කිරීමට සිදුවීම බව පැවසූ අමාත්‍යවරයා, එහි දී එම ආධාර මුදල් ලබාදීම තුළ විශාල ප්‍රමාදයක් පැවති බව ප්‍රකාශ කර සිටියා.
එමෙන්ම විනිවිදභාවයෙන් හා ඉතා සාධාරණ ක්‍රම වේද අනුගමනය කරමින් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාම වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව 116000ක් ලබාදීමට හැකිවීම අභිමානවත් කරුණක් බවත්, වත්මන් රජය මේ අයුරින් දැයේ දරුදැරියන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමට සහාය ලබා දෙමින් ඇති කරමින් සිටින වෙනස ඉතා සුබවාදී බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.