කොරියාවේ ඉගෙනගෙන, ජොබ් කරලා, දිගටම පදිංචි වෙන්න ශ්රී ලාංකික සිසුන්ට රන්මය අවස්ථාවක්
දකුණු කොරියාවේ උසස් අධ්යාපනය හැදෑරීමට ශ්රී ලාංකික සිසුන්ට අවස්ථාව ලබා දීමත්, ඉන් අනතුරුව රැකියා සහ දිගුකාලීන පදිංචි අවස්ථා සලසා දීමත් අරමුණු කරගත් නව අවබෝධතා ගිවිසුමකට අමාත්ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මෙම ගිවිසුම යටතේ, ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්ය ආයතනය (NIOSH) හරහා තෝරාගනු ලබන ශ්රී ලාංකික සිසුන්ට දකුණු කොරියාවේ චැංෂින් (Changshin) විශ්වවිද්යාලයේ උසස් අධ්යාපනය හැදෑරීමේ අවස්ථාව හිමිවනු ඇත.
එමෙන්ම, දකුණු කොරියාවේ ගියොංසංනම්-දෝ (Gyeongsangnam-do) පළාතේ කර්මාන්ත ආයතනවල රැකියා අවස්ථා ලබාදීම සහ එම පළාතේ දිගුකාලීනව පදිංචි වීමට අවශ්ය අවස්ථා සලසා දීම ද මෙම වැඩසටහනේ ප්රධාන අරමුණු අතර වේ.
රජයේ තොරතුරුවලට අනුව, ශ්රී ලංකා කම්කරු අමාත්යාංශය, NIOSH ආයතනය, දකුණු කොරියාවේ ගියොංසංනම්-දෝ පළාත් බලධාරීන්, සාචොන් (Sacheon) වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ චැංෂින් විශ්වවිද්යාලය යන පාර්ශ්ව පහේ සහභාගීත්වයෙන් මෙම නව අවබෝධතා ගිවිසුම සහ ඊට අදාළ මෙහෙයුම් රාමුව සකස් කර තිබේ.
මීට පෙර, වෘත්තීය පුහුණුව සහ ශිෂ්ය හුවමාරු වැඩසටහන් ක්රියාත්මක කිරීමේ අරමුණින් NIOSH ආයතනය සහ චැංෂින් විශ්වවිද්යාලය අතර 2023 වසරේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබුණි.
කෙසේ වෙතත්, එම ගිවිසුමේ ඇතුළත් ඇතැම් විධිවිධාන සම්බන්ධයෙන් මතුවූ ගැටලු හේතුවෙන් එය ක්රියාත්මක කිරීමට නොහැකි වී ඇත. ඒ අනුව, අදාළ ගැටලු නිරාකරණය කරමින් සංශෝධිත ගිවිසුමක් සහ නව මෙහෙයුම් රාමුවක් සකස් කිරීමට පියවර ගෙන තිබේ.
පාර්ශව පහේ සහභාගීත්වයෙන් සකස් කළ මෙම නව ගිවිසුම ඉදිරියට ක්රියාත්මක කිරීම සඳහා කම්කරු අමාත්යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?

