නොවැම්බර් 30 ට පෙර මේක නොකළොත් කිසිදු ආදායමක් නැතත් රු ලක්ෂ 4ක් දක්වා දඩ..

Editorial Staff by Editorial Staff -
1,422 views 0 comments

නොවැම්බර් 30 වැනිදාට පෙර සිය ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වන බදු ගෙවන්නන්ට, ප්‍රකාශ කිරීමට කිසිදු ආදායමක් නොමැති වුවද රුපියල් 50,000 සිට රුපියල් 400,000 දක්වා වූ දඩ මුදල්වලට මුහුණ දීමට සිදුවිය හැකි බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2025/2026 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා භාරදීමේ අවසන් දිනය නොවැම්බර් 30 වැනි දින බව සඳහන් කළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නන්දන කුමාර මහතා, එම කාලසීමාව මඟහරින පුද්ගලයින්ට පවතින බදු නීති යටතේ දඬුවම්වලට ලක්වීමට සිදුවනු ඇති බවට ද අනතුරු අඟවා ඇත.

එසේම අදාළ වර්ෂය තුළ කිසිදු ආදායමක් උපයා තිබුණද නැතද, නීත්‍යානුකූලව බදු වාර්තාවක් ඉදිරිපත් කිරීමට බැඳී සිටින පුද්ගලයින් එම වගකීම අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම නියමිත වාර්තාව ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් අවම ලෙස රුපියල් 50,000ක දඩයකට යටත් වීමට සිදුවන අතර, එම දඩ මුදල රුපියල් 400,000ක් දක්වා ඉහළ යා හැකි බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූ බව සඳහන්.

මේ අතර, 2024/2025 තක්සේරු වර්ෂය වෙනුවෙන් හිඟ ආදායම් බදු ගෙවීමට ඇති ලියාපදිංචි බදු ගෙවන්නන්ට මෙන්ම, 2025/2026 වර්ෂය වෙනුවෙන් බදු ගෙවීමට යටත් වන පුද්ගලයින්ට ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් කහ සහ රතු නිවේදන නිකුත් කර ඇති බව නන්දන කුමාර මහතා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ඔහු බදු ගෙවන්නන්ගෙන් ඉල්ලා ඇත්තේ දඩ මුදල් සහ අමතර ගාස්තු පැනවීමෙන් වැළකී සිටීමට නියමිත කාලසීමාවන් තුළ සිය බදු වාර්තා ඉදිරිපත් කිරීමේ සහ බදු ගෙවීමේ වගකීම් ඉටු කරන ලෙසයි.

මේ අතර අත්පිට මුදල් මඟින් සිදු කරන ගනුදෙනු නිසා බදු බර ඉහළ යාම පිළිබඳව මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් ද නන්දන කුමාර මහතා අදහස් දක්වා ඇත.

ඒ අනුව ඔහු පැහැදිලි කර ඇත්තේ, 2023 අගෝස්තු මාසයේදී හඳුන්වා දුන් රෙගුලාසිවලට යටත් වන මුදල් ගනුදෙනුවලට අදාළ වියදම්, බදු අය කළ හැකි ආදායම ගණනය කිරීමේදී අඩු කිරීම් ලෙස ඉල්ලා සිටිය නොහැකි බවයි.

එහෙත් 2023 අගෝස්තු මාසයට පෙර ඉඩම් මිලදී ගත් පුද්ගලයින්ට මෙම රෙගුලාසි අදාළ නොවන බව ත් ඔහු වැඩිදුරටත් පැවසූ බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?