ජනපති කොවිඩ් මර්දන කමිටුව රැස්කරයි – හදිසි තීන්දු රැසක් ගනී




සෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ලොව ප්‍රධාන පෙළේ රටවල් ගණනාවක් තුන්වන මාත්‍රාව සඳහා එන්නත් මේ වන විටත් ඇණවුම් කර තිබෙන බවත් ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර තෙවන මාත්‍රාව ලබාදීම සඳහා සූදානම් වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ලොව පුරා සියලු රටවලින් එන්නත් සඳහා විශාල ඉල්ලුමක් පවතිනවා. එම තරගකාරී තත්ත්වය තුළ වැඩි එන්නත් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා රටවල් රැසක නායකයන් සමඟ සාකච්ඡා කර සහාය ඉල්ලා සිටි බව ජනාධිපතිවරයා සඳහන් කළා. ඒ අනුව ඉතා අසීරුවෙන් ලබාගත් එන්නත් විනිවිද භාවයකින් හා විධිමත්ව ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළා.

මේ වන විට එන්නත් විශාල ප්‍රමාණයක් ලැබී ඇති හෙයින් වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාට සහ හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ට ද කඩිනමින් එන්නත ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ඊට සමගාමීව බෝ නොවන රෝගවලින් පෙලෙන සියලු දෙනාට ද එන්නත ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නා.

එකම විසඳුම එන්නත

වැඩි පිරිසකට එන්නත් ලබාදීමෙන් කොවිඩ් වසංගතය පැතිර යාම සහ ආසාදිතයන් අසාධ්‍ය තත්ත්වයට පත්වීම වළක්වා ගත හැකි බව කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ රැස් වූ අවස්ථාවේ ජනාධිපතිවරයා පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

විධිමත් එන්නත්කරණයට සහ එන්නත් ලබා ගන්නා සියලු දෙනා පිළිබඳ දත්ත එක්රැස් කිරීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විශේෂ මෘදුකාංගයක් නිර්මාණය කර තිපෙනවා. එමඟින් ග්‍රාමසේවා සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් එන්නත ලබා ගැනීමට දිනයක් සහ වේලාවක් පහසුවෙන් වෙන් කර ගැනීමට හැකි බවයි එම මාධ්‍ය අංශය පවසන්නේ.

චෝදනා ගොඩයි

මේ වන විට එන්නත් ලබා ගෙන ඇති සහ ඉදිරියට ලබා ගන්නා සියලු දෙනා පිළිබඳ තොරතුරු ඊට ඇතුළත් කිරීමටත් එන්නත්කරණය පිළිබඳ ජාත්‍යන්තරය පිළිගන්නා සහතිකයක් නිකුත් කිරීමටත් රජය අපේක්ෂා කරනවා.

කොවිඩ් නොවන මරණ, පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීමෙන් අවසන් කටයුතු කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳව බොහෝ දෙනාගෙන් චෝදනා එල්ල වී තිබෙනවා. එය සැලකිල්ලට ගෙන වෙනත් හේතූන් මත මිය යන අයගේ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට පියවර ගැනීමට කොවිඩ් විශේෂ කමිටුව තීරණය කළා.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
1
Wow
Sad Sad
1
Sad
Angry Angry
1
Angry

Comments