කාලගුණයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
දිවයින ආසන්නයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් අද (22) සහ හෙට (23) දිවයිනේ ප්රදේශ රැසකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ඇතැම් ප්රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි අතර, නිරිතදිග ප්රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වය ඔක්තෝබර් 27 පමණ දක්වා පැවතිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා අද (22) අගහරුවදා පැවැති මාධ්ය හමුවකදී දිවයිනේ පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ එම මහතා
“ඔබ දන්නවා, මේ දිවයින ආසන්නයේ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් පවතිනවා. අපි මීට දින කිහිපයකට පෙර සිට මේ තත්ත්වය දැනුම් දීලා තියෙනවා. ඊයේ වෙනකොට මේ කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. දැන් අද දිනය ගත්තොත්, මේ අඩු පීඩන කලාපය ශ්රී ලංකාවට වයඹ දෙසින් තමයි පවතින්නේ. ඒ වගේම අඩු පීඩන කලාපය ක්රමයෙන් බටහිර දෙසට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට, මේ වගේ අඩු පීඩන කලාපයක් දිවයින ආසන්නයේ වර්ධනය වෙලා තියෙනකොට, මේ අඩු පීඩන කලාපය දෙසට සුළං ප්රවාහය ගමන් කිරීම නිසා තමයි හොඳ වලාකුළු වර්ධනයක් දිවයින පුරාම වාගේ තියෙන්නේ. එතකොට අද දිනය ගත්තොත්, අද දිනය පුරාම වාගේ විශේෂයෙන් දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ, උතුරු පළාත් සහ ඒ වගේම දකුණු පළාතේ බොහෝ කොටස්වලටත් දවස පුරාම වාගේ කඩින් කඩ වැසි අපේක්ෂා කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මේ වෙනකොටත් වැසි ලැබෙමින් පවතිනවා. පසුගිය පැය 24 ගත්තොත්, සැලකිය යුතු වර්ෂාපතනයන් විශේෂයෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල වාර්තා වෙනවා. අද දිනය පුරාත් විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ, උතුරු පළාත්වල, ඒ වගේම දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කිරීමේ හැකියාව පවතිනවා. මේ නිසා මේ සම්බන්ධයෙන් විශේෂයෙන් ජනතාව අවධානයෙන් කටයුතු කරන්න කියන එක අපි මතක් කරනවා. ඒ වගේම මේ පද්ධතියේ බලපෑම හෙට දිනයේත් පවතිනවා. හෙට දිනය පුරාත් විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ පළාත් සහ උතුරු පළාතේත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් දවස පුරාම වාගේ අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ,
මේ දිනවල දිවයින ආශ්රිතව අන්තර් නිවර්තන අභිසාරී කලාපය පවතිනවා. අපි ඒකට කියන්නේ උතුරු අර්ධගෝලයේ සිට එන සුළං සහ දකුණු අර්ධගෝලයේ සිට එන සුළං අභිසාරී වන කලාපය කියලා. එතකොට මෙවැනි කලාපයක් පවතිනකොට, මේ දිවයින ආශ්රිතව, ඒ කලාපය ආශ්රිතව වලාකුළු වර්ධනය වීමේ හොඳ පසුබිමක් තියෙනවා. ඒ වගේම කැළඹිලි ස්වභාවයන්, අඩු පීඩන තත්ත්වයන් සහ පීඩන අවපාත වගේ තත්ත්වයන් වර්ධනය වීමේ හැකියාව තියෙන නිසා කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවෙනවා.එතකොට මේ වගේ තත්ත්වයන් ඉදිරි දින කිහිපයේත් ඇතිවීමේ හැකියාව තියෙනවා. මේ නිසා ඉදිරි කාලගුණ නිවේදන සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කරන්න කියන එක අපි සියලු මහජනතාවගෙන් ඉල්ලා සිටින්න කැමතියි. මේ අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑමත් එක්ක ඔක්තෝබර් මාසයේ 23 පමණ වන විට අන්දමන් දූපත් ආශ්රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙලා, බොහෝ දුරට පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමේ හැකියාව තියෙනවා. නමුත් ඒ පද්ධතියෙන් සෘජු බලපෑමක් ශ්රී ලංකාවට එන එකක් නැහැ. නමුත් ඒ පද්ධතිය දෙසට හමා යන සුළං ප්රවාහය ශ්රී ලංකාව හරහා පවතින නිසා, මේ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත්, විශේෂයෙන් ඔක්තෝබර් මාසයේ 27 පමණ දක්වාත් පවතිනු ඇතැයි දැනට අපේක්ෂා කරනවා. ඒ සමඟම දැන් බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්රදේශයේ මේ පද්ධතිය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව තියෙන නිසා, ඉදිරි දිනවල විශේෂයෙන් බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්රදේශයේ ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන, විශේෂයෙන් බහුදින ධීවර යාත්රා ඉදිරි කාලගුණ නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්න කියන එක මේ මොහොතේ මතක් කරන්න ඕනේ.”
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
