තාත්තා මේ කිසි දෙයක් දන්නේ නැහැ... - පසිදු ගේ දේහය හෙට නිවසට ගෙන එද්දී මුහුදු ගිය තාත්තාත් නිවසට....

මාතර - දෙවුන්දර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පසිඳු තාරක නමැති තරුණයාගේ අවසන් කටයුතු එළබෙන සෙනසුරාදා සුදු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
ඔහුගේ දේහය හෙට නිවසට ගෙන එන බවටයි වාර්තා වන්නේ.

මේ අතර සිය පුත්‍රයා වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇති බවට මුහුදු ගොස් සිටින පියා දැනුවත් නොමැති බවද සදහන්.

ධීවර රැකියාවේ නිරත ඔහු අනිද්දා නිවසට ඒමට නියමිත බව සදහන්.

ගන්දර, දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය අසල ඉකුත් 21දා රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සංඛ්‍යාව මේ වන විට පස්දෙනකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සිද්ධියට අදාළව කාන්තාවක් ඇතුළුව පුද්ගලයන් සිවුදෙනකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබූ අතර පස්වැනි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් 23 වැනිදා උදෑසනයි.

ඒ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසිනි. මෙලෙස අත්අඩංගුවට ගැනුණේ 34 හැවිරිදි දෙවිනුවර පදිංචි අයෙක්.

ඔහුට එල්ල වී තිබූ චෝදනාව වූයේ ද්විත්ව ඝාතනය සඳහා තුවක්කුකරුවන් පැමිණි බව කියන වෑන් රියට ගිනි තබා විනාශ කිරීමයි.

දෙවිනුවරම පදිංචි මෙම පුද්ගලයාගෙන්ද ඊයේ වන විට දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරුණු අතර ඔහුගෙන් විමර්ශනයට අදාළ වැදගත් තොරතුරු රැසක් මේ වන විට හෙළිවී තිබෙනවා.

කෙසේ වෙතත් දැනට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන කාන්තාව ඇතුළු පුද්ගලයන් සිවුදෙනාගෙන්ද විමර්ශනයට අදාළ වැදගත් සාක්ෂි රැසක් හෙළිව ඇති අතර ඔවුන්ගෙන් ලද ප්‍රශ්න කිරීම මත වෙඩි තැබීමට පැමිණි තුවක්කුකරුවන් දෙදෙනාද හඳුනාගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිව තිබේ.

එමෙන්ම ගිනිතබා විනාශ කළ වෑන් රියේ තොරතුරු රැසක්ම මේ වන විට නිලධාරීන් අනාවරණය කරගෙන හමාරය.

එක්තරා දුරකථන සන්නිවේදන සමාගමක සන්නාම ස්ටිකර්වලින් අලංකරණය කර තිබූ වෑන් රිය එකලස් කරන ලද වාහනයක් බවටද සැක මතුව ඇත.

මෙම වෑන් රියට සමාන වෑන් රථයක් සිද්ධියට පෙර දින මැරුම්කෑ තරුණයන් දෙදෙනා සහභාගි වූ මත්පැන් සාදය පැවැත්වූ ස්ථානයට යාබදව නතර කර ඇති ආකාරය සඳහන් සී.සී.ටී.වී. රූප රාමු පෙළක්ද මේ වන විට විමර්ශන නිලධාරීන් සතුව ඇත.

මේ අනුව විමර්ශන නිලධාරීන් සැක කරන්නේ මත්පැන් සාදය නිමවී ඔවුන් යතුරුපැදියේ නැඟී එම ස්ථානයෙන් පිටවන විටම කිසිවකු විසින් තුවක්කුකරුවන්ට දුරකථන ඇමතුමක් දී ඒ බව කියා ඇති බවයි.

එම ඇමතුම දී ඇත්තේ මියගිය තරුණයන්ගේ සමීපතමයකු විය හැකි බව පොලිසියේ සැකයයි.

එම ඇමතුමත් සමඟ පණගැන්වුණු වෑන් රිය, යතුරුපැදියේ නැඟි තරුණයන් පිටුපසින් මඳ දුරක් පැමිණ දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපිටදී තරුණයන් ගමන් ගත් යතුරුපැදියේ ගැටීමට සලස්වා පසුව මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඔවුන් අතර සිටින තිස් හැවිරිදි කාන්තාව මෙම ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු දැනගෙන සිටි බව කියැවේ.

ඇගේ සැමියා ඝාතනය සම්බන්ධ තොරතුරු ඇයට පවසා තිබී ඇති බවත් කියයි. ඇගෙන් කරන ලද ප්‍රශ්න කිරීමෙන් පසු ද්විත්ව ඝාතනය සිදුකිරීම සඳහා කොන්ත්‍රාත්තුව භාරගත් තැනැත්තාද විමර්ශන නිලධාරීන් මේ වන විට හඳුනාගෙන තිබේ.

මේ සිවුදෙනා අතර වෙඩික්කරුවන්ට නවාතැන් දුන් පුද්ගලයකුද සිටින බව වාර්තා වේ. ඔහු ඩුබායි රාජ්‍යයේ සිට මෙම ද්විත්ව ඝාතනය මෙහෙයවූ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සමීපතමයකු බව කියැවේ.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන්ගෙන් මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කෙරෙන අතර ඒ අනුව අනාවරණය වන්නේ ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින දෙහි බාලේ සහ දෙහි රංග නමැති සොහොයුරන් විසින් මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

Post a Comment (0)
Previous Post Next Post