කළුතර සිසුවියගේ අවසන් දුරකතන ඇමතුම
කළුතර පස් මහල් ගොඩනැඟිල්ලකින් ඇඳ වැටී මිය ගිය පාසල් සිසුවියගේ ජංගම දුරකතන දත්ත ලබාගෙන ඇයට ඇමතුම් දුන් පුද්ගලයන් සහ ඇය ඇමතුම් ලබාගත් පුද්ගලයන් සම්බන්ධයෙන් මේ වන විට පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව එදින ඇය හෝටලයේ ගත කළ කාලසීමාව තුළ ඇය විසින් දුරකතන ඇමතුමක් ලබාගත් උපකාරක පන්ති ගුරුවරයකුගෙන් කළුතර දකුණ පොලිසියේ විමර්ශන නිලධාරීන් ඊයේ (10) දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි. ඊට අමතරව ඇගේ දුරකතනයට ඇමතුම් ලද සහ ඇමතුම් ලබාගත් පුද්ගලයන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන බව විමර්ශනවලට සම්බන්ධ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. ප්‍රශ්න කිරීමේදී අදාළ ගුරුවරයා මෙම සිසුවිය තමා හොඳින් දන්නා හඳුනන බව ද පවසා තිබේ. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සිසුවිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වූ බව ද එම නිලධාරියා පැවසීය. මෙම සිසුවියගේ ජංගම දුරකතනයට අවසානයට ලද දුරකතන ඇමතුම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන බව ද එම නිලධාරියා කීය.
ඇයගේ මරණය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ පාපෝච්ඡාරණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව මේ දුරකතන දත්ත ලබාගෙන විමර්ශන අරඹන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාපෝච්ඡාරණය කර තිබුණේ මියගිය සිසුවිය ඇයට ලැබුණු දුරකතන ඇමතුමකින් පසුව ලැගුම්හලේ ජනේලයකින් බිමට පනිනු ලැබූ බවය. ඒ අනුව එම සිසුවියගේ දුරකතන දත්ත ලබාගෙන ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
මේ වන විට ප්‍රධාන සැකකරු පැය 48ක් රඳවා ප්‍රශ්න කිරීමට කළුතර මහේස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙණිය මහත්මිය අවසර ලබාදී ඇත.කළුතර දකුණ, ඉසුරු උයන, අංක 63 ලිපිනයේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු යන අය මෙසේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර දී ඇත.
කළුතර දකුණ, ප්‍රධාන වීදිය, අංක 402 ලිපිනයේ පිහිටි සිසිලියන් වෝක් හෝටලය පිටුපස රේල් පාරේ වැටී සිටියදී සොයා ගන්නා ලද කළුතර, නාගොඩ, සැනසුම, අංක 115 ලිපිනයේ පදිංචිව සිටි ටිහාරා නිර්මානී දැරියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුව, පොලිස් පරීක්ෂක ධම්මික ද සිල්වා මහතා විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අධිකරණය හමුවේ කරුණු වාර්තා විය.සැකකරු එදින මියගොස් ඇති දැරිය සමඟ හෝටලයේ කාමර අංක 7හි එකට මත්පැන් පානය කරමින් සිටි බවට අනාවරණය වී ඇති බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරන ලදි.ඒ අනුව පරීක්ෂණ මෙතෙක් නිම කර නැති බැවින් ඉදිරි විමර්ශන සඳහා පැය 24ක් ප්‍රමාණවත් නොවන බවත් සඳහන් කරමින් ඉදිරි පැය 48ක් සඳහා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.මෙය මනුෂ්‍ය ඝාතනයක් නොවන බවට වෛද්‍යවරයා නිගමනය කර ඇති බවත් එය සියදිවි නසා ගැනීමක් බවත් විත්තියේ නීතිඥ සරත් කරවිට මහතා අධිකරණය හමුවේ කියා සිටි අතර, සිය සේවාදායකයා පොලිසිය වෙත සියලු කරුණු වාර්තා කර තිබියදී රැඳවුම් නියෝග ලබා ගන්නේ මන්දැයි විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සරත් කරවිට මහතා විමසා සිටියේය.
උප පොලිස් පරීක්ෂක කේ.එන්.ඒ.ජී.ඩී. බණ්ඩාර මහතා කියා සිටියේ සැකකරු එදින මත්පැන් පානය කර සිටියේ ද යන්න සම්බන්ධයෙන් රුධිර සාම්පලයක් ගැනීම සහ තවදුරටත් ප්‍රශ්න කිරීමට ඇති බවයි. සැකකරු අද දිනයේ අධිකරණ වෛද්‍යවරයා හමුවට පමුණුවන්නේ දැයි රැඳවුම් නියෝග නිකුත් කිරීමට පෙර, ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පොලිසියෙන් විමසා සිටියේය. උප පොලිස් පරීක්ෂක කේ.එන්.ඒ.ජි.ඩී. බණ්ඩාර සහ සැරයන් ජගත් සිරිවර්ධන (41055) අධිකරණයට කරුණු වාර්තා කරන ලදි. නඩුව යළි හෙට (12) කැඳවීමට නියමිතයි.
කළුතර දකුණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් දැඩි ආරක්ෂක රැකවල් යොදා සැකකරු අධිකරණ භූමියට රැගෙන එන ලදි.කළුතර ලැගුම්හලක ඉහළ මහලෙන් ඇද වැටී 16 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත් වුයේ පසුගිය 6 වනදාය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිසිය ඊට අදාළව 19 හැවිරිදි තරුණියක් ඇතුළු තිදෙනෙක් පළමුව අත්අඩංගුවට ගනු ලැබීය.