පස්සර බස්රථ අනතුරෙන් මව්පියන් අහිමි වූ දරුවන් තිදෙනා බාර ගැනීමට මෙතෙක් කිසිවෙකු ඉදිරිපත් වී නැහැ


1 share


පස්සර මාරක බස්රථ අනතුරෙන් මව්පියන් අහිමි වූ එකම පවුලේ දරුවන් තිදෙනෙකු රැකබලා ගැනීමට පියතුමෙක් සහ වෛද්‍යවරයෙකු ඉදිරිපත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් පැතිර ගියා. එහි සත්‍ය අසත්‍යතාව සහ එම දරුවන් තිදෙනාට වර්තමානයේ සිදුව ඇත්තේ කුමක්දැයි නෙත් නිවුස් සොයා බැලීමක් සිදුකළා. එහිදී අනාවරණ වූයේ මව්පියන් අහිමි වූ එකම පවුලේ මෙම දරුවන් තිදෙනා කිසිඳු බාහිර පාර්ශවයක් විසින් මෙතෙක් බාරගෙන නොමැති බවයි.

පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම දරුවන් තිදෙනා ඔවුන්ගේ මිත්තණිය හා නැන්දනිය භාරයේ තැබීමට අවසර හිමිව තිබෙනවා.

ඒ අනුව දරුවන්ගේ මානසික තත්ත්වය සලකා බලා එම දරුවන් තිදෙනා පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මිත්තණිය හා නැන්දනිය වෙත භාර කර ඇති බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ.

පස්සර බස්රථ අනතුරෙන් මෙලෙස මව්පියන් අහිමි වුණේ එකම පවුලේ දියණියන් දෙදෙනෙකුට සහ පිරිමි දරුවෙකුටයි. වැඩිමහල් දියණියගේ වයස අවුරුදු 9 ක් වන අතර පිරිමි දරුවා 8 හැවිරිදි වියේ පසුවනවා. බාල දියණියගේ වයස අවුරුදු 4 ක්. ඔවුන් පදිංචි වී සිටින්නේ ලුණුගල, අඩාවත්ත ප්‍රදේශයේයි.

නෙත් නිවුස් එම දරුවන් භාර ගැනීමට කැමැත්ත පළ කළ බව කියන අම්පාර රෝහලේ වෛද්‍ය වජිර රාජපක්ෂගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ දරුවන්ගේ මිත්තණිය එම දරුවන් භාරදීමට අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන්, එම දරුවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් තමන් කිසිඳු වගකීමක් භාර නොගත් බවයි.

කෙසේවෙතත්, දරුවන් සහ අදාළ මිත්තණියට අම්පාර ප්‍රදේශයේ නිවසක් ලබාදීමට ද තමන් කැමැත්ත ප්‍රකාශ කළ බව එම වෛද්‍යවරයා සඳහන් කළා. මව්පියන් අහිමි වූ එම දරුවන් ආරක්ෂිතව සිටින අතර ඔවුන්ට අවශ්‍ය මුදල් ඇතුළු අනෙකුත් පහසුකම් මේවනවිට ලැබී ඇති බවයි අම්පාර රෝහලේ වෛද්‍ය වජිර රාජපක්ෂ වැඩිදුරටත් නෙත් නිවුස් වෙත සඳහන් කළේ.


Like it? Share with your friends!

1 share

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments