ගම්පොළ ෆාතිමාගේ මරණය ගෙල මිරිකා ඇයගේ කුඩෙන්ම බෙල්ලට ඇනපු හැටි

ගම්පොළ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි ෆාතිමා මුනවුවරා නමැති තරුණියගේ මරණය ගෙල සිර කිරීමෙන් සිදු වූවක් බවත්, ඇය දූෂණයට ලක්ව නොමැති බවත් ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඊයේ (14) හෙළි විණි.

මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ශිවසුබ්‍රමනියම් මහතා විසින් ඊයේ (14) ඇයගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළේය.

නිවෙසේ සිට සේවා ස්ථානයට යමින් සිටියදී මේ තරුණිය දින 6ක් පුරා අතුරුදන්ව සිටි අතර, පසුව අනාවරණය වූයේ ඇගේ ගමේම පදිංචි 24 හැවිරිදි විවාහක එක් දරු පියකු විසින් මේ තරුණිය ඝාතනය කර හොර රහසේ වළ දමා තිබූ බවයි.

මේ පුද්ගලයා ඊයේ (14) ගම්පොළ අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී වැඩබලන මහේස්ත්‍රාත් එස්. තෙල්කාරගේ මහත්මිය ඔහු ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබීය.

ෆාතිමාගේ අවසන් කටයුතු ඊයේ (14) සවස වැලිගල්ල, ඇල්පිටිය මුස්ලිම් පල්ලියේ පොදු සුසාන භූමියේදී සිදු කරනු ලැබීය.

මෙහි සැකකරු ද එම ගමේම පදිංචිකරුවකු වූ හෙයින් ගම්පොළ පොලිසිය ඔහුගේ නිවෙසට ද ආරක්ෂාව සපයා තිබූ අතර, ෆාතිමාගේ අවසන් කටයුතු සඳහා ද ආරක්ෂාව දී තිබුණි.

ඝාතනය කර වළ දමා තිබියදී සොයා ගත් ගම්පොළ, වැලිගල්ල, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි ෆාතිමා මුනවුවරා නමැති තරුණියගේ සිරුර ගම්පොළ වැඩබලන මහේස්ත්‍රාත් රංජිත් ප්‍රේමරත්න මහතා ඉදිරියේ ඥාතීන් විසින් හඳුනාගැනීමෙන් පෙරේදා (13) පසු ගොඩ ගනු ලැබීය.

පසුගිය ඉරිදා ( 07 ) නිවෙසේ සිට සිය සේවා ස්ථානයට යමින් සිටියදී මේ තරුණිය අතුරුදන්ව ඇත. දින හයක් පුරා අතුරුදන්ව සිටි ඇය සොයා ගම්පොළ පොලිසිය සහ ගම්වාසීන් ඇල්පිටිය මහවැලි ගඟ දෙපස වන රොදවල් හා ඥාති නිවාස පරීක්ෂා කර තිබුණි.

ෆාතිමා ගෙලිඔය ප්‍රදේශයේ ඖෂධ හලක සේවය කරමින් සිටි අතර, පසුගියදා (7) බස් ගාස්තු ලෙස මවගෙන් රුපියල් 100ක් ද රැගෙන ඇල්පිටිය ප්‍රදේශයේ සිට පා ගමනින් වැලිගල්ල දක්වා ගමන් කිරීමේදී ඇය මෙසේ අතුරුදන්ව තිබුණි.

නිවසේ සිට මීටර 100ක් දුරින් පිහිටි ඇල්පිටිය පල්ලියේ සීසීටීවී කැමරාවල ඇයගේ රුව සටහන්ව තිබූ අතර, ඉන්පසු කිසිවකු ඇය දැක තිබුණේ නැත.

ඇයගේ දුරකථනය පවා විසන්ධිවී තිබූ අතර, සේවා ස්ථානයෙන් එදින පෙරවරු 11ට පමණ ඇයගේ නිවෙසට කතා කර ඈ පිළිබඳව විමසීම නිසා ඇය අතුරුදන්ව ඇති බව ඥාතීන් දැනගෙන තිබුණි.

සේවා ස්ථානය වන ඖෂධ හලේ යතුර පවා ඈ සතුව තිබී ඇති අතර, ඒ අනුව ඇය අනිවාර්යයෙන්ම සේවා ස්ථානයට යා යුතුව තිබිණි.

ෆාතිමාට වැඩිමහල් සොයුරන් තිදෙනකු ද සිටින අතර, ඇය පවුලේ එකම ගැහැනු දරුවාය. මව අසනීප තත්ත්වයෙන් පසුවුව ද පියා මේ සියලු කටයුතු සොයා බලා ඇත. පසුව ඥාතීන් ගම්පොළ පොලිසියේ ඇයගේ මේ අතුරුදන් වීම සටහන් කර තිබේ. ඒ අනුව ගම්පොළ පොලිසිය ඇයගේ ජංගම දුරකථන වාර්තා පවා ගැනීමට කටයුතු කළේය.

ගම්පොළ කොට්ඨාස භාර වැඩබලන පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ, ගම්පොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් සමඟ ඇය සෙවීමට සැලසුම් කළේ පුද්ගලයන් කිහිප දෙනකු පිළිබඳව තිබු සැකයත් සමඟිනි.

ඒ අතුරින් සීසීටීවී කැමරාවේ ඇයගේ පසුපසින් යන පුද්ගලයා පිළිබඳව බුද්ධි පරීක්ෂණ අරඹා තිබේ.

එම ගමේම පදිංචි අහමඩ් නමැති එක් දරු පියකු වූ මොහු එළුවන් හැදීමේ කාර්යයේ නිරතව සිටි අයෙකි.

මේ අතර ගම්පොළ පොලිසියේ අපරාධ අංශයේ සේවය කරන පොලිස් පරීක්ෂක ජයන්ත මහතාට විදේශ රටකින් ඇමතුමක් ලැබී ඇති අතර, එයින් කියැවී ඇත්තේ අතුරුදන් තරුණිය ඇල්පිටියේ අහමඩ් යන අය සමඟ ගම්පොළ ප්‍රදේශයේ නිවෙසක සිටින බවයි.

පොලිසිය වහාම ඒ පිළිබඳ සොයා බැලූ අතර, එහිදී මේ සැකකරු නීතිඥවරයකු සමඟ එම නිවෙසේ රැඳී සිටියදී ගම්පොළ පොලිස් භාරයට ගෙන තිබේ.

මොහුගෙන් ප්‍රශ්න කිරීමේදී මේ ඝාතනයේ සුලමුල හෙළිවී තිබේ.

සැකකරු මෙහිදී මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ කර තිබුණද ගම්පොළ පොලිසියේ විමර්ශනවලින් හෙළිවී ඇත්තේ තරුණිය කෙලෙසීමේ අදහසින් ඔහු ක්‍රියා කර ඇති බවයි.

එසේම මොහු මුහුණු පොත හරහා ද මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසු මේ ඝාතනය සිදු කළ බවත්, ගමේ මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයන් සිටින බව ප්‍රකාශ කර තිබීමත් පිළිබඳව ප්‍රශ්න කිරීමේදී එම ප්‍රකාශය තමා සිදු කළ එකක් නොවන බවත් ගම්පොළ පොලිසියේ ස්ථානාධිපති ලක්සිරි ප්‍රනාන්දු මහතා ඉදිරියේ ප්‍රකාශ කර ඇත.

එමෙන්ම මේ අහමඩ් යන අයගේ පියා ඇතුළු පවුලේ ඥාතීන් විසින් මේ ඝාතනය දැනගෙන තිබූ අතර, එය සැඟවීමට නොයෙකුත් සැලසුම් සකස් කර ෆාතිමාගේ පවුලේ අය නොමඟ යැවීමට ද විවිධ ප්‍රකාශ කර ඇති බව හෙළිවී ඇත.

24 හැවිරිදි මේ සැකකරු එළුවන්ට කොළ අතු කැපීමට යන ලෙස පිහියක් ද රැගෙන මේ තරුණිය පසුපසින් ගමන් ගන්නා ආකාරය මෙසේ කැමරාවේ සටහන්ව තිබීමත්, ඔහුගේ පරස්පර ප්‍රකාශ කිරීමත් පිළිබඳ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ අරඹා තිබේ.

පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ මෙසේ ගමන් කරන තරුණියගේ අතින් අල්ලන මොහු ඇය ඒ අසල තිබෙන කැලෑබද පොල් වත්තකට රැගෙන යෑමට උත්සාහ කළ බවයි.

නමුත් තරුණිය එයට විරුද්ධව ඔහුට බැණ වැදී සිද්ධිය පියාට පවසන බව කීම නිසා ඔහු ඇයගේ ගෙල මිරිකූ බවත්, බිම වැටුණු ඇයට ඇයගේම කුඩයෙන් බෙල්ලට ඇන ඇති බවත් පොලිසිය පවසයි.

මේ සිද්ධියෙන් පසුව මොහු මේ තරුණිය පොල්වත්තට රැගෙන ගොස් උදැල්ලක් සොයා ගෙනැවිත් වළ දැමූ බව ද අනාවරණයවී තිබේ. තරුණිය පොල් වත්තට ඇදගෙන යෑමේදී ඇයගේ අත බැඳී ඔරලෝසුව ද එම මඟ වැටී තිබියදී පොලිසිය සොයාගෙන තිබුණි.

ඉන්පසු ඇය පැලඳ සිටි පාවහන් යුගල ද, වතුර බෝතලය ද ඇතුළු අනෙකුත් දෑ එම කැලෑ ප්‍රදේශයේ විවිධ ස්ථාන වෙත ඔහු විසි කර තිබේ.

ෆාතිමාගේ දේහය ගොඩගන්නා අවස්ථාවට මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරී ආර්. පී. ජයසූරිය මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටි අතර, එම අවස්ථාවට තරුණියගේ පියා, සහෝදරයා සහ මව ද සහභාගීවී සිටියහ.

මළ සිරුර සමඟ ඇයගේ ගමන් බෑගය ද වළ තුළට දමා තිබූ අතර, එහි ඇයගේ දහවල් ආහාර වේල සමඟ රුපියල් දහ තුනක් සමඟ තවත් උපකරණ කීපයක් විය. එසේම ඇය සේවය කළ ඖෂධ හලේ යතුරු කැරැල්ල ද එහි විය.

විසන්ධි කර තිබූ ඇයගේ ජංගම දුරකථනය ද එම වළේ තිබී හමු විය.

මව විසින් බස් ගාස්තු ලෙසදී තිබූ රුපියල් 100 එහි නොතිබිණි.

ඇය වළ දමා තිබුණේ එතරම් ගැඹුරු වූ වළක නොවේ. එහි උඩ කොටසේ පස් අතින් ඉවත් කිරීමේදී සිරුර මතු විණි. ගොඩ ගත් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මහනුවර ජාතික රෝහලට රැගෙන යනු ලැබීය.

මෙහිදී ගම්පොළ ස්ථානීය අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චම්පික විමලරත්න, පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බණ්ඩාර, පොලිස් සැරයන්වරුන් වන 12 642 රත්නායක, 21002 බන්දුල, කාන්තා පොලිස් සැරයන් 2972 ඉනෝකා උඩගෙදර නිලධාරීහු විද්‍යාත්මක සාක්ෂි රැසක් ද සොයා ගනු ලැබීය.

ගම්පොළ කොට්ඨාස භාර වැඩබලන පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ මහතාගේ උපදෙස් මත ගම්පොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාරසිංහ, පොලිස් පරීක්ෂක ජයන්ත, කාන්තා පොලිස් පරීක්ෂක රසිකා, උප පොලිස් පරීක්ෂක පාලිත, පොලිස් පරීක්ෂක දසනායක, උප පොලිස් පරීක්ෂක තිස්ස, පොලිස් සැරයන් 33 128 දිසානායක, පොලිස් කොස්තාපල්වරුන් වන 101 295 විමලසුරේන්ද්‍ර, 101329 චන්ද්‍රසේන, කාන්තා පොලිස් කොස්තාපල්වරු වන 1937 ප්‍රදීපා, 9205 ඉෂංකා නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.

ගම්පොළ සමුහ – සුරංග දිල්හාන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 5 =