ලංකාවම කැළඹූ අම්පාරේ දිලීර ආසාදිතයා‍ෙග් සැබෑ කතාව




පසුගිය දිනක මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ ඉන්දියාවේ පැතිර යන, කළු දීලිර ආසාදනය වැලඳුණු පුද්ගලයෙක් අම්පාර
ප්‍රදේශයෙන් වාර්තා වූ බව කළ ප්‍රකාශයත් සමඟ, එම ප්‍රවෘත්තිය සියලු මාධ්‍ය හරහා වේගයෙන්
පැතිර ගියේය. පසුව මේ පිළිබඳව අදහස් දක්වමින් අම්පාර දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග
විද්‍යාඥ වෛද්‍ය වජිර රාජපක්ෂ පවසා සිටියේ එම පුවත පදනම් විරහිතව සිදු කළ අසත්‍ය
ප්‍රකාශයක් බවයි. අම්පාර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටි එම පුද්ගලයා මිය ගොස් තිබුණේ
මොළයේ ඇති වූ දිලීර ආසාදනයකින් බව ද හෙතෙම පැවසීය. කළු දිලීර ආසාදනය ද මොළයට බලපාන
බැවින් මේ පිළිබඳව ජනතාව තුළ කුකුසක් මතුව තිබේ.

මේ වනවිට ඉන්දියාවේ පැතිරෙමින් තිබෙන කළු දිලීර රෝගය හෙවත් කළු පුස් රෝගය (Black
fungus)වෛද්‍ය විද්‍යාවේ හඳුන්වනු ලබන්නේ “‘මියුකොමයිකසිස්’ (mucormycosis)යනුවෙනි.
‘මියුකොමයිකසිස්’ (Mucormycosis)යනු දිලීර වර්ගයක් නිසා ඇති වන ඉතා දුර්ලභ ආසාදනීය තත්ත්වයකි.
මෙහි රෝග ලක්ෂණ වන්නේ නහය දෙපැත්ත කළු වීම, තල්ල කළු පැහැ වැනි දේය. පස්, ශාක වර්ග,
පොහොර, නරක් වූ පලතුරු සහ එළවළු ආදියේ එම දිලීරය බහුලව දක්නට ලැබේ. මේ දිලීරය සෑම තැනකම
පැවතිය හැකිය.

එය පසෙහි සහ වාතයේ මෙන්ම නිරෝගී මිනිසකුගේ නාසයේ හෝ සෙම සොටු ආදියෙහි පවා තිබේ. නාසය
තුළින් බීජානු ශරීරය තුළට ඇතුළු වී කළු දිලීරය ආසාදනය විය හැකිය. ‘සෛනස්’ (sinuses)තත්ත්වයන්ට,
මොළයේ සහ පෙනහළුවල ආසාදනයවීම් කෙරෙහි හේතුවිය හැකිය.

‘මියුකොමයිකසිස්’ (mucormycosis)නම් කළු දිලීරය ලංකාවට අලුත් දෙයක් නොවේ. එය මීට ප්‍රථම
මෙරටින් වාර්තා වූ දිලීර ආසාදනයකි. මෑත උදාහරණ විදිහට 2019 වසරේදී කළු දිලීරය ආසාදනය වූ
රෝගීන් 42 දෙනකු ද, 2020 වසරේදී රෝගීන් 24 දෙනකු ද සහ 2021 වසරේ ජනවාරි මාසයේ සිට මේ
දක්වා රෝගීන් 24 දෙනකු ද මෙරටින් වාර්තා වී ඇති බව වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීර
දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී, දිලීරවේදී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර පැසුවාය. ඇය
සඳහන් කර සිටියේ, දීලිර සම්බන්ධ සියලු පර්යේෂණ සඳහා වන සාම්පල වෛද්‍ය පර්යේෂණායතනයේ
දිලීරවේදී දෙපාර්තමේන්තුවට ලැබෙන බැවින් මේ දක්වා මෙරටින් වාර්තා වූ එකදු කොවිඩ් 19
ආසාදිතයෙකුට හෝ මෙම දිලීරය ආසාදනය වී ඇතැයි, මෙතෙක් තහවුරු වී නැති බවයි.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත කිසිදු රෝගියකුට‘මියුකොමයිකසිස්’ (mucormycosis)ආසාදනය වී නැත.
එසේ වුවත් ශ්‍රී ලංකාව නිරක්ෂය ආසන්නයේ පිහිටි රටක් නිසා මෙම දිලීරය වර්ධනයට අවශ්‍ය සියලු
පරිසර සාධක මෙරට තුළ පවතින බව ඇය සඳහන් කළාය. එසේම මෙම කළු දිලීර ආසාදනය වන්නේ
ප්‍රතිශක්තිකරණය පද්ධතිය දුර්වල රෝගීන්ට (දියවැඩියා පිළිකා, අවයව බද්ධ කළ.. ) මෙම දිලීරය
ආසාදනය වීමේ වැඩි නැඹුරුවක් පවතින බව සහ මීට පෙර එවැනි ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල රෝගීන්ට
මෙම දිලීරය ආසාදනය වී ඇති බව ද දිලීරවේදී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර ප්‍රකාශ කළාය.
ඇය පවසන අන්දමට කළු දිලීර රෝගී තත්ත්වය බෝ වන රෝගී තත්ත්වයක් නොවන නිසා ජනතාව කිසිදු බියක්
ඇති කර ගත යුතු නැත .

අම්පාර Covid 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියකු කළු දිලීර
(Black fungus) සෑදීමෙන් මියගිය බවට පැතිරෙන තොරතුරු සාවද්‍ය බව පවසන අම්පාර මහරෝහලේ
ක්ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍ය වජිර රාජපක්ෂ; අදාළ රෝගියා මියගොස් ඇත්තේ ඉහත කී දිලීරය මඟින්
නොව බහුලව හමුවන ඊස්ට් (Yeast)වර්ගයේ දිලීරයක් නිසා බව කියා සිටියේය. කලාතුරකින් දැකිය හැකි
මෙම දිලීරය සෑම දෙනාගේම පාහේ නාස් පුඬුවල පැවතිය හැකි අතර, අවස්ථාව අනුව අපව රෝගී
තත්ත්වයට පත් කරන බවය. මෙය පරිසරය තුළ ද බහුලව ඇත. රෝග ලක්ෂණ ආසාදනය වූ ඉන්ද්‍රිය මත
තීරණය වන අතර, බහුලවම හමුවන්නේ කෝටරක ප්‍රදාහය සම්බන්ධ රෝග ලක්ෂණ වේ.

(උණ, හිසරදය,
ඇස් යට රිදීම…) ඇස්වලට රෝගය ඇතිවීමේ දී ඇස් වටා ඇතිවන ඉදිමීම, නොපැහැදිලි සහ ද්විත්ව දර්ශන
(Blurred vision & Double vision)පෙනීම ආදිය ඇති විය හැකිය. වඩාත්ම දරුණු වන්නේ ඇස්
හා මොළයට බලපාන රයිනෝසරෙබ්‍රල් (Rhinocerebral)තත්ත්වයයි.

මෙම රෝගය වැලඳීමට වැඩි අවදානමක් ඇති අය ලෙස ඒඩ්ස් රෝගීන්, පාලනයක් රහිත දියවැඩියාව ඇති
අය, නිදන්ගත වකුගඩු අමාරු ඇති අය, අවයව බද්ධ කළ අය, පිළිකා සහිත අය, දීර්ඝකාලීනව ස්ටෙරොයිඩ්
ඖෂධ ලබා ගන්නා අය, මන්දපෝෂණය ඇති අය හා වෙනත් හේතූන් නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල
අය සැලකිය හැකිය.

රෝග විනිශ්චය කරනුයේ බයොප්සි (Biopsy) පරීක්ෂණයක් මඟිනි. මෙම රෝගය සඳහා ඖෂධ ඇති නමුත්
රෝගය වැලඳුණු පසු ව එය දරුණු වී මරණයට පත්වීමේ ඉඩකඩ වැඩිය.

සාමාන්‍යයෙන් ඇස්වලට හා මොළයට වැලඳෙන මෙම දිලීර රෝගය රෝගය නිසා 30%-70% ප්‍රමාණයක්
මරණයට පත්වේ. මෑතකදී ඉන්දියාවෙන් මෙම දිලීර රෝගය නිසා මරණයට පත්වූ රෝගීන් වැඩිපුර වාර්තා
වීම නිසා එය සෑම දෙනාගේම අවධානයට ලක්විය. මෙය ඉන්දියාවේ පමණක් නොව Covid 19 ලෝක
ව්‍යාප්තියත් ලෝකයේ ඕනෑම තැනක වාර්තා විය හැකි ය.

එය මූලිකවම කරුණු තුනක් නිසා සිදුවිය හැකිය එනම් ප්‍රතිශක්තිය අඩු අයට Covid 19 රෝගය වැලඳී
තිබීම මෙන්ම Covid 19 රෝගය නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ අයට සහ Covid 19 රෝගයට
ප්‍රතිකාර ලෙස Dexamethasone වැනි ස්ටීරොයිඩ් (Steroids) වර්ගයේ ඖෂධ අධි මාත්‍රා වලින්
ලබා ගන්නා රෝගීන්ටය.

ඉන්දීය වෛද්‍යවරුන් විසින් සිදු කරන ලද අධ්‍යයනයක දී කොවිඩ්-19 ආසාදිතව පසුව
‘මියුකොමයිකසිස්’(mucormycosis) ආසාදනය වූ සියයකට අධික පිරිසක් විමර්ශනය කරනු ලැබ ඇති අතර
ඔවුන්ගෙන් හැත්තෑ නවදෙනෙක්ම (79) පුරුෂයෝ වූහ. එම රෝගීන් අතර 83න් දෙනෙකුම දියවැඩියාවෙන්
පෙළෙන බව ද අනාවරණය විය. එසෙම ‘මුම්බායි’නගරයේ රෝහල් දෙකක කළු දිලීර ආසාදිත රෝගීන්
හතළිස් පස්දෙනකු (45) යොදාගනිමින් සිදුකරන ලද තවත් අධ්‍යයනයකින් ඔවුන් සියලු දෙනාම දියවැඩියා
රෝගීන් හෝ දියවැඩියාව වැලඳීමට ආසන්න තත්ත්වයක සිටින බව අනාවරණය විය. ඔවුන් සැම කෙනෙකුගේම
රුධිරයේ සීනි ඉතා ඉහළ මට්ටමක විය.

සාමාන්‍යයෙන් මෙම රෝගයට ගොදුරුවන පුද්ගලයන්ගෙන් 50%ක් පමණ මරණයට පත්විය හැකි බව ඉන්දීය
වෛද්‍යවරුන් පවසයි. ඔවුන් පවසන අන්ඳමට ආසාදනය වූ රෝගියකු ඇතැම් විට බේරා ගැනීමට හැකි වන්නේ
අදාළ රෝගියාගේ ඇසක් ඉවත් කිරීමෙන් පමණක් බවද සඳහන්වේ. කෙසේ වුවත් මෙය ඉතා දුර්ලභ ගනයේ
ආසාදිත තත්ත්වයක් බව පැවසෙයි.

රසික කොටුදුරගේ (Silumina)


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments