අම්මාගේ උණුහුමට ගුලිවී යළි නේන දුර ගමනක් ගිය පුතු රන්දිය – Photos
රන්දියගේ ඇඟිලි තුඩුවලින් සියුම් ලෙස සකස් වූ කඩදාසි මල් පොකුර තවමත් විදුහල්පති මේසය මතය.
ඒ මල් පොකුර වඩාත් හැඩ වැඩ වී ඇත්තේ පාසලේ වර්ණ උපයෝගී කරගනිමින් නිර්මාණය කර ඇති මල්බඳුන නිසාමය.
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි අවසාන දින කීපයේදී ඔහු මෙවැනි තවත් නිර්මාණ කීපයක්ම දැඩි කැපවීමකින් යුතුව සකස් කළේ යන්නට පෙර හදවතේ ජීවත්වන බැතිබර ගුරු දෙගුරුන් වෙනුවෙන් තිළිණ කිරීමට තිබූ කැමැත්ත හේතු කොටගෙන විය යුතුය.
කෙසේ හෝ රන්දිය ඒ අභිප්‍රාය ඉෂ්ට සිද්ධ කර ගත්තේය.
ඔහු තම විද්‍යාලයේ විදුහල්පතිතුමාට මුලින්ම ඒ ආදරණීය තිළිණය හෘදයාංගමව පිරිනැමුවේය.
දෙවැනුව ඔහුගේ හදවතේ ජීවත් වූ ගුරු භවතුන් කීපපොළකට ඒ ත්‍යාග ලබාදීමට කටයුතු කළේය. එතැනින් නොනැවතුණු මේ රෝගී සිසුවා ඉන්පසුව කළේ තමන්ට ප්‍රතිකාර කළ වාට්ටුවේ වෛද්‍යවරුන් ඇතුළු හෙද නිලධාරි නැන්දලාටත් ඒ සිහිවටනය ස්තූති පූර්වකව පිරිනැමීමය.
කිනම් හෝ මොහොතක තම ජීවන ගමන නිමාකොට නොයනා ගමන් යන බව හොඳින්ම දැන සිටි 14 හැවිරිදි රන්දිය අවසානයේදී අම්මාගේ තුරුල්ලේම උණුසුම ලබමින් මෙලොව හැර ගියේය.
“අම්මේ මගේ පපුව රිදෙනවා මාව ඔයා ළඟට තුරුලු කරගන්න..”
රෝහල් වාට්ටුවේදී අපහසුවෙන් යුතුව අවසන් වරට එසේ කියූ රන්දිය තවත් තත්පර කීපයකදී අවසන් සුසුම් හෙළුවේ කුඩා දරුවකු සේ මවගේ උණුසුම ලබන අතරේදීමය.
මේ ආකාරයට අවසන් ගමන් ගියේ අපේක්ෂා රෝහලේ පමණක් නොව කොළඹ 07, තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ සියලු ගුරුභවතුන්ගේ අවධානය හා ආදරය දිනා සිටි ආදරණීය සිසු දරුවෙකි.
පිළියන්දල, කැස්බෑව ප්‍රදේශයේ විමල් පෙරේරා මාවතේ වසන චරිත්ගේ සහ දිලිනිගේ ලොකු දරුවා වූ තෙසත් රන්දිය මුලින් අධ්‍යාපනය ලැබුවේ පිළියන්දල අංක 01 කනිෂ්ඨ විද්‍යාලයේය. ඒ විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි රන්දිය ලකුණු 178ක් ලබා ගනිමින් ඊළඟට ඇතුළු වූයේ කොළඹ 07 තර්ස්ටන් විද්‍යාලයටය.
තර්ස්ටන් විද්‍යාලයට ඇතුළු වූ මේ සිසුවා තම අධ්‍යාපන කටයුතු ඉතා උනන්දුවෙන් කරගෙන ගියේ කවදා හෝ හොඳ රැකියාවක් කර දුප්පත් අම්මා තාත්තා ගැන වගේම එකම මල්ලීගේ අනාගතය සුරක්ෂිත කර ගැනීමේ අරමුණින් යුතුවය.
“පුතා ඉගෙනීමට හරිම දක්ෂයි. ගෙදරදී මල්ලීටත් පාඩම් කියා දෙනවා. අපි දෙන්නට පුදුමාකාර විදියට ගෞරව කළා. කියන දේ අහන හොඳ දරුවෙක්.
ශිෂ්‍යත්වය සමත් වෙලා තර්ස්ටන් විද්‍යාලයට ඇතුළු වුණාට පස්සේ එයාගේ එකම ලෝකය වුණේ ඒ පාසල. ඒ වගේම අධ්‍යාපන කටයුතු හොඳින්ම කිරීම” මෙසේ කීවේ රන්දියගේ අප්පච්චි චරිත්ය.
“මේ විදිහට අපි හැමෝගේම ආදරය දිනා සිටි අපේ පුතා හදිසියේම වගේ රෝගී වුණේ පසුගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ.”
රන්දිය මුලින්ම මුහුණ දුන්නේ දණහිස් රිදෙන රෝගයටය. ඊළඟට ඔහු කීවේ හැම විටම වමනයට ඒමේ ලක්ෂණ මතුව එන බවය.
“පුතා මේ ලක්ෂණ කියන්න පටන් ගත්තේ පිහිනුම් පන්තියට යන්න පටන් ගත්තට පස්සේ. ඉතින් ඒකට හේතුව මොකක්ද කියලා බලන්න තමයි අපි වෛද්‍ය උපදෙස් පැතුවේ.
රන්දියගේ මේ රෝගී ලක්ෂණ ගැන උනන්දු වූ වෛද්‍යවරු ඒ වෙනුවෙන් විවිධ පරීක්ෂණ කිරීමට පටන් ගත්තේ ඔවුන්ටත් මේ රෝග ලක්ෂණ පිළිබඳව ඇතිවූ සැක සංකාව නිසාමය. කෙසේ හෝ අවසානයේදී රන්දිය මුහුණ දී සිටි රෝගය හඳුනා ගැනිණි.
“ඊට පස්සේ තමයි පුතාව අපේක්ෂා රෝහලට යොමු කළේ. ඇත්තටම අපි එතැනට ගියේ ඇඬු කඳුළින්. ඇයි අපේ පුතාට මෙහෙම වුණේ කියලා හැම අවස්ථාවකදී අපි කතා කළා. ඒත් එයාට ඒ දුක පෙන්නුවේ නැහැ.”
රන්දියගේ මවුපියන් ඔහු ඉදිරියේ මේ දුක හා පසුතැවීම නොපෙන්වා ඉන්නට බොහෝ අරපරිස්සම් වුවද තොරතුරු තාක්ෂණය සමඟ ඉතා හොඳින් ගනුදෙනු කරමින් සිටි රන්දිය තමන්ගේ රෝගී භාවය හා එයින් ඇති වී ඇති දරුණු තත්ත්වය පිළිබඳව හොඳ අවබෝධයකින් යුතුව සිටියේය.
“ඇත්තටම අපි හරියටම ඒක දැන ගත්තේ පුතා කතා කළ විදිහටයි. එයා මේ විස්තර අපි එක්ක කිව්වා. ටීචර්ලා එක්කත් කතා කළා. නමුත් කිසිම දුකක් පසුතැවිල්ලක් නැතිව හිනාවෙලා හිටියා.” රන්දියගේ අප්පච්චි කීවේ කඳුළු පිරි දෑසින් යුතුවය.
රන්දිය මේ රෝගයට මුහුණ දුන්නේ 8 වසරේ ඉගෙනුම ලබද්දීය. මේ කාලයේ අපේ රටේ තිබූ කොවිඩ් වසංගත තත්ත්වය හේතුකොටගෙන බොහෝ දරුවෝ මාර්ගගත අධ්‍යාපන කටයුතු හා බැඳී සිටියෝය.
” මේ පුතා මගේ පන්තියට එන්නේ 9 වසරේදී. ඒත් එයා පාසල් ආවේ නැහැ. ඉතින් මේ නොපැමිණීමට හේතු විමසන අවස්ථාවේදී තමයි රන්දිය පුතා රෝගී වී සිටින බව මම මුලින්ම දැනගත්තේ.
හැබැයි ඊට කලින් මේ පුතා ඔන්ලයින් ඔස්සේ මගේ ප්‍රශ්නපත්‍රයට දක්‍ෂ ලෙස පිළිතුරු ලියා තිබුණා. ඒ නිසා මට මේ පුතාගේ නම හොඳින් මතක තිබුණා. මෙසේ කීවේ රන්දියගේ පන්ති භාර ගුරුතුමිය වූ නවෝද්‍යා හිරුමිණී මහත්මියයි.
ඇය මේ දරුවා සමඟ අවසන් කාලසීමාවේදී ගනුදෙනු කළේ දෙවැනි අම්මා ලෙසය. ඊට හැකි උපරිම අයුරින් සහයෝග ලබා දුන්නේ ප්‍රමුදිත වික්‍රමසිංහ විදුහල්පතිවරයාය. ඔහු සැබැවින්ම රන්දියට කිට්ටු වූයේ, හැකි සියලුම අවස්ථාවලදී උදවු උපකාර කළේ දෙවැනි තාත්තා ලෙසය. ඒ මානුෂික තත්ත්වය ගැන වඩාත් ඉහළින් කතා කරන්නේ රන්දියගේ මවුපියන්ය. අපි ඒ පිළිබඳව පසුවට කතා තොරතුරු කියන්නට පසුබට නොවන්නෙමු.
කෙසේ හෝ රන්දිය නිතර නිතර රෝහල් ගතවන බව දැනගන්නා නවෝද්‍යා ගුරුතුමිය මේ ආරංචියේ ඇත්ත නැත්ත සොයා බලන්නට ඊළඟට කතා කරන්නේ ඔහුගේ මවුපියන්ටය. ඒ අනුව ඇය මේ සියලු සංවේදී තොරතුරු විදුහල්පතිවරයාට දැනුම් දුන්නේ ඒ වන විටත් මේ දරු පවුල මුහුණදී සිටින ආර්ථික ප්‍රශ්න පවා හොඳින් වටහාගෙනය.
විදුහල්පතිතුමාට මේ ගැන දැනුම් දුන්නාම එතුමා මේ දරුවා ගැන හොයන්න කටයුතු කළා විතරක් නෙවෙයි. ඒ දරු පවුල මුහුණදී සිටින ගැටලුවලට විසඳුම් දිය හැකි වැඩපිළිවෙළක් පවා සකස් කළා. ආදි ශිෂ්‍ය සංගමය, මවුපියන් හා අපේ ගුරුවරුන් සමඟත් මේ ගැන කතා කළා. වැඩපිළිවෙළක් හැදුවා. ඇත්තටම ඒක අපි හිතුවටත් වඩා හරිම අපූරු, ඒ වගේම ක්‍රමවත් වැඩපිළිවෙළක් බවට පත්වුණා.
මේ අනුව විදුහල්පතිවරයාගේ පූර්ණ අනුමැතිය හා අවසරය ඇතිව නවෝද්‍යා ගුරුතුමිය ඊළඟට ගමන් කළේ මහරගම අපේක්‍ෂා රෝහල වෙතය.
මේ පුතා රෝහල් ගත කරන්න කලින් දවසක අම්මා, තාත්තා එක්ක ඉස්කෝලෙට ආවා. ඒ මුල් දවස්වල. එදා ඇවිත් කිව්වා “අනේ මම හරිම ආසාවකින් හිටියා ටීචර්ව බලන්න” කියලා. එහෙම කියලා මා එක්ක ඡායාරූපයකුත් අරගත්තා. ඉතින් මේ නිසාම එයාත් මමත් අතර ලොකු බැඳීමක් ඇතිවී තිබුණා.
කාලය මේ ආකාරයට ගෙවී යද්දී රන්දිය හා නවෝද්‍යා ගුරුතුමිය වරින් වර කතාබහ කරමින් අදහස් හුවමාරු කරගත්තා පමණක් නොව තවත් අවස්ථා කීපයකදී ඇය අපේක්‍ෂා රෝහලට ගොස් රන්දිය සමඟ කාලය ගත කිරීමටද අමතක නොකළාය.
ඊට පස්සේ තවත් දවසක මම උදේම ගිහින් හවස්වන තුරුම ඒ පුතා එක්ක රෝහලේ හිටියා. එදා ඒ පුතාගේ ඉල්ලීමට මම එයාට බත් කැව්වා. ඊළඟට එයාගේම ඉල්ලීමට අනුව සෙල්ෆි ඡායාරූපයක් ගත්තා. එයා ඒ ඉල්ලීම කළේ හරිම ගරුසරුවෙන්. ලොකු ආදරයකින්.
මේ වන විට රන්දියගේ ජීවිතය ගමන් කරමින් තිබුණේ කිනම් ඉසව්වකට ද යන්න ඔහුට ආදරය කළ සියල්ලෝම වාගේ දැන සිටියහ. ඒ වාගේම වෛද්‍යවරු කියා තිබුණේ ඔහුගේ සතුට පිළිබඳව වඩ වඩාත් සැලකිලිමත් වන ලෙසටය.
‘ඔය අනුව තමයි අපි දැනගත්තේ පුතා අනුරාධපුරයේ යන්න හරිම ආසාවකින් ඉන්නවා කියලා. ඉතින් අපි ඔහුගේ අම්මා, තාත්තා එක්ක කතා කරලා ඒකත් සංවිධානය කළා. ඒ අනුව ඒ අම්මා, තාත්තා එක්ක මමත් ඒ පුතාගේ ඉල්ලීමට අනුව ගියා. ඒ වගේම අපේ පාසලේ සීලරතන හාමුදුරුවොත් ඒ ගමනට සහභාගි වුණා.”
රන්දියගේ මවුපියන් අනුරාධපුරය බලා යන්නට සිටියේ කුලී වාහනයක් උපයෝගී කරගෙනය. එහෙත් තර්ස්ටන් විදුහලේ විදුහල්පතිවරයා ඊට වෙනම වැඩපිළිවෙළක් සකස් කළේය. ඒ ආදි ශිෂ්‍ය සංගමයේ උදවු උපකාර ඊට ලබා ගැනීමය. ඒ අනුව ආදි ශිෂ්‍ය අමිල ඒ යුතුකම ඉටු කළේය. අනිකුත් ආදි සිසුහු (98 කණ්ඩායම) ඊට අවශ්‍ය මිල මුදල් පරිත්‍යාග කළහ.
එදා අනුරාධපුරයට ගිය රන්දිය රුවන්වැලිසෑය වටා ඇවිද යන්නට ඕනෑ බව කියමින් ටික දුරක් එහි ගමන් කළේය. එහෙත් වෙහෙස මහන්සිය නිසා රන්දියට ඒ බලාපොරොත්තු ඉටුකර ගැනීමට නොහැකි විය. මේ අපහසුතාව තේරුම් ගත් රන්දියගේ අප්පච්චි ඔහුගේ කර මත තබාගෙන සෑය වටා ගමන් කළේ හැමෝගේම හදවත්වලට සංවේදී හැඟීම් සමුදායක් එක් කරමිනි.
එදා පුතා කිව්වා මට අනුරාධපුරයෙන් බුදු පිළිම වහන්සේනමක් ගන්න ඕන, ඒ පිළිම වහන්සේ ගමේ දහම් පාසල පැවැත්වෙන විහාරස්ථානයට පූජා කරන්න ඕන කියලා. පුංචි හිතකට මේ වගේ හැඟීම් කොහොම පහළ වෙනවද කියලා එදා අපිට හිතුණා. ඇත්තටම රන්දිය පුතා සුළුපටු දරුවෙක් නෙමෙයි. ගෞරව කරන අයට හදවතින්ම ගරු කරන, ආදර හැඟීම් ප්‍රකාශ කරන දරුවෙක්. එයාට පුදුමාකාර ගති පැවැතුම් තිබුණා. නවෝද්‍යා ගුරුතුමිය යළිත් කීවාය.
මේ ගුරුතුමිය මහරගම අපේක්ෂා රෝහලට ගොස් එක් දිනක් රන්දිය පුතා සමඟ කාලය ගත කළ බව අපි ඔබට මුලදී මතක් කළෙමු. එදා රන්දිය තමන්ගේ ආදරණීය ටීචර්ට අමුතුම විදිහේ නිර්මාණාත්මක පාඩමක් කියා දුන් හැටි මේ ගුරුතුමිය මතක් කළේ සංවේදීවය.
“එදා පුතා මට කිව්වා ටීචර් අපි පාට පාට කොළවලින් ලස්සන ලස්සන නිර්මාණ හදමු කියලා. ඒ අනුව කොළ නවලා කපලා ලස්සන මල්, කුරුල්ලෝ අතු ඉති හදන හැටි මට කියා දුන්නා.”
නවෝද්‍යා ගුරුතුමිය එදා සිසුවියක මෙන් රන්දිය ළඟ දැවටී මේ නිර්මාණාත්මක කලාව හොඳින් ඉගෙන ගන්නේ ලොකු සතුටකිනි. එමෙන්ම නිහතමානී ලෙසිනි.
“රන්දිය පුතාට එදා හරිම සතුටුයි. ඒ වගේම තමයි අපේ විද්‍යාලයේ විදුහල්පතිතුමා ආපු දවස. ඇත්තටම එදා ලොකු සර් එනවා කියන ආරංචියට එයා මඟ බල බල හිටියා. ඉතින් සර් ආවා. අම්මෝ මුහුණේ තිබුණු සතුට.”
ඉතින් සර් ඇවිත් ගියාට පස්සේ එයා හරිම ආඩම්බරයෙන් වගේ හිටියා. වාට්ටුවේ හැමෝටම ඒක මහ සතුටකින් කිව්වා.
ප්‍රමුදිත වික්‍රමසිංහ විදුහල්පතිවරයා තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති ධුරය භාරගෙන එතරම් කාලයක් නැත. එහෙත් ඔහු පාසලට ආ දා සිටම කළේ ගුරුන්ට දෙගුරුන්ට පමණක් නොව දරුවන්ටද යහපත් නායකත්වයක් සැපයීමය. ඔහු පාසලට අත්‍යවශ්‍ය භෞතික සම්පත් ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කළේ විනයක් හා වගකීමක් සහිතවය. ඔහු ඉලක්ක ඉතා ඉක්මනින් සපුරා ගැනීමට කටයුතු කරන අවංක මුල් ගුරුවරයෙකි.
රන්දියගේ දරුණු රෝගය පිළිබඳව වඩාත් හොඳින් තොරතුරු අධ්‍යයනය කළ ඔහු ඒ ගැන පාසලේ ආදි ශිෂ්‍ය සංගමය, ගුරු භවතුන්, මවුපියන් සමඟ ඉතා ඉක්මනින් කතා කිරීමට සැලසුම් කළේය.
මේ වැඩකටයුතුවලට 8-9 වසරේ ශේර්ණි භාර ගුරු භවතුන් වූ ඩිලානි ගමාච්චි සහ සුගන්ධි පියුමගේ ගුරුවරියන්ද මහඟු වෙහෙසක් ගෙන ක්‍රියා කළහ.
එමෙන්ම 8 පන්තියේ ඉගෙනුම ලබද්දී සිටි ඒ.එල් නිලන්ති ගුරුතුමියත් මෙන්ම රන්දියගේ නැටුම් ගුරුවරිය වූ ජීවනි විජේසිංහ මහත්මියත්, අංශ ප්‍රධානි මානෙල් මැණිකේ මහත්මියත් මේ සත්කාර වැඩසටහනේදී කටයුතු කළේ ඉතා ඕනෑකමකිනි.
මෙහිදී පාසලේ ගෞරවණීය ස්වාමීන් වහන්සේලා සහ නියෝජ්‍ය හා සහකාර විදුහල්පතිවරුන් (දිපානි සහ වින්ධ්‍යා ගුරු මෑණිවරුන්) මෙම සත්කාර වැඩසටහනේදී රන්දිය වෙනුවෙන් කාලය වැය කළේ ආදරණීය හැඟීමකින් යුතුවය. ඔවුන් කණ්ඩායම් හැඟීමකින් යුතුව රන්දියගේ බෙහෙත් හේත් ගැන මෙන්ම ඔහු සුව කර ගැනීමට හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලුවේ හදවතින්මය.
පාසල් වේලාවෙන් වැඩි කාලයක් ඔවුන් මේ වෙනුවෙන් වැය කළේ හැමෝගේම ආදරය දිනා ගනිමින්ය.
ඒ අනුව තවත් දවසක විදුහල්පතිවරයා තමන්ගේ කණ්ඩායමට අමුතුම විදිහේ යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ මරණාසන්නව සිටින රන්දියගේ අහිංසක බලාපොරොත්තුවක් ඉටුකිරීමේ සත්කාරය දියත් කරන්නටය.
“මේ පුතා එයාගේ ඉස්කෝලෙට හරිම ආදරෙයි. ඒ වග පුතා නිතරම කීවා. කොටින්ම ෆුට්බෝල් ටීම් එක මා වෙනුවෙන් වෙන්කර තිබූ ටී ෂර්ට් එක පවා මම මේ දරුවට දෙන්න තීරණය කළේ රෝහලේදී එයාට අපේ ටී ෂර්ට් එකක් ඇඳගෙන ඉන්න ආසයි කියපු හින්දා.
ඉතින් මම නවෝද්‍යා ටීචර්ට කියලා ඒ ටී ෂර්ට් එක පුතාට යැව්වා. එයා හරිම ආසාවෙන් ඒක ඇඳගෙන හිටියා”.
මේ වකවානුව තුළදී මානව හිතවාදී විදුහල්පතිවරයාට රන්දියගේ තවත් බලාපොරොත්තුවක් ඉටුකිරීමට සිත් විය. ඒ අනුව ඔහු වහාම ගියේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා හමුවීමටය. එසේ ගිය විදුහල්පතිවරයා රන්දියගේ බලාපොරොත්තු හා එය ඉෂ්ට සිද්ධ කිරීමෙන් ඔහු ලබන සතුට විස්තර කළේය.
“හරි අපි ඕක කරමු… මම උදවු කරන්නම්…” ලේකම්තුමාගේ හෘදයංගමභාවය ඉදිරියේ නිල අවසරය ලබාගත් විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා ඊළඟට කළේ රන්දිය පුදුම කරවන විදිහේ කටයුත්තකි.
“රන්දියට වුවමනා වී තිබුණේ ඔහුගේ එකම මල්ලි අපේ පාසලට එනවා දකින්න. මම ඒ ආශාව ඉටු කළා. ඒ පුතාට මම පාසලට දරුවන් ඇතුළු කර ගන්නා ලියුම අතටම භාර දුන්නා. දීලා කිව්වා පුතේ ඔයාට පුළුවන් දවසක මේ ලියුම අරගෙන ඉස්කෝලෙට මල්ලිත් එක්ක එන්න කියලා.”
මේ අදහාගත නොහැකි වචන කිහිපය ඇසූ රන්දිය මහත් සතුටක් ලැබුවේය. ඔහු හැමෝම සමඟ ඒ සතුට බෙදාගත්තේ ඒ ලියුම් කඩදාසිය පෙන්වමිනි.
ඊට පස්සේ රන්දිය පුතා දොස්තර මහත්වරුන්ගෙන් අවසර අරගෙන දිනයක් ලබාගෙන ඒ දිනය මම අර දිනය නොදමා තියපු තැනට ඔහුගේ අත්අකුරින්ම දිනය දමාගෙන ආවා.
එදා රන්දිය ආවේ නිකම්ම නොවේ. පාසල් විදුහල්පතිවරයා ඉදිරියට පැමිණ පිළිගත්තේ කවුරුවත් හිතන්නේවත් දකින්නේවත් නැති පරිසරයක් තුළිනි.
“මම ගේට්ටුව ළඟටම ගිහින් ඒ පුතාව ආයුබෝවන් කියලා එක්කරගෙන ආවා. ගුරුවරු අත්පොළසන් දුන්නා. දරුවෝත් ඒකට එකතු වුණා. එදා රන්දිය, මල්ලිව ඉස්කෝලට ඇතුළත් කරන්න ආවේ ඒ විදිහටයි.
ඇත්තටම මම මනුස්සයෙක් විදිහට ඒ තුළින් අද ලබන සතුට ඉතාම ඉහළයි. මගේ ගුරු භවතුන්, මගේ මවුපියන්, මගේ ආදි සිසුන් මේ හැමෝම ඒ සතුට ඉහළින්ම විඳිනවා. මොකද අපි මිනිස්සුනේ.”
ප්‍රමුදිත වික්‍රමසිංහ විදුහල්පතිවරයා හැමවිටම කීවේ මේ සත්කාරය නිසාම රන්දිය පුතා අවසන් හුස්ම හෙළන තුරුම දැඩි සතුටකින් ජීවත් වූ බවය. ඒ සතුට ඔහුට ලබාදුන්නේ තර්ස්ටන්හි මානව හිතවාදී මිනිසුන්ය. හැබෑවට ඒ ආදර්ශය අපි මුළු රටටම රැගෙන යා යුතුය.
සමන් ප්‍රියංකර නම්මුනිගේ
ඡායා:- මංජුල දයාවංශ
මව්බිම