මාස හතරක් ගැබ්බර තරුණියකට පිරිමියෙක් උවමනා කර තිබේ – ඒ ලිපියට පිරිමි 450ක් කතා කළ සත්‍ය කතාව

කාලයේ ඇහෙන්න දකින්න ලැබෙන කතා හරි පුදුමාකාරයි.

කාලය අකාලය වේගෙන යනවාදෝ කියන හැඟීම නිරන්තරයෙන් දැනෙන කාලයක් මේ.

පසුගිය දවසක මාධ්‍යවල පල වුණා කිරිකැටි දරුවන් ඝාතනය කරපු,එහෙමත් නැත්නම් විකුණපු,නැත්නම් දුම්රිය පොළේ දාලා ගියපු කතා.

අපි ඒ හැමවිටකදිම සංවේදී වුණා හැරෙන්න ඉන් එහාට කුමක් කල යුතුද යන්න අපි කතා කලෙ නැහැ.

හදිසි ගැබ් ගැන්වීම් ආශාව මුල් කරගෙන සිදුවන බහුල සිදු වීමක් මෙම හේතුවෙන් සිදුවන ගබ්සා ප්‍රමානයත් මේ වන විට සැළකිය යුතු මට්ටමේ තිබෙන්නේ.

එවන් යුගයක සිදු වූ හරි පුදුම සහගත සිද්ධියක් ගැනයි මේ කියන්නේ.

මේ කතාව මට අහන්න ලැබෙන්නේ ප්‍රේමය සම්බන්ධව සබරගමුව විශ්ව විද්‍යාලයේදී ආදරවන්තයන්ගේ දිනයට සමගාමීව පැවති දේශනයකදි.

ඒ දේශනයෙදි මේ කතාව කියන්නේ මෙයට මුහුණ දුන් ජනප්‍රිය පත්තර කළාවේදියෙක්.ඔහු නමින් සංජක ප්‍රසාද් දොලේවත්ත.

ඔහු ඒ දිනවල සේවය කල පුවත්පතේ ඔහුගේ ලිපි මාලාව ඉතාමත් ජනප්‍රිය වී තිබුනා.

සෑම දිනකම ඔහු වෙනුවෙන් ඔහුගේ නමට ලිපි ලැබෙන්නේ ඔහුට තිබෙන ජනප්‍රියතාවය නිසාමයි.

නැතිනම් ඔහුට දුරකථන ඇමතුම් ලැබෙනවා.

ඉතින් දිනකදි ඔහුට දුරකථන ඇමතුමක් ලැබෙනවා.

ඒ ඇමතුම වෙනදා ලැබෙන ඇමතුමට වඩා හාත්පසින්ම වෙනස්.කතා කළේ ගැහැණු කෙනෙක්.

මේ ඔහුගේම හඬින් ඒ කතාව

” පුතේ අපි ඉන්නෙ වැව් බන්ට් එක උඩ.

මමත් දුවත් මේ වැව් බන්ට් එක දිගේ දහ දොලොස් පාරක් ඇවිද්දා.

තීරණයක් ගන්න බැරිව.මම හැම ඉරිදම පුතා ලියන ….. කියවනවා.

මම ඒ තීරු ලිපිය ගොඩක් විශ්වාස කරනවා ඒ නිසා තමයි මේ ප්‍රශ්නෙට විසඳුම ඔයාගෙන්ම ඉල්ලන්නෙ “

ඊට පස්සෙ දුවත් කතා කළා.ඇය තරුණියක්.

අවසානයේ ඔවුන් මට කිව්වෙ මෙහෙම කතාවක්.

ඒ තරුණිය තම ගම් පළාතෙ ඉඳලා කොළඹ රැකියාවකට එනවා.

එහිදී ඇතිවෙන්නා වූ ප්‍රේම සම්බන්ධතාවයක් රාගයේ සුරතාන්තය දක්වා දුර දිග යනවා.එහි ස්වාභාවික ප්‍රතිඵළය ලෙස ඇය ගැබ් ගන්නවා.

නමුත් මෙම ගැබ් ගැනීමත් සමගම ප්‍රේමවන්තයා අතුරුදහන් වෙනවා.

ඇය පමණක් තනිවෙනවා.

ඇයගෙ පවුලෙ අම්මා,තාත්තා,සහෝදරයා මේ කාටවත් මේ වගක් කියන්න තියා ඇයට ඒ ගැන හිතන්නවත් බෑ.

ඇය තමන්ගෙ හිතත් සමග සටනකට එන්න තීරණය කරන්නෙ ඒ අවස්ථාවෙදි. ” නෑ…මම ප්‍රෙග්නට් වෙන්නෙ නෑ ” ඇය තම සිතත් සමග එක,එක මාදිලියෙ බොහෝ දේ කරනවා.

නමුත් ශාරීරිකවත් ,අධ්‍යාත්මිකවත් ස්වභාදහම ක්‍රියාත්මක වෙනවා.

ඇයගේ කුස ටිකෙන් ටික උස් මහත් වෙනවා.

අවසානයේ මේ රහස ඇයගේ සිතේ පමණක් තියාගෙන තම ගම් පියසට යනවා.

ඒ තමන් ගැබ් ගන්නේ නෑ කියන ඒකාත්මික හැඟීමෙන්.

නමුත් මේ සියල්ලට වඩා වේගයෙන් ස්වභාදහම ක්‍රියාත්මක වෙනවා.

අවසානයේ මේ කිසි දෙයක් නොදන්න තමන්ගෙ මව දුවගේ අසනීප තත්වයට නිවසේ ශාන්ති කර්මයක් සූදානම් කරනවා.

ඒත් ඒ සියල්ල පරදවමින් ස්වභාදහම ක්‍රියාත්මක වෙනවා.

අවසානයේ අම්මත්,ඇයත් වෛද්‍ය වරයෙක් හමුවීමට තීරණය කරනවා.

ඒ මොහොත වෙනකන් අම්මා තමන්ගෙ දුව ගැබ්බරයි කියලා විශ්වාස කරන්නෙ නෑ.

වෛද්‍ය වරයා දුවව පරීක්ෂා කරළා අම්මට කියනවා ” සතුටු වෙන්න ඔයා ආචිචි කෙනෙක් වෙන්න යන්නෙ “

අම්මා කලන්තෙ හැදිලා වැටෙනවා.

අවසානයේ අම්මත් දුවත් තම ගම් පළාතෙ තිබෙන වැව් ඉස්මත්තෙ අත් දෙක අල්ලන් ඇවිද යනවා.

ඒක බොහොම ගැඹුරු,තීරණාත්මක ඇවිද යාමක්.” තමන්ගෙ දුවගෙ කුසේ ඉන්න දරුවා නැති කරනවද ? හදා ගන්නවද ?

නමුත් ගෙදර ඉන්න අනික් පිරිමි දෙන්නා මේක දැන ගත්තොත් කුමක් වෙයිද ?

ගමේ අය දැන ගත්තොත් කුමක් වෙයිද ?

ප්‍රශ්ණ කන්දරාවක් අතරේ ගෑණු දෙන්නෙක් වැව් ඉස්මත්තක තනිවෙනවා.

මේ වෙලාවෙ තමයි ඒ දෙන්නගෙ අවසාන තීරණය දුරකතනයෙන් මට එන්නෙ.

” පුතේ අපිට දරුවා නැති කරලා පව් සිද්ධ කරගන්න බෑ.

දැන් මගේ දුවගෙ බඩට මාස හතරක්.

මගේ දුව බඩ කරපු එකා දැන් හොයාගන්නත් නෑ.

මට හොයන්න ඕනෙත් නෑ.

මම මේ හොඳට කල්පනා කරලා බලලා කියන්නෙ.

අපි දෙන්නම තීරණයකට ආවා.මගේ දුවගෙ බඩට දැන් මාස හතරයි.මේ බඩත් එක්ක මගේ දුව බාරගන්න පුළුවන් ඇත්ත පිරිමියෙක් මට හොයලා දෙන්න.

ඒ වැඩේ පුතාගෙ “රහයි ජීවිතේ”(ලිපියෙහි නම) න් කරලා දෙන්න.

ඒ තමයි ඒ අම්මගෙන් මට ආපු ඉල්ලීම.ඒක මට හිතාගන්නවත් බැරි ඉල්ලීමක්.

මගේ හිතේ ගොඩාක් ප්ලෑන් හැදුනත් පුවත් පතකින් එහෙම කරන්නෙ කොහොමද කියන ප්‍රශ්නාර්ථය මගේ හිත ගොඩාක් දුර අරන් ගියා.

අවසානෙදි මම තීරණය කළා ඊලඟ කොලම් එකට “මාස හතරක් ගැබ් බර තරුණියකට පිරිමියෙක් උවමනා කර තිබේ ” කියලා ඒ කථාව ලියන්න.

මට ඒ වෙනුවෙන් මම වැඩ කරපු පත්තරේ කතෘතුමා මට උපරිම නිදහසක් ලබා දුන්නා.

ඒ අසිරිමත් ඉරිදාව උදා උනා.විශ්වාස කරන්න.මාස හතරක් වයැසැති කුසක් සමග එම තරුණිය භාර ගන්න කැමති පිරිමි 450 ක් මට කතා කළා.

කථා කරන හැම නම්බර් එකක්ම වෙනම පොතක සටහන් කර ගත්තා.

ඒ අය වෙන වෙනමම මට කථා කළා.සමහර අය හිටියා එයාලගෙ අම්මලා කතා කරන.

” මම කැමතියි පුතේ මගේ පුතාට ඒ දුව භාර දෙන්න “

එහෙම අම්මලත් හිටියා.

කෙසේ හෝ ඒ කතා කළ පිරිමි හාරිසිය පනහා වෙන වෙනම මම වෙන් කර ගත්තා.එයින් එක් අයෙක් මෙහෙම කිව්වා.

” මට අවුරුදු හැටක් වයසයි.මගේ වයිෆ් මැරිලා.මගේ දරුවො ඉන්නෙ පිට රටවල් වළ.

මම තනියම ලංකාවෙ ඉන්නෙ.මම කැමතියි ඒ කෙල්ලව භාර ගන්න.ඒ විතරක් නෙවෙයි ඒ ලැබෙන්න ඉන්න දරුවට මගේ වත්කම් ඔක්කොම ලියන්නත් මම කැමතියි.”

ඒ පිරිමි 450 න් ඇත්තටම ඒ දරුගැබ බලාගන්න පුළුවන් පිරිමියා හොයන අභියෝගය භාරගත්තෙ අපි.

අපේ තේමා පාඨය උනේ “වෛරයෙන් මිනිසුන් මියදෙනවාට වඩා,ආදරයෙන් මිනිසුන් ඉපදෙයි “යන තේමා පාඨය.

සුපුන්,දුවීන්,පුෂ්පේ,දිමුතු,දුවීන්,නිශාන්ත,ප්‍රගීත් කියන යාලුවො එක්ක අපි ඒ වැඩේ භාරගත්තා.

මේ සියල්ල ඇතුලෙ එම ගැබිණිය ගමටත් හොරෙන් අපි නැවත කොළඹට ගෙන්ව ගත්තා.

ඇය වෙනුවෙන් අපිට කළ හැකි සියළු සම්බන්ධතා අපි පාව්ච්චි කළා.

අවසානයේදි ඇයට දූ සිඟිත්තක් ලැබුනා.

අපිට කථා කළ පිරිමි 450 න් එක් අයෙකුට ඒ දූ සිඟිත්ත නීතියානුකූලව භාර උනා.

ඇත්තටම ඒ ආදරේ කොතරම්ද කියනවනම් ඒ දූ සිඟිත්ත අද කොළඹ ධනවත් ව්‍යාපාරිකයෙක් ලඟ ආදරයෙන් හැදී වැඩෙනවා.ඒ තමයි ආදරයේ ඇත්ත කථාව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × four =