ජෙරම්ගෙන් යළිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගම්වලට නිගරු වන ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාවට ලක්ව සිටින ක්‍රිස්තියානි දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (21) යළි දිවයිනට පැමිණෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණත් ඔහු මේ දක්වා මෙරටට පැමිණ නැත.

කෙසේවෙතත් ඔහු මෙරට පැවති මෙහෙයකට සූම් යෙදවුම ඔස්සේ සම්බන්ධ වෙමින් කියාසිටියේ බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් බැතිමතුන්ට තම ප්‍රකාශයෙන් සිදු වූ සිත් රිදවීම පිළිබඳව සමාව අයදින බවය.

නමුත් එදින තමා කළ ප්‍රකාශය සත්‍යයක් බව ඔහු අද යළි අවධාරණය කළේය.

ක්‍රිස්තියානි දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිදුකළ මතභේදාත්මක දේශනයක් හේතුවෙන් බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගම්වලට නිගරුවන බැවින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස පාර්ශව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් ඒ සම්බන්ධව විමර්ශනයක් ද ක්‍රියාත්මකය.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක්ද ලබාගෙන ඇත.

එවැනි වටපිටාවක දේවගැති ජෙරම් ප්‍රනාන්දු රටින් පිටව ගොස් සිටි අතර ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් යොදමින් පවසා තිබුණේ තමන් යළි ඉරිදා, එනම් අද ශ්‍රී ලංකාවට පැමිණෙන බවය.

කෙසේ වෙතත් ඔහු මේ දක්වා යළි දිවයිනට පැමිණි බවක් වාර්තා වන්නේ නැත.

මේ අතර දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් අද දිනට අදාළ ඉරිදා මෙහෙය කටුනායක මිරකල් ඩෝම් ශාලාවේ නොපවත්වන බව ඔහු ඊයේ (20) සිය facebook ගිණුමේ සටහනක් යොදා තිබේ.

අදාළ දේව මෙහෙය දෙහිවල ප්‍රදේශයේ පිහිටි වෙනත් ස්ථානයක පවත්වන බවත් ඒ සඳහා සුම් යෙදවුම ඔස්සේ සම්බන්ධ විය හැකි බවත් එම සටහනේ වැඩිදුරටත් සඳහන් විය.

කෙසේ වෙතත් අද දහවල් එම දේව මෙහෙය පවත්වන ස්ථානය යළිත් වරක් වෙනස් කර තිබු අතර දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ facebook ගිණුමේ සටහන වුයේ එම දේව මෙහෙය නුගේගොඩ ප්‍රදේශයේ ස්ථානයක පවත්වන බවය.

ඒ අනුව අද පස්වරුවේ එම ස්ථානයේදී අදාළ මෙහෙය පැවති අතර ඊට සිංගප්පුරුවේ සිට සූම් යෙදවුම ඔස්සේ එකතු වූ දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිය අනුගාමිකයන් ඇමතීය.

එවන් පසුබිමක දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අයත් කටුනායක මිරකල් ඩෝම් ශාලාව ඉදිරිපිට අද පෙරවරුව වන විට පොලීසිය යොදවා ඇති ආකාරය දක්නට ලැබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three + fourteen =