අභියෝග නොතකයි – ජනපති ඊලඟ පිම්මට සැලසුම දිගහරී




කාබනික පොහොර භාවිතයට එළඹීමේ දී පැමිණෙන අභියෝග නොතකා මහජන නියෝජිතයන් ජනතා සුභසිද්ධිය පිණිස ඉදිරියට යායුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහිකිරීමට වස විසෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් තහවුරු කර තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ඒ වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට කෘෂිකර්මාන්තය රැගෙන යාම රජයේ දැඩි ස්ථාවර වී තිබෙනවා.

එම වැඩපිළිවෙළ ඇතැම් පාර්ශ්වයන්ගේ විවේචනවලට ලක් වුවද අනාගත දරු පරපුරේ යහපත උදෙසා ක්‍රියාත්මක විය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.

හිඟයක් ඇති කිරීමට උත්සාහ ගත්ත ද ඉදිරි කන්නය දක්වා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් තරම් ගෙන්වා තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ. එම නිසා සියලු වගා කටයුතු බාධාවකින් තොරව කරගෙන යා හැකි බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

හදිසි තීරණයක් නොවේ

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් සමග ඊයේ (07) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

කාබනික කෘෂිකර්මාන්තයට යොමුවීම රජය හදිසියේ ගත් තීරණයක් නොවන බවත් “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙන්ම පසුගිය අය වැයේදී මේ පිළිබඳ රජයේ ස්ථාවරය ඉදිරිපත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. එහෙත් කාබනික පොහොර සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් නොකිරීම අනිසි බියට හේතු වී තිබෙනවා.

කාබනික පොහොර කෘෂිකර්මාන්තය සඳහා ලංකාවේ විශාල විභවයක් පවතිනබවත් සංක්‍රාන්ති කාලය තුළ ගොවියාට මුහුණ පෑමට සිදුවන අසීරු අවස්ථා කළමනාකරණය කිරීමට උපරිම සහන සලසා දීම රජයේ ප්‍රතිපත්තිය බව ද ජනාධිපතිවරයා එහිදී පැහැදිලි කළා.

දශක කිහිපයක සිට රසායනික පොහොර භාවිතයට ගොවියා පෙළඹීම හේතුවෙන් විශාල පිරිසක් විවිධ බෝ නොවන රෝගවලට මුහුණ පා සිටියා. එම තත්ත්වයෙන් අනාගත පරපුර ගලවා ගැනීම රටවැසි සියලු දෙනාගේ වගකීම විය යුතු බව ජනාධිපතිවරයා කියා සිටියා.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
1
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments