පාසල් අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක්
පාසල් සිසුන්ගේ මූල්‍ය දැනුම හා ව්‍යවසායකත්ව කුසලතා වර්ධනය කිරීමේ අරමුණින්, 2027 වසරේ සිට 6 ශ්‍රේණියේ විෂය නිර්දේශයට ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව ඇතුළත් කිරීමට රජය තීරණය කර තිබේ. මූල්‍ය වංචාවලින් තරුණ පරපුර ආරක්ෂා කිරීම සහ වගකීම් සහගත මූල්‍ය තීරණ ගැනීමට අවශ්‍ය දැනුම ලබාදීම ද මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන අරමුණක් වේ. අ
ග්‍රාමාත්‍යවරිය මෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය වන ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙම කරුණු අනාවරණය කළේ අඟහරුවාදා (10) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති උත්සවයකදීය
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන පරිදි, මෙම වැඩපිළිවෙළ හරහා සිසුන්ට අත්‍යවශ්‍ය මූල්‍ය දැනුම හා ප්‍රායෝගික කුසලතා ලබාදීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම ආර්ථික ක්‍රියාකාරකම් සඳහා වැඩි පිරිසකගේ සහභාගීත්වය දිරිමත් කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම ද මෙහි තවත් අරමුණකි.
මෙතෙක් වාණිජ අධ්‍යාපනය ප්‍රධාන වශයෙන් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ වාණිජ විෂය ධාරාවන්ට සීමා වී තිබුණ ද, ඉදිරියේදී එය සියලු සිසුන්ට වැදගත් වන ජීවන කුසලතාවක් ලෙස 6 ශ්‍රේණියේ සිටම හඳුන්වා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
විශේෂයෙන්ම තරුණ පරපුර ඇතුළු සමස්ත මහජනතාව මූල්‍ය වංචාවලට ගොදුරු වීමෙන් වළක්වා ගැනීම සඳහා රට තුළ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම අත්‍යවශ්‍ය කරුණක් බව ද ඇය අවධාරණය කළාය.
මේ අතර, 2026 සිට 2028 දක්වා කාලය තුළ අදියර තුනක් යටතේ දිවයින පුරා ක්‍රියාකාරකම් පදනම් කරගත් වාණිජ ඉගෙනුම් මධ්‍යස්ථාන 100ක් ස්ථාපිත කිරීමට ද රජය සැලසුම් කර තිබේ. එහි පළමු අදියර යටතේ මේ වසරේදී දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 25ක් පිහිටුවීමට නියමිතය.
වාණිජ අධ්‍යාපනය න්‍යායාත්මක දැනුමට පමණක් සීමා නොකර, ප්‍රායෝගික අත්දැකීම් සහ ක්‍රියාකාරකම් ඔස්සේ ඉගෙනීමට සිසුන්ට අවස්ථාව සැලසීම මෙම මධ්‍යස්ථානවල අරමුණයි.
රජයේ අපේක්ෂාව සියලු දෙනා ව්‍යවසායකයන් බවට පත් කිරීම නොවන බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, නිෂ්පාදන පදනම් කරගත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ආර්ථික ක්‍රියාකාරකම්වලට වැඩි පිරිසකගේ දායකත්වය ලබාගැනීම වැදගත් බව පෙන්වා දුන්නාය.
එමෙන්ම, ව්‍යවසායකත්වය යනු ලාභ ඉපැයීමේ අරමුණට පමණක් සීමා නොවිය යුතු බවත්, පරිසර සංරක්ෂණය, සමාජ වගකීම සහ මානුෂීය වටිනාකම්වලට ගරු කරන ව්‍යවසායක පරපුරක් බිහි කිරීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතු බවත් ඇය සඳහන් කළාය.
දිවයින පුරා පැවති වාණිජ දැනුම පිළිබඳ ප්‍රශ්න විචාරාත්මක තරගාවලියේ සහ ව්‍යවසායකත්ව කුසලතා තරගාවලියේ ජයග්‍රාහකයන් ඇගයීම සඳහා සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී සිසුන් වෙත සම්මාන සහ සහතික පත්‍ර ප්රදානය කිරීම ද සිදු විය.
මීට අමතරව, පාසල් වාණිජ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ ප්‍රායෝගිකත්වය ඉහළ නැංවීමේ අරමුණින් සකස් කළ නව ඉගැන්වීම් ක්‍රමවේද ඇතුළත් අතිරේක ඉගෙනුම් මාර්ගෝපදේශ සහ අධ්‍යයන මොඩියුල කිහිපයක් ද මෙහිදී එළිදක්වන ලදී.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

