යුද හමුදාපතිවරයාගෙන් විශේෂ දැනුම්දීමක්




මේවන විට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා ලබන අගහරුවාදා (25) අලුයම 4ට ඉවත් කළ ද සාමාන්‍ය දිනයක් ලෙසට සංචරණ කටයුතු සිදු නොකරන ලෙසට යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම්දෙනවා.

අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ලබාගැනීම වෙනුවෙන් තම නිවස හෝ නවාතැන ආසන්නයේම ස්ථානයකින් ලබාගන්නා ලෙසටයි ඔහු දැනුම්දෙන්නේ.

පසුගිය සිකුරාදා (21) රාත්‍රී 11 සිට දිවයින පුරා ක්‍රියාත්මක කළ සංචරණ සීමා ලබන අඟහරුවාදා (25) අලුයම 4ට තාවකාලිකව ලිහිල් කර එදිනම රාත්‍රී 11ට යළි පැනවීමට නියමිතයි.

යුද හමුදාපතිවරයා අවධාරණය කරන්නේ අඟහරුවාදා දිනයේ සංචරණ සීමා ලිහිල් කරනු ලබන්නේ ආහාර ඖෂධ වැනි ජන ජීවිතයට අත්‍යවශ්‍යම භාණ්ඩ සහ සේවා ලබාගැනීමට ඉඩ ලබාදීම වෙනුවෙන් බවයි.

එහිදී සංචරණ සීමා ලිහිල් කිරීමක් මිස ඉවත් කිරීමක් සිදු නොවන බව ද ඔහු පෙන්වා දෙනවා.

සංචරණ සීමා ලිහිල් වන කාලය තුල විවෘතව තැබීමට ඉඩ ලැබෙන්නේ ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ අලෙවිසැල් මෙන්ම ඉන්ධන පිරවුම්හල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබාදෙන ආයතන පමණයි.

එහිදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නිවසින් බැහැරව යාමට අවසර හිමිවන්නේ එක් අයෙකුට පමණක් බවයි ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ.

මත්පැන් අළෙවිසල් විවෘතව තැබීමට සහ අත්‍යවශ්‍ය නොවන මහජන ඒකරාශී වීම් සඳහා ඉඩ නොලැබෙන බව ඔහු ප්‍රකාශ කළා.

මීට අමතරම මැයි 28 සිකුරාදා දිනයේදී සංචරණ සීමා යළි ලිහිල් කළ විට ද මෙම නියමයන් එලෙසින්ම ක්‍රියාත්මකයි.

29, 30 සති අන්තයේ සංචරණ සීමා පැනවීම පිළිබඳ 27 වනදා තත්වය සමාලෝචනය කිරීමෙන් පසු තිරණය කරන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
1
Sad
Angry Angry
0
Angry

Comments