අම්මයි දුවයි තනි­කර තාත්තයි පුතයි ගිය ගමන




“සිරුරු දෙක හොයා ගන්න කොටත්
දෙන්න එකට බදාගෙන තමයි ගල්පරය අස්සෙ හිර වෙලා ඉඳලා තියෙන්නෙ…”

“ගෙදරට පණිවුඩේ ලැබුණේ චූටි පුතාගේ ෆෝන් එකෙන්.
ඒ වෙලාවේ මට උන්හිටි තැන් නැතිවුණා.”

කොවිඩ් පාලනය කිරීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව හෝ මෙවර සිංහල අවුරුද්ද සැමරීමට අවකාශ ලැබීම බොහෝ සිත්වලට ගෙන ආවේ විශේෂ සතුටකි.

එසේ සතුටු සිතින් අලුත් අවුරුද්ද සැමරූ මහරගම ප්‍රදේශයේ ආදරණීය පවුලක සතුට, සැනසීම දිය රකුසකුට බිලිවූ අනුවේදනීය පුවතක් ඉකුත් 15 වැනිදා වාර්තා විය.

ඒ විපත සිදුව තිබුණේ මහරගම, පමුණුව, දෙල්ගහ වත්ත පාරේ පදිංචිව සිටි හේමන්ත කුමාර සුද්දසිංහල (52) තුෂාරි වත්සලා මාපිටියගේ(47) කැදැල්ලටය.

හේමන්ත, බොරලැස්ගමුව පෞද්ගලික බැංකුවක කළමනාකරුවකු ලෙස සේවය කළ අතර තුෂාරි බිරියක, මවක හා ගෘහිණියක ලෙස සිය යුතුකම් මනාව ඉටුකරමින් පවුලට ආදරණීය ශක්තියක් වූවාය.

හේමන්තගේ සහ තුෂාරිගේ ලෝකය සුන්දර කළේ 18 හැවිරිදි දියණියත් 14 හැවිරිදි තුල්නිත් හේසර පුතුණුවන්ය. තුල්නිත් පුතු කොළඹ කේරි විද්‍යාලයේ 9 වැනි වසරේත් දියණිය කොල්ලුපිටිය ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයේත් ඉගෙනුම ලැබුවාය.

මියගිය හේමන්ත, හේසර පුතු, බිරිය තුෂාරි සහ දිය­ණිය සමඟින් කලකට ඉහතදී ගත් පවුලේ ඡායාරූපයක්
කිසිවකුට කරදරයක් නැතිව හැකි පමණින් සියලු දෙනාට උදවු උපකාර කරමින් ජීවත් වූ හේමන්ත අසල්වැසියන් අතර ජනප්‍රියව සිටියේ හිත හොඳ මිනිසකු ලෙසටය.

ඒ නිසාම හේමන්තගේ පවුල කාටත් ආදර්ශවත් පවුලක් විය. එහෙත් දෛවයේ සරදමකට මෙන් අද ඒ ආදරණීය පවුලේ විසල් රැකවරණය වූ පියා, හේමන්තත් පවුලට පහනක් වූ හේසර පුතත් සදහටම මෙලොව හැර දා ගොස් අවසන්ය.

ඒ ඛේදවාචකය පිළිබඳ අමිහිරි මතකය අවදි කළේ මියගිය හේමන්තගේගේ ඥාති සහෝදරියකි.

“හේමන්ත අයියගේ උපන් ගම බණ්ඩාරවෙල, මාරබැද්ද. අයියා අනිවාර්යයෙන්ම සෑම අවුරුද්දකම ගමට යනවා නෑදෑයො බලන්න. මේ පාරත් 14 වැනිදා උදේ ආහාර අනුභව නැකතට පස්සේ අයියගේ යාළුවෙක්ගේ වාහනේකින් යන්නයි කට්ටිය ලෑස්ති වෙලා ඉඳලා තියෙන්නෙ. ඒත් එදා උදේ අයියගේ යාළුවට එන්න බැරිවුණ නිසා හවස යන්න කතාවෙලා. ඒත් එදා හවසත් යන්න බැරිවුණු නිසා අයියා අක්කට කියලා පහළොස් වැනිදා උදේම යමු කියලා. එදා උදේ හතහමාරට විතර අයියයි අක්කයි ළමයි දෙන්නයි ගමේ යන්න ලෑස්ති වෙලා ඉන්නකොට ගෙදර හුරතලේට හදන බල්ලා කන්පට ගහලා. ඒ වෙලාවේ අක්කා කියලා තියෙනවා ගමන කීපසැරයක්ම බාධා වුණ නිසත් බල්ලා කන්පට ගහපු නිසත් තව ටිකක් පරක්කු වෙලා යමු කියලා. ඒ වෙලාවේ අයියා කියලා ඔය මනස්ගාත විශ්වාස කරන්න එපා අපි දැන් පිටත් වෙමු කියලා.”

හේමන්ත එසේ කීවද සිය හාම්පුතුන් පසුපස එමින් තිබුණු අනතුර සුනඛ සුරතලාට කලින් ඉව වැටුණා සේය. හේමන්ත බිරිය සහ දරු දෙදෙනා සමඟ ගමන් ගත් මෝටර් රථය පසුපසින් බලු සුරතලා මහරගම පමුණුව පාරටම දිවගොස් තිබුණේ ඒ නිසා වන්නට ඇත.

හේමන්ත බලු පැටවා මෝටර් රථයට නංවාගෙන නිවෙසට ගෙනැවිත් දමා යළි යන්නට හදද්දී ද බලු පැටවා ඔහුගේ ගමන වළක්වන්නට තැත් කර ඇති බව හේමන්තගේ නැඟණිය කීවේ කඳුළු සලමිනි.

“එවෙලෙත් බලුපැටියා අයියාගේ කලිසමේ කකුලෙන් ඇදලා තියෙනවා. ඒ වෙලාවේ අයියා බලු පැටියාගේ ඔළුව අතගාලා කියලා තියෙනවා අපි ඉක්මනට එනවා උඹ ගෙදර බලාගෙන හිටපන් කියලා. ඒත් බලු පැටියා කවදාවත් එහෙම හැසිරිලා නැති නිසා අක්කට පොඩි සැකයකුත් ඇවිත් මේක ගමනට බාධාවක්ද කියලත්. කොහොමහරි බලු පැටියා ගෙදර දාලා කට්ටිය ගමන යන්න පිටත් වෙලා.”

එහෙත් උපන් ගමට ගොස් මව ඇතුළු ඥාතීන් දකින්නට හේමන්තට වරම් ලැබුණේ නැත. හල්දුම්මුල්ල, කළුපහන ප්‍රදේශයේදී හේසර පුතු වේලිඔයෙන් දිය නාන්නට යෝජනා කළද හේමන්ත ඊට කැමැත්තක් දක්වා නැත. එහෙත් පුතු කිහිප වරක්ම එම ඉල්ලීම කරද්දී ඔහුගේ කැමැත්තට ඉඩ දෙන්නට හේමන්ත තීරණය කරන්නේ ඔහු කවදත් දරුවන්ගේ සතුට ගැනම හිතන පියකු වූ නිසාය.

ඒ අනුව තුෂාරි වාහනයේම රැඳී සිටියදී හේමන්ත, ඔහුගේ මිතුරා සහ දරුවන් දෙදෙනා ඔයේ පහළට බැස ඇත්තේ දිය නාන්නටය.

“හේමන්ත අයියයි පුතයි නාමින් හිටපු තැන ඒ වෙලාවේ වතුර අඩි දෙකක්වත් තිබිලා නැහැ. දුවත් එතැනමයි ඉඳලා තියෙන්නෙ. අයියගේ යාළුවා ඊට ටිකක් දුරින් ඉඳලා තියෙන්නෙ. එකපාරටම විදුලි වේගයෙන් වගේ වතුර පාර වැඩි වෙලා අඩි පහක් හයක් විතර උඩට වතුර ආවා කියලා අක්කා කිව්වා. ඒ වෙලාවේ ඔයේ බැහැලා හිටපු ගොඩක් දෙනෙක් වතුර පාරට අහුවෙලා ගහගෙන ගිහින් තියෙනවා. හේමන්ත අයියට හොඳට පීනන්න පුළුවන්. අයියා ගහගෙන යන දුවව අරන් ගලක් උඩින් තියලා බලනකොට පුතා ගහගෙන යනවලු. ඒ පාර අයියා පුතාව ගන්න ගිහින්. ගහගෙන ගිය කට්ටිය ගල්පරවල හා වැල්වල එල්ලිලා ගොඩට ආවත් අයියයි පුතයි පේන්නේ හිටියෙ නැහැලු.”

ඉන් එහාට ඒ කඳුළු කතාව පවසාගත නොහැකිව ඇය හඬා වැටෙන්නට වූවාය.

ඔයේ දිය නාමින් සිටි පිරිසට සිදුවූ අනපේක්ෂිත අනතුර දුටු ගම්වැසියන් ද එතැනට දිව විත් පිරිස බේරාගන්නට උත්සාහ කර ඇත්තේ ඉන් පසුවය. ඉනිමඟක් ආකාරයෙන් සකස් කරගත් ලී දඬු කිහිපයක් ආධාරයෙන් දියේ සිටි හේමන්තගේ දියණිය ඇතුළු තවත් අයකුගේ දිවි බේරාගන්නට ගම්වැසියන් සමත් වූව ද හේමන්ත සහ පුතු සොයාගන්නට නොහැකි විය. හල්දුම්මුල්ල, කළුපහන, පාලම් දෙක අතර වේලිඔයේ දිය නෑමට ගොස් එසේ අතුරුදන් වූ හේමන්තගේ සහ පුතු හේසර ගේ මළ සිරුරු පොලිසිය සහ ප්‍රදේශවාසින් විසින් සොයාගනු ලැබුවේ ඊට පසු දින එනම් 16 වැනිදා දහවල්ය. ඒ, ඔවුන් දිය නාමින් සිටි ස්ථානයේ සිට මීටර් 800ක් පමණ දුරින් පිහිටි ගල්පරයක් තුළ සිර වී තිබියදීය.

“මේ තාත්තයි පුතයි හරියට එක කුස උපන් සහෝදරයෝ වගේ ළඟින්ම හිටියේ. ඔය සිද්ධිය වෙලා අයියගේ පුතාගෙයි සිරුරු දෙක හොයා ගන්න කොටත් දෙන්න එකට බදාගෙන තමයි ගල්පරය අස්සෙ හිර වෙලා ඉඳලා තියෙන්නෙ. අයියයි පුතයි යාළුවෝ වගේ පුදුමාකාර බැඳීමකින් හිටියේ. ඇඳුමක් ගත්තත් එකම පාට ඇඳුම් තමයි දෙන්නටම ගන්නෙ. මේ වෙච්ච විපත අපි කාටවත් දරාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අක්කයි දුවයි ඒ දුක දරාගන්නෙ කොහොමද කියල හිතාගන්නවත් බැහැ”

හේමන්තගේ ඥාති සොයුරිය පැවසුවේ බලාගත් අත බලාගෙන සුසුම් හෙළන හේමන්තගේ බිරියත් දියණියත් දෙස බලාගෙනය. හේමන්තගේ බිරියගේ පියා ද සිය වැඩිමහල් දියණියගේ පවුලට සිදුවූ විපත ගැන හඬ අවදි කළේ හැඬූ කඳුළිනි.

“මේ වෙච්ච දේ අපි හැමෝටම වේදනාවක්. 14 වැනිදා මටත් බුලත් දීලා වැඳලා තෑගිබෝග දීලා හේමන්ත පුතාටයි දරුවටයි මෙහෙම දෙයක් වුණා කියනෙක හීනයක් වගේ. මේ නැති වුණේ අපි හැමෝගෙම වගේම ගමේ අයගෙත් ආදරය ලබපු අපේ රත්තරන් බෑනයි මුනුපුරයි. මේ අනතුර ගැන ගෙදරට පණිවුඩේ ලැබුණේ චූටි පුතාගේ ෆෝන් එකෙන්. ඒ වෙලාවේ මට උන්හිටි තැන් නැතිවුණා. මට හිතුණා මේ වයසක අපි මැරුණා නම් කියලා. තව කාලයක් ජීවත් වෙලා රටට වැඩක් කරන්න හිටපු දෙන්නෙක් මේ නැතිවුණේ.”

හේමන්තගේත් හේසරගේත් ජීවිත කතාව එතැනින් අවසන් වුවද ඔවුන්ගේ හදිසි නික්ම යෑම බොහෝ දෙනකුට දරාගත නොහැකි කම්පනයකි. හේමන්ත සහ පුතු වෙනුවෙන් කඳුළක් නොනැඟි දෙනෙතක් නොවූ තරම්ය.

“හේමන්ත කියන්නේ බොහොම නිවිච්ච ගති පැවතුම් ඇති ඉතාම සුහදශීලී මනුස්සයෙක්. මෙහේ පදිංචියට ආ දවසේ සිට අපිට සහෝදරයෙක් වගේ හිටපු කෙනෙක්. අපේ ගමේ පොදු වැඩවලදී මුල්තැන අරගෙන වැඩ කළා. කිසිමදාක නැහැ, බැහැ කියන වචනෙ එයා ළඟ තිබුණෙ නෑ. හේමන්ත වගේම තුෂාරි නංගිත් ඒ දරුවො දෙන්නත්, බොහොම සමාජශීලී ගති පැවතුම් තියෙන, නැති බැරි අයට ගොඩක් උදවු කරපු අය. මේ වෙලා තියෙන දේ අපට අදහාගන්නවත් බෑ.” හේමන්තගේ අසල්වැසියකු එසේ පැවසුවේ බොහෝ සංවේගයෙනි. හල්දුම්මුල්ල මූලික රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව හේමන්තගේ සහ පුතුගේ මෘතදේහ හේමන්තගේ උපන් ගම වන බණ්ඩාරවෙල නිවෙසට ගෙනගොස් ඊටපසු දින සන්ධ්‍යාවේදී ආගමික වතාවත් ඉටු කෙරුණි. 18 වැනිදා එම මෘතදේහ හේමන්ත පදිංචිව සිටි මහරගම, පමුණුව, දෙල්ගහවත්ත පාර ප්‍රදේශයේ පිහිටි නිවෙසට රැගෙන එන ලැබිණි. එදින ආගමික වතාවත්වලින් අනතුරුව පියාගේත් පුතුගේත් දේහයන් මහරගම ගොඩිගමුව පොදු සුසාන භූමියේ එකම වළක් තුළ මිහිදන් කරනු ලැබුවේ නෑහිතමිතුරන් සෝ සයුරක ගිල්වමිනි.

සුරේකා නිල්මිණි ඉලංකෝන්
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම “සිළුමිණ” පුවත්පතෙන්..


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
1
Sad
Angry Angry
0
Angry

Comments