හිතෛෂීට මොකද වුණේ?

මේ දිනවල සිරස නාළිකාව ඔස්සේ විකාශය වන "මායාවී" කියන්නේ ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් ඉතාමත් ආදරයෙන් වැලඳ ගත්ත අතිශයින් ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. සංකල්ප සහ දුෂේනිගේ ආදර කතාව නරඹන්න ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් "මායාවී" ටෙලි නාට්‍යයත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒත් පහුගිය දවසක අපට අහන්න ලැබුණේ මායාවී ටෙලි නාට්‍යයට ආදරය කරන ප්‍රේක්ෂකයන් කිසිසේත්ම බලාපොරොත්තු වූ පණිවුඩයක් නම් නෙමෙයි. මේ ටෙලි නාට්‍යයේ හිතෛෂී කියන ප්‍රධාන චරිතයට පණ පොවන දුෂේනි මියුරංගි මායාවී ටෙලි නාට්‍යයෙන් ඉවත්වෙලා කියලා වගේම අධ්‍යක්ෂවරයා දුෂේනිව ටෙලි නාට්‍යයෙන් ඉවත් කරලා කියලත් කතාවක් සමාජගත වෙලා තිබුණා. ඇත්තටම මායාවී ටෙලි නාට්‍යයට ආදරය කළ ප්‍රේක්ෂකයන් දුෂේනිගේ මේ සමුගැනීම ගැන කතා කළේ ලොකු වේදනාවකින්. ඒ බව සමාජ මාධ්‍ය තුළ මේ සම්බන්ධයෙන් පළ වූ තොරතුරුවලින් හොඳටම පැහැදිලි වෙනවා. කොහොම වුණත් මායාවී ටෙලි නාට්‍යයෙන් දුෂේනි ඉවත්වීම ගැන ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන සඳුන් රාජකරුණා මුහුණුපොතට සටහනක් එකතු කරලා තිබුණා.

"මේ වන විට ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබෙන මායාවී ටෙලි නාට්‍යය තුළ ප්‍රධාන රංග ශිල්පිනිය ලෙස කටයුතු කළ දුෂේනි මියුරංගි දිගින් දිගටම ඇයගේ පෞද්ගලික ප්‍රශ්න මත රූපගත කිරීම් සඳහා නිසි පරිදි සහභාගි නොවීම හා මගහැරීම නිසා නිර්මාණයට සිදු වූ හානිය මත අවසන් වශයෙන් ඇය ඉවත් කිරීමට සිදුවිය. එය ඉවත් කිරීමකට වඩා ඇය විසින් ඉවත් වීමකි.... ඇය වෙනුවෙන් අපි අවසාන තත්පරය තෙක්ම රූපගත කිරීම් නතර කොට බලා උන්නෙමු. නමුදු ඇය නිර්දය ලෙස මගහැර සිටියාය. ඊට පෙරාතුවද අප ඇගේ ඇතැම් නොකටයුතු දරාගත්තේ මහත්‍ වූ ආයාසයෙනි.

ඒ සිදුවීම්වලින් එක් දෙයක් සරල වශයෙන් දක්වන්නේ නම් ඇය රූගත කිරීම් සඳහා වෑන් රථයට ගොඩ වූ තැන සිට රූගත කිරීම් අවසන් වන තෙක් ඇගේ පෙම්වතා විසින් වීඩියෝ ඇමතුම්වල රැඳී සිටිමින් රූගත කරන දර්ශන දෙස බලා සිට, ඇය සංකල්පගේ අතින් ඇල්ලුවොත්, වැලඳ ගැනීමක් සිදු වුවහොත් අදාළ පුද්ගලයා විසින් දුෂේනිට කතා කොට පැය ගණන් ඉතා පහත් ලෙස බණිමින් රණ්ඩු වීම දිගින් දිගට සිදු විය.

එවැනි අවස්ථා 30කට වැඩි වාර ගණනක් ඇය එක්වරම දර්ශන තලයෙන් පිටව ගිය බව නළු නිළියන්ට සේම තාක්ෂණ ශිල්පීන්ටද රහසක් නොවේ. ඒ ඇයට තවදුරටත් වැඩ කිරීමට මානසිකත්වයක් නොමැති බව පවසමින්ය.

එසේ ගිය අවස්ථා කිහිපයකදී ම ඇය නැවත රූගත කිරීම්‍ සඳහා පැමිණියේ සති දෙක තුනකට පසුවය. ඇතැම් අවස්ථාවල නාළිකාවට episode ලබා දීමට නොහැකි වීම මත ඇයගේ කුරුණෑගල නිවසටද ගොස් බැගෑපත් වී අපගේ වාහනවලින් ඇය රැගෙන ආ අවස්ථා බොහෝය.

ඒ කිසිවක් සිදු වූයේ අපගේවත්, අනෙකුත් ශිල්පීන්ගේවත් වරදින් නොව ඇගේ පෞද්ගලික ප්‍රශ්න මතය.

තවත් බොහෝ දේ ලිවීමට තිබුණද මා එය සටහන් නොකරන්නේ ඇය රංගන ශිල්පිනියක් කිරීම සඳහා මූලික අඩිතාලම දැමූ අධ්‍යක්ෂවරයා වශයෙන් ඇයව අපහසුතාවට පත් කිරීමට පෞද්ගලිකව කිසිදු අවශ්‍යතාවක් මට නොමැති බැවින් හා අප වැදගත් ලෙස මේ කේෂ්ත්‍රය තුළ රැඳී සිටින බැවින්ය. දුෂේනි අවස්ථා 31 කදී ද අප අපහසුතාවට පත් කළ බව ඇයට අමතකව තිබීම කනගාටුවට කරුණකි. හිතවත් දුෂේනිට කියන්නට ඇත්තේ ඔබේ හදවතට තට්ටු කර සත්‍ය ව⁣ශයෙන්ම පසුගිය මාස කිහිපය තුළ සිදු වූ සිදුවීම්‍ සිදු වූයේ අපේ වැරදි මතද නැත්නම් ඔබේ පෞද්ගලික ප්‍රශ්න මතද කියා අසා දැන ගන්නා ලෙසයි.

ආදරණීය ප්‍රේක්ෂකයන්ට හිතෛෂී වෙනස් වීමෙන්‍් යම් අසාධාරණයක් සිදු වූවා නම්‍ මා හා මහේෂ් රත්සර මහතා, රංග ශිල්පීන් හා සියලු ශිල්පිනියන් ඒ වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමු. සිදු වූ අතැම් කිව නොහැකි සිදුවීම් තවදුරටත් දරා ගැනීමට නොහැකි නිසයි ඇය ඉවත් කිරීමට සිදු වූයේ.

සැබැවින්ම එය ඉවත් කිරීමකට වඩා නාට්‍ය පවත්වාගෙන යාමට අපට ගත හැකිව තිබූ අවසන් විසඳුමයි. ඒ තීරණය නොවන්නට මේ සතියේ සිටම මායාවී විකාශය වීම නතර වීමට ඉඩ තිබිණි. එමෙන්ම ඇයගේ අක්‍රමවත් වැඩපිළිවෙළ නිසා අනෙකුත් රංගන ශිල්පීන්ට සිදු වූ අපහසුතා කොතෙක්ද?

මේ අධ්‍යක්ෂවරයා මුහුණු පොතට එක් කළ සටහනේ කොටසකි. කෙසේ වුවත් දුෂේනි මියුරංගිද මායාවී ටෙලි නාට්‍යයෙන් ඉවත්වීම ගැන මුහුණු පොතට සටහනක් එකතු කර තිබිණි. මේ ඇයගේ සටහනෙන් උපුටා ගත් එක් කොටසකි.

"මා මෙම පොස්ට් එක දාන්නේ.. ඔබ සියලුම දෙනා දැනුවත් කිරීම පමණක් වන අතර, කිසිදු කෙනෙක් හට අපහාසයක් හෝ අපහසුතාවකට පත් කිරීමට නොවේ. මා ගැන දැමූ පෝස්ට් එකක් නිසා මට ඇතිවූ අපහසුතාවක් සහ මාගේ දෙමාපියන්ට ඒ නිසා වූ අපහසුතාව නිසාම පමණකි...

2025.03.07 වැනි දින "මායාවී" ටෙලි නාට්‍යයේ වැඩ කිරීමට යෙදී තිබුණේ. ඊට පසු දිනයන්හි මා ප්‍රධාන චරිතයෙන් දායක වන මගේ අලුත්ම ටෙලි නාට්‍යයක රූපගත කිරීම තිබුණු නිසා මා හට එමගින් ඇති වූ මහන්සියට මට අසනීප වී තිබිණි. එසේ තියා "රාජකාරිය දේව කාරිය" කියා සිතා මා මට යෙදී තිබුණු දිනයට පැමිණියෙමි. නමුත් එදින මට අපහසුතාවක් සහ අසනීප තත්ත්වයක දැනුණු නිසා මා ටෙලි නාට්‍ය නිෂ්පාදකතුමාට එය දැනුවත් කර කියා සිටියේ අසනීප නිසා මා හට දින දෙකක නිවාඩු කාලයක් දෙන ලෙසය. ඒ අනුව මා ඒමට යෙදී තිබුණේ මාර්තු මස 10 වැනි දිනය. (මා සිතනවා මා හට ඇති අසනීප තත්ත්වය මා දැනුවත් කර සිටියද මා ඒ අසනීපය කුමක්ද කියා දැනුවත් කිරීම අවශ්‍ය නැති බවය.. මොකද එය පෞද්ගලික මතයක් නිසා...

මා සිතනවා රංගන ශිල්පියකුටද අසනීපයක් හෝ වීඩාවක් දැනීමට හැකියාවක් ඇත. මොකද යත් ඔහුන්ද මිනිසුන් වීම නිසා... නමුත් මා හට ආරංචි වුණේ මා වෙනුවට වෙන අයෙක් මේ වෙනුවෙන් යොදා වැඩකටයුතු කරගෙන යන බවයි.. එය මා හට කිසිදු හිත් රිදීමක් නැත... මා හට ඇත්තේ මා ගත් දින දෙකට ඔවුන්ට ඒ තරම් දෙයක් කිරීමට අවශ්‍ය වුණාද යන්නයි. මාගේ ආදරණීයම ප්‍රේක්ෂකයාට කීමට ඇත්තේ, මා මෙම නිර්මාණයෙන් ඉවත් වුණේ හෝ මේ නිර්මාණයට අපහස කළේ නැත...

හිතෛෂීට ආදරය කළ සියලුම දෙනාට ස්තුතියි."

ගැටලුව කොතැන තිබුණද වරද කාගේ වුවද එයින් අසාධාරණයක් වන්නේ සම්පූර්ණ නිර්මාණයට සහ ඒ නිර්මාණය සමග තදින් බැඳී සිටි ප්‍රේක්ෂකයාට බව අමුතුවෙන් කිව යුතු නැත. මින් පෙරද ප්‍රේක්ෂකයන් අතිශය ආදරයෙන් වැලඳ ගත් නිර්මාණවල ප්‍රධාන චරිතයට පණ දුන් රංගන ශිල්පීන් හා ශිල්පිනියන් හිටිහැටියේ එම නිර්මාණ හැර ගිය අවස්ථා ඕනෑ තරම්ය. ඒ සියලු අවස්ථාවන්හිදී මෙන්ම මෙවරද ප්‍රේක්ෂකයාට හුරුපුරුදු රුව අමතක කර දමා අලුත් මුහුණක් සමග තමන් ආදරය කරන ටෙලිනාට්‍ය රස විඳීමට සිදුවනවා ඇත. ඕනෑම කාර්යකදී මෙන්ම නිර්මාණකරණයේදීද පිරිස් අතර මතභේද හට ගැනීම ප්‍රශ්න ගැටලු ඇතිවීම අසනීප වීම අසාමාන්‍ය දෙයක් නොවේ. කළ යුතුව තියෙන්නේ එම ගැටලු විසඳාගෙන ප්‍රේක්ෂකයා අපහසුතාවයට පත් කිරීමකින් තොරව නිර්මාණය රස විඳීමට අවස්ථාව උදාකරදීමයි. කෙසේ වෙතත් හිතෛෂී ටෙලි නාට්‍යයෙන් ඉවත්වීමේ ඇත්ත කතාව දැනගන්න ප්‍රේක්ෂකයන් මහත් උනන්දුවෙන් බලා සිටින බවද කිව යුතුය. අධ්‍යක්ෂවරයා හෝ මායාවී ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙනත් පුද්ගලයෙක් හෝ හිතෛෂීට පණ දුන් දුෂේනි මියුරංගි හෝ ඒ සැබෑ සත්‍ය හෙළිකිරීමට අපට කතා කරාවි යැයි අපි බලාපොරොත්තු වෙමු. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post