බැලුම්ගල හෙළි කළ පිරමීඩ වංචා 03 ක් ගැන මහ බැංකුව නඩු මඟට
නෙත් එෆ් එම් බැලුම්ගල විසින් හෙළි කෙරුණු මහා පරිමාණ මූල්‍ය වංචා 03 ක් සම්බන්ධයෙන් නඩු කටයුතු ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ඒ, ෆාස්ට් ත්‍රී සයිකල් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම හෙවත් “එෆ් ත්‍රී.සී”, ස්පොර්ට් චේන් ඇප් සහ ඔන්මැක්ස් ඩීටී යන ආයතනවලට එරෙහිවයි.
මෙම ආයතන පිරමීඩ පන්නයේ තහනම් මූල්‍ය යෝජනා ක්‍රම පවත්වාගෙන යමින් පුද්ගලයින් රවටා වංචා සිදුකරන බවට නෙත් එෆ් එම් බැලුම්ගල අවස්ථා ගණනාවකදී පෙන්වා දුන්නා. අනාවරණවලට සීමා නොවී අදාළ සාක්ෂි ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉදිරිපත් කිරීමට ද බැලුම්ගල කටයුතු කළා.
“එෆ් ත්‍රී.සී” සහ ස්පොර්ට් චේන් ඇප් යන ආයතන මේ වන විටත් වසාදමා ඇති අතර ඒවායේ ආයෝජනය කළ මුදල් අහිමිවී අගතියට පත් පිරිස දහස් ගණනක්. විමර්ශන සිදුකර වංචනික ආයතනවලට එරෙහිව සුදුසු පියවර ගන්නැයි ඉල්ලා ඔවුන් මඟින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට ද බැලුම්ගල කටයුතු කළා.
ඒ අනුව විමර්ශන ආරම්භ වූ අතර “එෆ් ත්‍රී.සී”, ස්පොර්ට් චේන් ඇප් සහ ඔන්මැක්ස් ඩීටී යන ආයතන පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම පවත්වාගෙන යන බව එහිදී තහවුරුවූ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.
මෙම යෝජනා ක්‍රම මඟින් 1988 අංක 30 දරණ බැංකු පනතේ 83 ඈ වගන්තිය උල්ලංඝනය වන බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව අදාළ ආයතන, ඒවායේ අධ්‍යක්ෂවරුන්, ප්‍රවර්ධකයන් සහ නිර්මාතෘවරුන්ට එරෙහිව නඩු කටයුතු ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ සඳහා කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබෙනවා. ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසුව ප්‍රචාරය කෙරෙන නෙත් එෆ් එම් බැලුම්ගල අද වැඩසටහනෙන් තවදුරටත් සාකච්ඡා කෙරෙන්නේද මේ පිළිබඳවයි.