සැත්කම් 27කට මුහුණ දී උසස් පෙළ ඉහළින්ම සමත්වූ වත්සලා යසන්ති




ජීවිතයම අභියෝගයකි. ජීවිතයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය වන්නේ අයෙක් එම අභියෝගවලට මුහුණ දෙන ආකාරය අනුවය.
ජීවිතයට මුහුණ දීමේදී සාමාන්‍ය කෙනකුට වෙනස් හැකියා සහිත පුද්ගලයකුට මතුවන අභියෝග වෙනස්ය. තියුණුය. වෙනස් හැකියා සහිතව ඉපදී දෛවයේ අභියෝගවලට තමන්ගේ ප්‍රාර්ථනා කුඩු පට්ට්ම් කරගෙන යන්න ඉඩ නොදෙන දිරිමත් මිනිස්සු ඉඳහිට හමුවෙති. අපට වත්සලා දියණිය හමුවන්නේ එවැනි විරල මිනිසුන් අතරය.

වත්සලා යසන්ති මුතුකුඩේ දියණිය මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටියාය.

ඒ විභාගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගත්තාය. දියණියක් විභාගයකින් සමත් වීම සටහනක් තැබිය යුතු නිමිත්තක් නොවේ. එහෙත් ඇය ඒ ජයග්‍රහණය ලබන පරිසරය කතා සිය ගණනකට නිමිති සපයන්නේය.

වත්සලා මෙළොව එළිය දකින්නේම මුඛයේ, නාසයේ හා දෙඅත්වල ආබාධ සහිතවය.

එසේ වුවත් ඒ වෙනස්කම්වලට ඇය සිය ජීවිතය වෙනස් කරන්නට ඉඩ නුදුන්නාය. ඉලක්ක හඹා යෑමේ දී ඇය ඒ වෙනස්කම් ප්‍රතිරෝධක කරගත්තේ නැත.

පසුගිය උසස් පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටි වත්සලා ඒ සමාර්ථ දෙකක් හා බී සමාර්ථ දෙකක් සහිතව විභාගය ඉහළින්ම සමත් වූවාය. දැන් ඇය වෛද්‍යවරියක් වීමේ සිහිනය සැබෑ කරගැනීමේ මුවදොර අබියසය.

එතෙක් පැමිණි ගමන ඇයට පහසු වූයේ නැත. උපතේ සිට මේ දක්වා වත්සලා සැත්කම් 27 කට මුහුණ දී සිටියාය.

ඇය අධ්‍යාපනය හදාරන්නේ ඒ රිදුම් මැදිනි. වත්සලා මුල් වරට උසස් පෙළ විභාගයට පෙනී සිටියේ වර්ෂ 2018 දීය.

ඇගේ ප්‍රතිඵල සාමාන්‍ය සාමාර්ථයක් හා සම්මාන සාමාර්ථ දෙකකි. ඇය යළි විභාගයට මුහුණ දුන්නාය. ඒ 2019 දීය. එවර ඇයට ලබා ගත හැකි වූයේ බී සාමාර්ථ තුනකි. විද්‍යා විෂය ධාරාව හැදැරීමට හෝ විද්‍යා පීඨයට ඇතුළත් වීමට එවර නම් ඇයගේ ප්‍රතිඵල ප්‍රමාණවත් විය. එහෙත් වත්සලා සිය සිහනය හඹා යෑම අත්හැරියේ නැත.

ඇගේ ඉලක්කය වෛද්‍යවරියක් වීමය. ඇය යළිත් 2020 උසස්පෙළ විභාගයට පෙනී සිටියාය. අපේක්ෂා කළ ප්‍රතිඵලය දැන් ඇය ලබාගෙන ඇත. වෛද්‍යවරියක වීමේ අභිලාෂය යථාවක් වන සියලු සුබ නිමිති පහළ වී හමාරය.

අපට මුලින්ම කතා කළේ වත්සලා ගේ අම්මාය. ඇය ලුම්බිණි කුමාරි මුතුකුඩේය. ඒ අම්මා මහා සතුටකිනි.

“ දුව ඉපදුණේ තොල්වල, කටේ සහ නාසයේ සංකූලතා එක්ක. ඇගේ එක අතක වැලමි‍ටෙන් පහළ කොටස පිහිටලා තිබුණෙ නැහැ. වම් අතේ මහපට ඇඟිල්ල විතරයි හරියට පිහිටලා තියෙන්නේ. ඒ නිසා පොඩි කාලේ එයාට පෑන පැන්සල අල්ලන්නත් හරියට පුළුවන්කමක් තිබුණේ නැහැ. දුව පළවෙනි ශල්‍යකර්මයට මුහුණ දුන්නේ වයස මාස තුනේදීයි. උසස් පෙළ විභාගයට මාස දෙකක් තියේද්දීත් දැනට අන්තිම සැත්කම කළා. දැනට සැතකම් 27 ක් කරලා තියෙනවා.“අම්මා කීවාය.

මහනුවර රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය විශේෂඥ වෛද්‍යවරිය වූ කනකතපිල්ලේ ඇගේ අතට වරින් වර ශල්‍යකර්ම විස්සක් සිදු කර තිබණි. නාසයේ සහ මුඛයේ වෙනස් තත්ත්වයට දන්ත විකලාංග විශේෂඥ වෛද්‍ය රත්නකුමාර විසින් ශල්‍යකර්ම හතක් සිදු කළේය. ඇය ඒ වේදනාකාරී සැත්කම්වලට නිහඬව මුහුණ දුන්නාය.

“ ඒත් ඇය හරිම ධෛර්ය සම්පන්න දරුවෙක්. තමන්ගේ යම් අඩුපාඩු ගැන ලොකුවට හිතන්නේ නැතිව ඉන්න තරම් පෞරුෂයක් ඇයට තියෙනවා. එයා කියන්නේ සාමාන්‍ය ළමයින්ට කරන්න පුළුවන් හැමදේම මට කරන්න බැරි වෙන්න පුළුවන්. ඒත් ඒ අය කරන ගොඩක් දේවල් මටත් කරන්න පුළුවන් කියලා.“ඇය වත්සලා ගැන කතා කරන්නී අසීමිත ආඩම්බරයෙනි.

මුදල් අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන අනුර බණ්ඩාර මුතුකුඩේ වත්සලාගේ තාත්තාය. වත්සලාගේ සහෝදරයා බුද්ධිත මුතුකුඩේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුවෙකි. නැඟණිය අප්සරා තාමත් පාසැල් අධ්‍යාපනය ලබන්නීය.

වත්සලා උසස් අධ්‍යාපනය ලැබූ නුවර උසස් බාලිකාවට දැන් ඇය ආභරණයකි. “වත්සලා විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් වුණත් පාසැලේදී ඒ අඩුව එයාට කිසිම ලෙසකින් දැනෙන්න අපි ඉඩ තැබුවේ නැහැ. පාසැලේ ගුරුවරු වගේම සිසු දරුවෝ ඇගේ පසුපසින් ඉඳන් ශක්තිය දුන්නා. අද ඇය පාසැලට විශාල ගෞවරයක් ලබාදී තිබෙනවා. ආඩම්බරයි දුව ගැන.“උසස් බාලිකා විදුහලේ විදුහල්පතිනි මල්කාන්ති අබේගුණසේකර අපට කීවාය.

අවසානයේ මම ඒ ආදරණීය දියණිය, වත්සලා සමඟ කතා කළෙමි. ඇගේ කතාව බොහෝ යෞවන යෞවනියන්ට පාඩමක් කොට ලියා තබමි.

“පුංචි කාලේ මම ගොඩක් වෙලාවට හිටියේ රෝහලේ ඇඳක් උඩ. මට තේරුණා මගේ ජීවිතය අනිත් ළමයින්ගේ තරම් ලස්සන නෑ කියලා . ජීවිතය දිනා ගන්න නම් ඒ අයට වඩා වැඩිපුර මහන්සි වෙන්න ඕන කියලා මට පොඩි කාලේදීම තේරුණා. මගේ අත් දෙක උදුර ගත්තට මගේ අධිෂ්ඨානය උදුර ගන්න මම කාටවත්ම ඉඩ දුන්නේ නැහැ. තරගයකට ගියොත් මිනිස්සු කතා කරන්නේ ජයග්‍රාහකයෝ ගැන විතරයි. පරාජිතයෝ මොන තරම් තරගයක් දුන්නත් අවසානයේ ඒ අය එකතු වෙන්නේ පරාජිත ගොඩටයි. මම දැනගත්තා ජයග්‍රහණය කරනවා නම් විශිෂ්ට විදිහටම දිනන්න ඕන කියලා.“

“මම ඕ ලෙවල් වෙනතුරු ඉස්කෝලේ ගියේ ස්වර්ණමාලි බාලිකාවට. ඒ අටයි බී එකයි අරන් පාස්වෙලා මම උසස් බාලිකාවට ගියේ. මුල් කාලේ මම ඉස්කෝලේ ගියේ ස්කූල් වෑන් එකේ. මට සමාජය හුරු කරන්න ඕන කියලා අම්මයි තාත්තයි මාව බස් එකේ ඉස්කෝලේ එව්වා. ඒකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මුල්කාලේ මට බස් එකේ හිටගෙන යන්න බැහැ වැටෙනවා. අල්ලගන්නත් ආමාරුයි.

පස්සේ පස්සේ එකට පුරුදු වුණා. අත් දෙකම එකවර සැත්කම්වලට ලක් කළාම වෙළුම් පටි දාලා වෙළනවා. එතකොට අම්මා තමයි කවන්නේ පොවන්නේ හැමදේම කරන්නේ. අම්මා, තාත්තා, මල්ලී, නංගී කවදාවත්ම එයාලට මාව බරක් කියලා පෙන්නුවේ නැහැ. මම වෙනුවෙන් ජීවිතය කැප කරපු අම්මාට තාත්තට ජීවිතයේ ලබා දෙන්න පුළුවන් ලොකුම සතුට කවදාහරි දෙනවා කියලා මම හිතුවා. අද මට ඒක කරන්න පුළුවන් වුණා.“ ඇය අවසාන වශයෙන් මෙසේ කීවාය.

“අබාධ සහිතව ඉන්න කවුරුවත් මානසින් පරාජය බාර ගන්න එපා. අපිට දෙයක් අහිමි වෙනකොට තවත් හිමි දෙයකට දොරටු විවර වෙනවා. අවශ්‍යය වෙන්නේ කැපවීම,අධිෂ්ඨානය විතරයි.“

ඒ දිරිය දියණියගේ කාන්තිමත් බැල්ම තුළ අනාගත ජීවිතාදර්ශයක සුබ ලකුණු දුටුවෙමි.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
1
Love
Lol Lol
0
Lol
Wow Wow
1
Wow
Sad Sad
0
Sad
Angry Angry
1
Angry

Comments