අගුල් දැමූ ඔටෝ වාහන පන්නන මැෂිමක් හමු වෙයි – ඔබත් ප්‍රවේසම් වන්න

– තලවතුගොඩදී ඉස්සූ වාහනය හමුවුණේ තිහගොඩින්
– ස්කෑනරයත් පොලිස් භාරයට

බැංකු නිලධාරියකුට අයත් රුපියල් කෝටියක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් තලවතුගොඩ ප්‍රසිද්ධ වෛද්‍ය මධ්‍යස්ථානයක රථ ගාලේ නවතා තිබියදී පුද්ගලයන් දෙදෙනකු විසින් සොරාගෙන ඇති අතර එම සැකකරුවන් දෙදෙනා පැය විසිහතරක් ඇතුළතදී අත්අඩංගුවට ගැනීමට තලංගම පොලිසිය සමත් වී ඇත.

සැකකරුවන් දෙදෙනා සමඟ සොරාගත් මෝටර් රථය, එය පණ ගැන්වීම සඳහා යොදාගත් මෝටර් රථය ස්කෑන් කර පණ ගැන්වීම සඳහා භාවිත කරන මෘදුකාංග සහිත නවීන යන්ත්‍රයක්, සැකකරුවන් සොරකම සඳහා පැමිණි මෝටර් රථය, විවිධ වර්ගයේ සිම්පත් 2000කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.

ඉකුත් 27 වැනි දින රාත්‍රී වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි බැංකු නිලධාරියකු රථ ගාලේ සිය මෝටර් රථය නවතා වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් ප්‍රතිකාර ගැනීමෙන් අනතුරුව නිවෙස කරා යෑමට නැවත මෝටර් රථය නවතා තිබූ ස්ථානයට පැමිණීමේදී මෝටර් රථය සොරාගෙන ගොස් ඇති බවට දැක පොලිසියට පැමිණිලි කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම සොරකම සම්බන්ධයෙන් තලංගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්. ලක්ෂිත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ විමර්ශනවලදී සැක සහිත වාහනයක් රථ ගාල වෙත පැමිණෙන අයුරු හා එය පිට වෙන අයුරු නිරීක්ෂණය කර ඒ ඔස්සේ සිදු කළ දීර්ඝ විමර්ශනවලදී සැකකරුවන් දෙදෙනා හඳුනා ගැනීමට සමත් වී තිබිණි.

ඒ අනුව කඩුවෙල ප්‍රදේශයේ නිවෙසකදී එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරකම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඊට සම්බන්ධ වූ අනෙක් සැකකරු කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ බෝඩිමක සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

කඩුවෙල නිවෙසේදී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී මෝටර් රථය ස්කෑන් කර ස්වයංක්‍රීයව පණ ගැන්විය හැකි නවීන තාක්ෂණයෙන් යුත් මෘදුකාංග සහිත යන්ත්‍රයක් මෙන්ම අනෙක් සැකකරු සන්තකයේ ජංගම දුරකතන සඳහා භාවිත කරන විවිධ වර්ගයේ සිම්පත් 2000කට අධික ප්‍රමාණයක් තිබූ බව පොලිසිය කියයි.

එම මෘදුකාංග සහිත යන්ත්‍රය අන්තර්ජාලයේ පළ කර තිබූ දැන්වීමක් අනුව රුපියල් 60,000කට මිලදී ගත් බවට සැකකරු ප්‍රකාශ කර ඇත. සැකකරුවන් දෙදෙනාගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී සොරාගත් මෝටර් රථය මාතර තිහගොඩ ප්‍රදේශයේ කැලෑබද පෙදෙසක සඟවා තිබියදී එහි ලියාපදිංචි අංක තහඩු දෙක එම ප්‍රදේශයේම ළිඳකට වීසි කර තිබියදී සොයා ගැනීමට හැකි වී ඇත.

ඉකුත් 27 වැනි දින මෝටර් රථය සොරා ගැනීමෙන් අනතුරුව ප්‍රධාන සැකකරුගේ කඩුවෙල නිවෙසට ගොස් මෝටර් රථය තුළ තිබූ වටිනා දෑ ගලවා අනතුරුව මාතර දක්වා අධිවේගි මාර්ගය ඔස්සේ රැගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් දෙදෙනා මීට පෙර මෙවැනි අපරාධවල යෙදී ඇත්දැයි සොයා වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පරීක්ෂණ මෙහෙයවන පොලිස් නිලධාරියෙක් පැවසීය.

අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය පුරා පසුගිය වසර කිහිපය ඇතුළත සිදු වූ බව කියන මහාපරිමාණ මෝටර් රථ සොරකම්වලින් වැඩි සංඛ්‍යාවක් key fob උපකරණයෙන් පණ ගැන්විය හැකි තාක්ෂණයෙන් යුතු මෝටර් රථ බව හෙළි වී තිබේ. යතුරු රහිත එවැනි මෝටර් රථ සොරකම් කිරීම වර්තමානය වන විට බොහෝ යුරෝපා රටවල වාහන හිමියන්ට ද විශාල ගැටලුවක් බවට පත් වී ඇතැයි වාර්තා වේ.

එවැනි උපකරණ මඟින් වාහනයේ දොරටු විවෘත කිරීමට සහ පණ ගැන්වීමට රැහැන් රහිත සම්ප්‍රේෂක භාවිත කරමින් එම මෝටර් රථයේ key fob උපකරණයෙන් නිකුත් කරනු ලබන රේඩියෝ සංඥා සම්ප්‍රේෂණය කර ගැනීමට වාහන සොරුන් සමත් වී ඇත. සොරුන් විසින් භාවිත කරන එවැනි සම්ප්‍රේෂක වාහන හිමියන්ගේ සාක්කුව හෝ අත් බෑගය තුළ හෝ නිවෙසේ තබා ඇති key fob උපකරණයෙන් රේඩියෝ සංඥා ග්‍රහණය කරමින් ඔවුන්ගේ මෝටර් රථ සොරකම් කරනු ලබන බව මේ වන විට සොයා ගෙන තිබේ. මිනිත්තු දෙකකටත් වඩා අඩු කාලයකදී එවැනි වාහන සොරකමක් සිදු කළ හැකි බව ද වාර්තා වේ.

තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එන්. ලක්ෂිත, පොලිස් කොස්තාපල්වරුන් වන (84762) කුමාර, (60595) අමිල, (88333) රත්නායක, (94027) උශාන්ත මහත්වරු පරීක්ෂණ පවත්වති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 − one =