කොරෝනාවලට බයේ රස්නෙන් දුම් ඇල්ලීමෙන් බබාලටත් වැඩිහිටියන්ටත් මොකද වෙන්නේ




සාමාන්‍ය ප්‍රතිෂ්‍යා තත්ත්වයකදී නාසය හිරවීමෙන් ඇතිවන ශ්වසන අපහසුතාවට වාෂ්ප හෙවත් හුමාලය ඇල්ලීම අතීතයේ පටන්ම අප අතර සිදු වුණු ඉතාම සරල ප්‍රතිකාරයක්. සමහර විට උණුවතුර හුමාලය පමණක් ආඝ්‍රහනය අතර තවත් අවස්ථාවන්හිදී උතුරන ජලයට කොත්තමල්ලි, දෙහි කොළ එකතු කර ගෙන හුමාලය ආශ්වාස කිරීමට පුරුදුව සිටියා. ඒ වගේම හුමාලය ඇල්ලීමෙන් පසුව යම් සහනයක් ලැබෙන බවත් අපි අත්දැකීමෙන්ම දන්නා කරුණක්.

ඒ වුණත් කොවිඞ් 19 වෛරසයත් ශ්වසන මාර්ගය ආශ්‍රිතව ගැවසෙන නිසාම මේ අපහසු තත්ත්වයේදී වාෂ්ප ඇල්ලීම හෙවත් හුමාලයෙන් වෛරසය විනාශ වන බව ඔබ හිතනවාද..? සෙම්ප්‍රතිශ්‍යාවට සහනයක් ලැබුණා සේ වෛරසයත් පහසුවෙන්ම විනාශ වෙතැයි ඔබ උපකල්පනය කළත් මෙතැන විද්‍යාත්මක පදනමක් තිබෙනවාද….?

හුමාලය හෙවත් වාෂ්ප ඇල්ලීම ගැන අපි වැඩියෙන්ම කතා කරන්න පටන් ගත්තේ කොවිඞ් වසංගත තත්ත්වය සමඟයි. සමාජ ජාලා ඔස්සේ පවා මේ ගැන පුළුල් ප්‍රචාරණයක් ලැබී තිබෙනවා. එය චීනයේ ‘‘වූහාන් ‘‘ ප්‍රදේශයේ කොවිඞ් පරාජය කිරීමට යොදා ගත් රහස් ප්‍රතිකර්මයක් තරමටම විශ්වාස කළා. නමුත් ඔය කියන තරමටම වාෂ්ප හෙවත් හුමාලය ඇල්ලීමෙන් කොවිඞ් වෛරසයට එරෙහිව ප්‍රතික්‍රියාවක් සිදු වෙනවාද..?

වාෂ්ප හෙවත් හුමාලය ඇල්ලීමෙන් කොවිඞ් වෛරසය විනාශ කරන්න පුළුවන්ද..?

වාෂ්ප ඇල්ලීමෙන් සිදුවන හානි කීපයක් තිබෙනවා… සාමාන්‍යයෙන් උතුරන වතුර අපේ සිරුරට වැටුනොත් ඇතිවන හානිය ගැන අත්දැකීම් අපට තිබෙනවා. හුමාලය හෙවත් වාෂ්ප ඇල්ලීමෙනුත් ඇති වෙන්නේ ඒ වගේ තත්ත්වයක්.

මිනිස් සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 37 යි. ජලයේ නටන උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් 100 වුණත් ජලය වාෂ්ප කිරීමේදී මේ උෂ්ණත්වයට වඩා වැඩි උණුසුමක රත් කිරීමට සිදු වෙනවා. එහෙමනම් අපේ ස්වභාවික උෂ්ණත්වයයේදී බාහිරව මෙවැනි උෂ්ණත්වයකින් වාෂ්ප ඇල්ලීම කොතරම් දුරට සාර්ථකද? එයින් සිදු විය හැකි අනතුරුදායක තත්ත්වයක් තිබෙනවාද…?

සිරුරට ස්වභාවික ආරක්ෂාව ලබා දෙන තෙතමනය…

අපේ සිරුරේ ස්වභාවික ආරක්ෂාව වෙනුවෙන් ශ්ලේෂ්මල මගින් විශාල මෙහෙයක් කරනවා. සාමාන්‍යයෙන් අපේ මුඛය, උගුර, ලිංගික ඉන්ද්‍රියයන් වැනි ස්ථානයන්හි ස්වභාවයෙන්ම තෙතමනයක් තිබෙනවා. තෙතමනය මගින් විෂබීජවලට එරෙහිව ස්වභාවික ආරක්ෂාවක් ගොඩනඟනවා. තෙතමනය නැති වුණාම ඕනෑම විෂබීජයකට පෙනහැල්ල කරා පහසුවෙන්ම ගමන් කරන්න පුලූවනි.

ශ්වසනය මගින් වගේම වාතය ඔස්සේ අපේ නාසය දූවිලි වැනි පදාර්ථයන්ගෙන් අපිරිසිදු වෙනවා. අපිරිසිදු හා විෂබීජ අංශු පෙනහළු කරා ගමන් කිරීම ස්වභාවික ශ්ලේෂ්මල මගින් වළක්වනවා. නමුත් මුලින් සඳහන් කළ විදිහට අධික උෂ්ණත්වයේ නටවන ලද ජලයෙන් වාෂ්ප හෙවත් හුමාලය අල්ලන විට නාසයේ ඇති ස්වභාවික තෙතමනය වියැලීමට පුළුවන්. ඒ නිසා නාසයේ රැඳෙන දූවිලි සහ වෙනත් අපිරිසිදු පදාර්ථයන් ඉතාම පහසුවෙන් පෙනහළු කරා ගමන් කරනවා.ඒ නිසා හුමාලය ඇල්ලීමෙන් බොහෝ දෙනා හිතන විදිහට වෛරසයේ අක්‍රීය වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වෙනුවට ආගන්තුක පදාර්ථයන් බොහොම පහසුවෙන් පෙනහළු කරා ගමන් කිරීම ඉක්මන් කරනවා කිව්වොත් නිවැරදියි.

ශ්වසන පද්ධතියේ දී වැදගත් මෙහෙයක් කරන පක්‍ෂ්ම අක්‍රීය වීම

ශ්වසන පද්ධතියේ දී වැදගත් මෙහෙයක් කරන පක්‍ෂ්ම වැනි කුඩා තන්තු විශේෂයක් තිබෙනවා. මේ පක්ෂ්ම පෙරනයක් වගේ ක්‍රියාත්මක වෙනවා. අපේ ශ්වසන පද්ධතියට බාහිරව ඇතුළත් වන විෂබීජ පෙනහළු දක්වා ගමන් කිරීමට ඉඩ නොදී බාධා කරනවා. නමුත් හුමාලය ඇල්ලීමේදී සිරුරට ලබා දෙන අධික උෂ්ණත්වයේදී පක්‍ෂ්ම අක්‍රිය වීම නිසා ආගන්තුකව ඇතිවන විෂබීජ සහ වෛරසයන්ට එරෙහිවීමේ ශක්තිය බිඳ වැටෙනවා. මෙම ස්වභාවික යාන්ත්‍රණය අක්‍රීය වීම නිසා වෛරස සහ විෂබීජ ශ්වසන පද්ධතියට ඇතුලූ වී පෙනහළු දක්වා වූ ගමන්මාර්ගය වඩාත් පහසු කරනවා.

ශ්ලේෂ්මල ප්‍රතිශක්තිකරණ පද්ධතිය (Mucosal Immune System)

ශ්ලේෂ්මල ප්‍රතිශක්තිකරණ පද්ධතිය (Mucosal Immune System) මගින් ශ්ලේෂමල වෙත විශාල වශයෙන් ප්‍රතිදේහ ප්‍රවාහනය කරන අතර මෙම ප්‍රතිදේහ මගින් බෝවන රෝග වැළැක්වීම හෙවත් වෛරසයන්ට එරෙහිව ක්‍රියාකිරීමේ හැකියාව තිබෙනවා. නමුත් උණුසුම් හුමාලය ඇල්ලීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ශ්්ලේෂ්මල ක්‍රියාකාරීත්වය අඩපණ වීම නිසා වෛරසවලට එරෙහිව ක්‍රියා කිරීමේ ශරීරයට ඇති ස්වභාවික ශක්තිය නැති වෙනවා.

උණුවතුරට අතිරේක යොදා ගෙන හුමාලය ඇල්ලීම…
උතුරණ ජලයට ශාඛ පත්‍ර හෝ කොත්තමල්ලි වැනි විිවධ දේ යොදා ගෙන හුමාලය ඇල්ලූවත් මෙතැනදීත් ජලයේ ඉහළ උෂ්ණත්වය නිසා අපේ සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක් ශ්වසන මාර්ගයෙන් ඇතුලූ කිරීමක්. එතැනදී සිද්ධ වෙන්නෙත් මුලින් සඳහන් කළ ක්‍රියාවලියම තමයි.
මෙතැනදී එක වාසියක් තිබෙනවා…

වාෂ්ප හෙවත් හුමාලය ඇල්ලීමෙන් කෝඨාරිකා බුරුල් වීම නිසා හුස්ම ගැනීමේ පහසුවක් ලැබෙනවා. වැඩිහිටියන් ශ්වසන අපහසුතාවන්හිදී හුමාලය ඇල්ලීමට පුරුදුව සිටින බව ඇත්ත. නමුත් කුඩා දරුවන්ට හුමාලය ඇල්ලීම නිර්දේශ කරන්නේ නැහැ.

අස්ථි කුහරවල සෙම රැඳීම නිසා ඇතිවන Sinusitis රෝග තත්ත්වයේදී හුමාලය ඇල්ලීමෙන් යම් සහනයක් ලබා ගැනීමට පුලූවන්.

උණුවතුර පානය කිරීම…?
කොවිඞ් වසංගත සමයේදී අපි වෙනදාට වඩා උණුුවතුර පානය කිරීමට යොමු වුණා. ඒ යොමු වීම ඇති වුණෙත් උණුවතුර පානය කිරීමෙන් කොවිඞ් වෛරසයෙන් අපට ආරක්ෂා වීමට හැකියාවක් ඇතැයි යන දැඩි විශ්වාසය නිසයි.

මෙතැනදී උණුුවතුර ගැනත් යමක් කියන්න ඕන. නටන උෂ්ණත්වයේ උණු කර ගත් ජලය ගිනියම්ව පානය කිරීම සුදුසු නැහැ. අධික උණුසුම් ජලය පානය කිරීමෙන් උගුර ආශ්‍රිතව ඇති ෙසෙල පිච්චෙන්න ඉඩ තියෙනවා. මද්‍යසාර පානය නිසා ගලනාල ආශ්‍රිත පිළිකා ඇතිවන තත්ත්වයට සමාන තත්ත්වයක් ඇතිවීම නිසා වඩා රස්නයෙන් ජලය පානය කිරීම සුදුසු නැහැ.

ඒ නිසා හොඳින් උණු කළ ජලය මඳ රස්නයෙන් පානය කිරීම වැදගත්. උණුවතුර පානය කිරීමෙන් උගුර ආශ්‍රිත විෂබීජ මැරෙන නිසා ශ්්වසන ආබාධයන්ට හේතුකාරක විෂබීජ විනාශ කිරීමේ හැකියාව ලැබෙනවා. මේ පුරුද්ද අපි කාටත් ඉතාම පහසුවෙන් අනුගමනය කරන්න පුලූවනි.

වෛද්‍ය සමන් සමිත සෝමරත්න
නවලිය


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
1
Wow
Sad Sad
0
Sad
Angry Angry
4
Angry

Comments