MTFE ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක් රටින් පනී

පිරමීඩ යෝජනා ක්‍රමවලින් මුදල් රැස් කරන බවට චෝදනා එල්ල වූ MTFE ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක් වන රන්දුනු දේවගේ ඉන්දික නිරන්ජන් ජයවංශ නැමැත්තා අද උදෑසන 3.15 ට පමණ පිටත් වූ EK 649 ගුවන් යානයෙන් ඩුබායි බලා පළා ගොස් තිබෙනවා.

අදාළ සැකකරුවන් පිළිබඳ මහ බැංකුව විසින් පසුගිය 9 වන දින මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණ ද ඔවුන්ට එරෙහිව විදේශ ගමන් තහනමක් නිකුත් කර නැති බවයි වාර්තා වන්නේ.

2023 ලංකා ප්‍රිමියර් ලිග් තරගාවලියේ අනුග්‍රාහකයෙකු ලෙසද කටයුතු කළ MTFE ආයතනයට එරෙහිව මහ බැංකුව විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව තහවුරු කළ අතර ඔවුන් පවසා සිටියේ අදාළ ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි සමාගමක් නොවන බවයි.

එම ආයතනය 2023 ලංකා ප්‍රිමියර් ලිග් තරගාවලියේ අනුග්‍රාහකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අයි.පී.ජි සමාගම සමඟ ගිවිසුම් ගතව තිබූ අතර ඒ අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ජර්සියේ මෙම සමාගමේ ලාංජනය මුද්‍රණය කිරීමටත් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවල ප්‍රචාරණ කටයුතු සිදු කිරීමටත් එම ආයතන කටයුතු කර තිබෙන අයුරු දක්නට ලැබුණා.

කෙසේ වෙතත් පිරමිඩ සමාගමක් ලෙස කටයුතු කරන බවට මෙම සමාගමට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධය එල්ලවීමත් සමඟ එම සමාගම ශ්‍රී ලංකා ප්‍රිමියලීග් අනුග්‍රහකත්වය ඉවත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අයි.පී.ජී සමාගම පසුව කටයුතු කළා.

කෙසේ වෙතත් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ MTFE ආයතනයට විරුද්ධව කිසිදු පැමිණිල්ලක් තමන් වෙත ලැබී නොමැති බවයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳ මහ බැංකුව විසින් නිකුත් කර ඇති ලැයිස්තුවට ද මෙම ආයතනය ඇතුළත් කර නොමැති බවද වාර්තා වෙනවා.

No description available.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × one =