මියගියේ පහරදීමෙන් නෙවෙයි?, පශ්චාත් මරණ පරීක්ෂණයෙනුත් වෙනස්ම කතාවක් එළියට

පසුගිය 14 වනදා රාත්‍රියේ උපකාරක පන්ති අවසන්ව හෙල්මට් නොමැතිව යතුරුපැදිවලින් ගමන්ගනිමින් සිටි , 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුන් තුන්දෙනෙකුට හෙල්මට් පළදින ලෙස ලබාදුන් උපදෙසකට කෝපයට පත් එම සිසුන් අදාළ එක්දරු පියාට පහරදී ඝාතනය කර ඇති බවටයි වාර්තා වුණේ.

එදිනම රාත්‍රියේ සැකකාර සිසුන් තුන්දෙනා වැලිපැන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග මත ලබන 28 වනදා දක්වා මාකොළ ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට පියවර ගැණුනා.

දැනට සිදුකර ඇති පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ඥාතී දියණියක් සහ සැකකාර සිසුන් තුන්දෙනාගෙන් එක් අයෙකු අතර ප්‍රේම සබඳතාවක් තිබී ඇති බවයි.

එම සිසුන් නිරන්තරයෙන් ඇය බැලීම සඳහා ඝාතනයට ලක්වූ පුද්ගලයා පදිංචි ප්‍රදේශයට යන බවත්, ඝාතනය සිදුවූ දිනද ඔවුන් උපකාරක පන්ති අවසන්ව එම ප්‍රදේශයට ගොස් ඇති බවත් විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

මියගිය පුද්ගලයා එසේ ගොස් ආපසු යමින් සිටි සිසුන් තිදෙනා ලුහුබැඳ පැමිණි බවටද පොලිසියට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මේ අතර මියගිය පුද්ගලයාගේ මරණය හෘදයාබාධයකින් සිදුවූවක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී තිබෙනවා. හෙල්මට්වලින් සිදුවූ පහරදීම් මාරාන්තික නොවන බවයි එහි දක්වා ඇත්තේ.

කෙසේ වෙතත් මෙම සිද්ධියත් සමඟ අදාළ පාසල් සිසුන්ගේ ඡායාරූප සහ ෆේස්බුක් ගිනුම් සමාජ මාධ්‍යයේ පළකරමින් විවිධ අදහස් දැක්වීම් සිදුකරන ආකාරයක් දක්නට ලැබුණා.

එම තත්ත්වය හමුවේ ඔවුන් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ පසුවිපරමක් සිදුකළා.

එම සිසුන් තිදෙනාම ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ සේවය කරන වලගෙදර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන්නන්.

සැකකාර සිසුන් තිදෙනාගෙන් එක් අයෙකුගේ පියා මියගොස් ඇති අතර සෙසු සිසුන් දෙදෙනා දෙමාපියන් සමඟ ජීවත්වන්නන් බව සඳහන්.

ඔවුන්ගෙන් එක් අයෙකුගේ දෙමාපියන් ඇදුම් මැසීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර අනෙක් දෙදෙනාගේ මව්පියන් කුලී වැඩකර ජීවත්වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 − one =