ඉන්ධන මිළ සංශෝධනය වන්නේ කෙසේද – තෙල් ඇමති පහදයි




ඛනිජතෙල් සංස්ථාවේ එකතු වූ රුපියල් කෝටි 33,100ක අලාභය, වාර්ෂිකව ඉන්ධන සඳහා රුපියල් කෝටි 300ක් වැය වීම, විදේශ විනිමය අර්බූදය වැනි කරුණු කාරණා රැසක් ජීවන වියදම් අමාත්‍ය අනුකමිටුවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කර නුදුරු අනාගතයේම ඉන්ධන මිළ සංශෝධනය කිරිමට තීරණය කල බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර සිටියේය.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී තව දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

ඉන්ධන මිළ සංශෝධනය

ජීවන වියදම ඉහළ ගිහින් ආදායම් අහිමි වෙලා ජනතාව අතිශයින්ම දුෂ්කර තත්වයක සිටින බව අපි දන්නවා. ඒ නිසා තමයි ලෝක වෙළඳපොලේ ඉන්ධන මිළ දැවැන්ත ලෙස ඉහළ යද්දී අපි මාස 21කට අධික කාලයක් ඉන්ධන මිළ සංශෝධනය නොකර සිටියේ. නමුත් අවාසනාවකට තවදුරටත් ආණ්ඩුවට මේ දැවැන්ත අලාභය දරා ගන්න බැරි වෙලා තිබෙනවා. ලෝක වෙළඳපොලේ මිළ ඉහළ යන විට මෙතරම් දිගු කලක් මිළ වැඩි නොකර සිටි යුගයක් ඉතිහාසයේ කවදාවත්ම තිබුණේ නෑ.

දිගින් දිගටම වියදමට වඩා අඩු මිළකට ඉන්ධන විකිණීම නිසා 2020 වන විට ඛනිජතෙල් සංස්ථාවේ එකතු වූ අලාභය රුපියල් බිලියන 331ක් හෙවත් රුපියල් කෝටි 33,100ක්. මේ නිසාම ආයතනය දැනටමත් ණය ගෙවා ගත නොහැකි බංකොලොත් ආයතනයක් බවට පත් වී තිබෙන්නේ. ඒ වගේම ඉන්ධන සඳහා වසරකට ඩොලර් බිලියන තුනක් හෙවත් රුපියල් කෝටි 300ක් වැය වෙනවා. සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා. විදේශ ආයෝජන නැවතිලා. විදෙස්ගත ශ්‍රමිකයින් විශාල පිරිසක් නැවත ලංකාවට ඇවිත් ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ අඩු වෙලා. මේ විදේශ විනිමය අර්බූදය මැද ඉන්ධන ආනයනයට ඩොලර් බිලියන තුනක් වැය කිරීම අභියෝගයක්.

ඉහත තත්වය පිළිබඳ ජීවන වියදම් අමාත්‍ය අනුකමිටුවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කර නුදුරු අනාගතයේම ඉන්ධන මිළ සංශෝධනය කිරිමට තීරණය කලා. සංශෝධනය කවදාදැයි දැන්ම කියන්නේ නැත්තේ තෙල් පිරවුම්හල් ඉදිරියේ දිගු පෝලිම් ඇති වුනොත් කෝවිඩ් පාලනයට අහිතකර ලෙස බලපාන්න පුළුවන් නිසා.

නව තෙල් පිරිපහදුව ගැන ජවිපෙ බොරු කියයි

“සැමට සැමවිට විරෝධය” සිය ජීවන වෘත්තිය කර ගත් ජනතා විමුක්ති පෙරමුණ ලක් ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපෘතිය වන නව පිරිපහදු ව්‍යාපෘතිය සඳහාත් සිය විරෝධය පල කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය නිසා රට තුලට ඉතිහාසයේ ලොකුම ආයෝජනය පැමිණෙනවා පමණක් නොව වාර්ෂිකව තෙල් ආනයන වියදම ඩොලර් මිලියන 300කින් පමණ පහත වැටී විදේශ විනිමය ඉතිරි කරනවා. ඒ් වගේම රැකියා දෙදහසකට වඩා බිහි වෙනවා. වසර 52ක් පුරා නව පිරිපහදුවක් ඉදිකර ගැනීමට අපට බැරි වුණේ මේ වගේ සැමට සැමවිට විරෝධ පෙරමුණු නිසා තමයි.

හම්බන්තොට වරාය ඉදි කරන විට එතැන දැවැන්ත ගලක් තිබෙන නිසා නැව් එන්නේ නැති බවට පැවසුවා. අද ඔය අපූරුවට නැව් එන්නේ. වරාය නගරය හදන්න මුහුද ගොඩ කිරීමට පිදුරුතලාගල කන්දත් කඩලා ගල් ගත්තත් ගල් ප්‍රමාණවත් වෙන්නේ නෑ කිව්වා. දැන් වරාය නගරය හදලා ඉවරයි. නමුත් පිදුරුතලාගල කන්ද විතරක් නොවේ අඩුම ගණනේ නමුනුකුල කන්දවත් විනාශ වුණේ නෑ. ඒ විතරක් නොවේ, කිලෝ මීටර් ලක්ෂයේ මාර්ග ව්‍යාපෘතියටත් ඇති වෙන්න ගල් ලංකාවේ තිබෙනවා. එක ගල් කෑල්ලක් ආනයනය කලේ නෑ.

තෙල් සංස්ථා පනත සංශෝධනය හරහා ඇමතිට වැඩි බලතල ගන්නා බවට බොරුවට උපන් ජවිපෙ කියනවා. මෙතෙක් ඉන්ධන සඳහා බලපත්‍ර නිකුත් කිරීම කලේ ඇමතිවරයා මිස ඇමති මණ්ඩලය නොවේ. මා ඉදිරිපත් කළ සංශෝධනය අනුව ඇමති මණ්ඩලයේ අනුමැතිය නැතුව ඇමතිට බලපත්‍ර නිකුත කරන්න බෑ. ඇමතිට තිබෙන බලතල වැඩි කිරීමක් නොව අඩු කිරීමක් වෙන්නේ.

තෙල් සංස්ථාව පෞද්ගලීකරණය නොකරන බවට මම ජාතියට ප්‍රතිඥාවක් දී තිබිය දී ජවිපෙ තේ කෝප්පයේ කිඹුලන් දකිනවා. මම දේශපාලනයේ සිටි කාලයට වඩා මම ඉන්න බලාපොරොත්තු වන කාලය වැඩියි. ඒ නිසා මට ජනතාව රවටන්න උවමනා නෑ.

ජවිපෙ මට්ටමින් මාව මනින්න එපා

මෙම ව්‍යාපෘතිය ඩොලර් බිලියන 3කට ඇස්තමේන්තු කර තිබෙන්නේ කොමිස් බෙදා ගන්න යැයි ජවිපෙ චෝදනා කරනවා. මේ ඉලක්කම මගේ නොවේ. පිරිපහදු විෂය පිළිබඳ දැනුම සහ අත්දැකීම් තිබෙන විශේෂඥයින් විසින් මම ඇමති වෙන්නත් කලින් පිලියෙල කළ පූර්ව ශක්‍යතා වාර්තාවේ (Pre-feasibility Report) තිබෙන්නේ. මම දන්නා තරමින් විජිත හේරත් මන්ත්‍රිතුමාවත් වසන්ත සමරසිංහ හිටපු මන්ත්‍රිතුමාවත් රසායනික ඉංජිනේරුවෝවත් යාන්ත්‍රික ඉංජිනේරුවෝවත් නොවේ. අඩුම ගණනේ පිරිපහදුවක කම්කරුවෙකු ලෙසවත් වැඩ කරලා නෑ. ඒ නිසා තමන්ගේ දන්නා කම පෙන්වන්න ගිහින් නොදන්නාකම පෙන්වන්න එපා කියා මම ජවිපෙන් ඉල්ලා සිටිනවා. මේ වාර්තාව අනුව බැරල් ලක්ෂයක පිරිපහදුවකට ඩොලර් බිලියන 2.5ක් වැය වෙනවා. ඒ වගේම වත්මන් පිරිපහදුව නවීකරණයට තවත් ඩොලර් මිලියන 250ක් වැය වෙනවා. ඉතිරි මුදල වැය වෙන්නේ වරායේ සිට පිරිපහදුවට තෙල් ගෙනෙන තෙල් නල පද්ධතියට සහ තෙල් ගබඩා කරන ටැංකි වලට. මේ තිබෙන්නේ දළ අදහසක්. ශක්‍යතා අධ්‍යයන වාර්තාව ඔක්තෝම්බර් මාසයේ දී සැකසුණාම වඩාත් නිවැරදි අගය දැන ගන්න පුළුවන්.

මම විසි එක් වසරකට වැඩි කාලයක් ක්‍රියාකාරි දේශපාලනයේ ඉන්නවා. ආණ්ඩුවේ විවිධ තනතුරු දරලා තිබෙනවා. එක රුපියලක් කොමිස් ගත්තා කියලා හතුරෙක්වත් චෝදනා නගලා නෑ. ආණ්ඩුවට අයිතිය බෝල්පොයින්ට් පෑනක්වත් ගෙදර ගෙන ගියා කියලා කවුරුවත් චෝදනා නගලා නෑ. නමුත් එජාප මන්ත්‍රිවරුන්ගෙන් මුදල් ගත්තා කියලා ජවිපෙ නායකයින්ට චෝදනා නැගුනාම ජවිපෙට ඒක පිලිගන්න සිද්ධ වුණා. මලික් සමරවික්‍රම මන්ත්‍රිතුමන්ගෙන් සල්ලි ගත්තා කියලා යම් අය චෝදනා කලා. වැඩවර්ජන කරන බවට තර්ජනය කරලා කප්පම් ගන්නා බවට සමාගම් ප්‍රධානින්ගෙන් ජවිපෙට චෝදනා එල්ල වුණා. ඒ නිසා ජවිපෙ මට්ටමින් මාව මනින්න එපා කියලා මම ජවිපෙට කියනවා.

– midea unit


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
3
Lol
Wow Wow
1
Wow
Sad Sad
1
Sad
Angry Angry
1
Angry

Comments