මේ සිසුන්ගේ මාසික දීමනාව ඉහළට – මාසික දීමනාව රු.20000 දක්වා ඉහළ නංවන බව ජනපති කියයි

Editorial Staff by Editorial Staff -
2 views 0 comments

අද(12) දින පාර්ලිමේන්තුවේදී මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2027 වසර සඳහා වන අයවැය කතාව ඉදිරිපත් කිරීම සිදු කරයි.

එහිදී ඔහු පවසා සිටියේ රටේ අධ්‍යාපන අංශය වැඩි දියුණු කල යුතු බවත් ඒ සඳහා අවශ්‍ය සංවර්ධන කටයුතු . දීමනා හා සහනාධාර පිළිබඳව මෙවර 2027 වසරට අදාළ අයවැයෙන් සලකා බලා ඇති බවත්ය.

ඒ අනුව, ගුරු අභ්‍යාස විද්‍යාල වල ඉගෙනුම ලබන ශිෂ්‍යයන් සඳහා මේ වනවිට ලබාදෙන රුපියල් 10,500 මාසික දීමනා රුපියල් 20,000 දක්වා ඉහළ නැංවීමට අයවැයෙන් කටයුතු කරන බවයි මීට අමතරව භික්ෂු ශිෂ්‍යයන් සඳහා ලබාදෙන දෛනික දීමනාව රුපියල් 15 සිට රුපියල් 50 දක්වා වැඩි කිරීමටත්, ගිහි සිසුන්ට අමතර දීමනාවක් ලබාදීමටත් සැලසුම් කර ඇති බවයි.

චීනයේ මූල්‍ය ආධාර යටතේ පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඔහු පැවසූ අතර මේ වන විට පාසල් 6,000කට වැඩි සංඛ්‍යාවකට අන්තර්ජාල පහසුකම් ලබාදී ඇති අතර, එම පහසුකම් සියලු පාසල් වෙත ව්‍යාප්ත කිරීමට රජය සැලසුම් කර ඇත.

විශේෂයෙන් අන්තර්ජාල පහසුකම් නොමැති ප්‍රාථමික පාසල් 4,000කට ආසන්න සංඛ්‍යාවකට අන්තර්ජාල පහසුකම් ලබාදීමට නියමිතයි. ඊට අමතරව, නවීන තාක්ෂණය යොදාගෙන ඉගැන්වීම් කටයුතු සිදුකිරීම සඳහා ස්මාර්ට් පුවරු ඇතුළු උපකරණ පාසල් වෙත ලබාදීමටද පියවර ගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම ගුරුවරුන්ගේ ඩිජිටල් දැනුම සහ තාක්ෂණික හැකියාවන් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවද ඔහු අවධාරණය කළා. පාසල් සහ ගුරු අභ්‍යාස විද්‍යාලවල ගොඩනැගිලි හා අනෙකුත් පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 35,000ක මුදලක්ද මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා.

මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වන්නේ සියලු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම සහ පාසල් අධ්‍යාපනය නවීන තාක්ෂණය සමඟ ඉදිරියට ගෙන යාමයි. එමෙන්ම 2 සහ 6 ශ්‍රේණි සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?