මා එදා සිටියේ රෝහලේ ගොඩ ගසා තිබූ මළමිණී ගොඩේ




අම්මා රෝහලට එන විට මාව දාල තිබිල තියෙන්නේ මියගිය අයගේ මෘත ශරීර අතරයි. මට පණ තිබෙන බව කියා කෑ ගසා තිබෙන්නේ මගේ අම්මා. ඒ අවස්ථාවේ මට ශරීරය සෙලවීමටත් බැරි වුණ නිසා ඔවුන් මා මියගොස් ඇති බව සිතන්න ඇති.” යැයි පාස්කු ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ මීගමුවේ පදිංචි තිළිණා හර්ෂණීය මහත්මිය කියන්නීය.

පාස්කු ඉරිදා දින එල්ල වූ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට දෙවසරක් ගතවුවත් එහි කඳුළු මතකය තවමත් අප සිත් පාරවමින් තිබේ.

එහි අඳුරු මතක තවමත් අප සිත්වලින් මැකී ගොස් නොමැතිවා සේම එයින් බරපතල තුවාල ලැබූවෝ තවමත් පීඩා විඳිති. තවත් පිරිසක් තමන්ගෙන් සමුගත් පවුලේ සාමාජිකයින් ගැන සිතමින් හඬා වැටෙති. මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා වැඩිම කාලයක් රෝහල්ගතව සිටි රෝගියා වන්නේ මීගමුවේ පදිංචි තිළිණා හර්ෂණීය. 37 හැවිරිදි ඇය තිදරු මවකි.

රෝහල්ගතව වසරකටත් අධික කාලයක් ප්‍රතිකාර ලැබූ තිළිණා රෝහලෙන් නිවසට පැමිණියේ මාස 14කට, එනම් වසරකුත් මාස දෙකකට පසුවය.

පාස්කු ඉරිදා දිනයේදී මීගමුව, කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඇය මීගමුව දිස්ත්‍රික් රෝහල, රාගම ශික්ෂණ රෝහල, කොළඹ ජාතික රෝහල මෙන්ම කොළඹ සෙන්ට්‍රල් රෝහල වශයෙන් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලැබූ අතර ශල්‍යකර්ම කිහිපයකටම ලක්වූවාය. රෝහලින් නිවසට පැමිණ මාස 10 ක පමණ කාලයක් ගතවුවත් ඇය තවමත් සම්පූර්ණ සුවය ලබා නොමැත.

සුෂුම්නාවට සිදුවු බරපතල හානි නිසා ඇගේ ශරීරයේ ඉනෙන් පහළ කොටස තවමත් අප්‍රාණිකව පවතින අතර තමාගේ වම් ඇස ඉවත් කර ඇති බවත්, අත්වල ඇඟිලි හැසිරවීම අපහසු බවත් තිළිණා පැවසුවාය.

එවක සය හැවිරිදි වියෙහි පසුවූ දුලෝද් ඇන්තනී නම් ඇගේ වැඩිමහල් පුතු ද මෙම ප්‍රහාරයෙන් මිය ගියේය.

“මම එදා පල්ලියට ගියේ අම්මයි, දරුවො තුන්දෙනයි එක්ක. අපි හිටියේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදියා පුපුරුවාගැනීම සිදුකළ ස්ථානයේ සිට බංකු පහක් හයක් පමණ පිටුපසින්. වයස අවුරුදු 9ක් වුණ මගේ දුව ලයාරා පුබුදුලී අම්මා සමඟත්, මියගිය පුතා මගේ ඔඩොක්කුවේත්, වයස අවුරුදු දෙක හමාරක් වූ බාල පුතා දයෝද් කෙයෝෂ් ජනේලය අයිනේ සිටගෙනත් සිටියා. මගේ අතේ ගැටගසා තිබූ පාස්කු නූල ගැලවී බිම වැටුණු නිසා මම බිමට නැවී එය රැගෙන තනිවම ගැටගසා ගන්නට උත්සාහ කරමින් සිටියදී විශාල ශබ්දයක් සමඟ කම්පනයක් ඇතිවුණා. ප්‍රහාරය එල්ල කළ කෙනා එනවාවත් මම දැක්කේ නැහැ. සියල්ල සිදුවුණේ තත්ත්පර කීපයක් ඇතුළතයි.” තිළිණා කීවේ එදා මතකය අවදි කරමිනි.

අනතුරුව ඇයට මතක ඇය බිම වැටී සිටි බවය. තමා කතා කිරීමට උත්සාහ කළත් වචන පිටනොවූ බව ඇය කීවාය. වම් ඇස තෙත් වී තිබෙනු දැනුණු නිසා ඇය කර ඇත්තේ අනෙක් ඇස ද වසාගැනීමය. ශරීරය සෙලවීමටවත් නොහැකිව සිටි ඇයට අම්මා කෑ ගසනවා ඇසුණු බව මතකය. අනතුරුව කිහිප දෙනෙක් තමා ඔසවාගෙන රැගෙන ගිය අයුරුත් රෝහලක් වැනි ස්ථානයක බිමින් තමා තැබූ අයුරුත් මතක බව ඇය කියයි.

“මට කතා කරන්න, සෙලවෙන්න බැරි වුණත් හොඳින් සිහිය තිබුණා. මගේ අම්මා මුලින්ම කර තිබෙන්නේ අපේ දරුවන් හොඳින් ඉන්නවාදැයි බැලීමයි. ඇයට වගේම ලොකු දුවට හා බාල පුතාටත් සුළු තුවාල වෙලා. ඒ වන විටත් මගේ ලොකු පුතා මියගොස් සිට තිබෙනවා. මා ඒ කිසිත් දන්නේ නැහැ. අම්මා රෝහලට එන විට මාව දාල තිබිල තියෙන්නේ මියගිය අයගේ මෘත ශරීර අතරයි. මට පණ තිබෙන බව කියා කෑ ගසා තිබෙන්නේ මගේ අම්මා. ඒ අවස්ථාවේ මට ශරීරය සෙලවීමටත් බැරි වුණ නිසා ඔවුන් මා මියගොස් ඇති බව සිතන්න ඇති.” ඇය පවසන ආකාරයට ඇය ජීවතුන් අතර පසුවීම ද ආශ්චර්යයකි. මව රෝහලට පැමිණි නිසා මළවුන් අතරින් මුදාගෙන රෝහල් වාට්ටුවකට යොමු කෙරුණු ඇය අනතුරුව යොමු කෙරෙන්නේ රාගම රෝහලටය. රාගම ශික්‍ෂණ රෝහලේ මාස එක හමාරක් පමණ ප්‍රතිකාර ලැබූ තිළිණා කොළඹ ජාතික රෝහලට යොමුකෙරෙන්නේ කොඳු ඇට පෙල ආශ්‍රිත තරමක් අවදානම් ශල්‍යකර්මයක් වෙනුවෙනි.

“මේ ශල්‍යකර්මය නොකර සිටීම සුදුසු බවත් ඇතැම් වෛද්‍යවරු කියා තිබුණා. ඒ එය ඒ තරම් අවදානම් නිසයි. වෛද්‍ය විද්‍යාල සිසුවියක් වන ශබ්නම් නම් මගේ ඥාති සොයුරිය කීවේ මේ ශල්‍යකර්මයට සුදුසුම කෙනා විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහතා බවයි. ඒ අනුව අපි සෙන්ට්‍රල් රෝහලට ඇතුළත් වී එම ශල්‍යකර්මය කරගැනීමට තීරණය කළා. මේ ශල්‍යකර්මය සිතුවාටත් වඩා සාර්ථක වුණ බවයි වෛද්‍යවරු කීවේ.

සෙන්ට්‍රල් රෝහලෙන් මට විශාල බිලක් ලැබුණා. ඒ අවස්ථාවේ කාදිනල්තුමා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය, වෛද්‍ය සුනිල් පෙරේරා කතා කර මගේ බිල්පත් කපා හැරියා. මම මගේ දෙවැනි දරුවා මිය ගිය බව දැනගත්තේ එම ශල්‍යකර්මයෙන් පසුවයි. එයා ඉගෙනීමට දක්‍ෂ අහිංසක දරුවෙක්. මම එතෙක් හිත හදාගත්තේ මට මොන දේ වුණත් මගේ දරුවන් හොඳින් ඉන්නවා කියා සිතමිනුයි. මට මට වූ දේ ගැන ඒ නිසා දුකක් තිබුණේ නැහැ. අම්මා කෙනෙක් විදියට මට දරුවා අහමිවීමේ ආරංචිය දරාගන්න අමාරු වුණා. මට ඒ දුක දරාගන්න තම් ශක්තිය නැති නිසා වෛද්‍යවරු දින කිහිපයක් මට නිතර නින්ද යන්න බෙහෙත් දුන්නා. ඒ වගේම මාව මාස ගණන් සිහි නැති කර තබන්න වෛද්‍යවරුන්ට සිදුවුණා.

ඒ වගේම මාව බලන්න රෝහලට ආව මගේ දුව මගේ පෙනුම දැක බිය වුණා. වයස අවුරුදු දෙක හමාරක් වුණ මගේ චූටි පුතා මගේ ළඟට ආවේ නැහැ. අම්මා කෙනෙක් විදියට මේ දේවල් මම දරාගත්තේ ගොඩක් අමාරුවෙන්.”

ඇයට නිවසට යාමට අවසර ලැබෙන්නේ ප්‍රහාරයෙන් මාස තුනකට පමණ පසුවය. නමුත් ඇගේ පෙනහළු දුර්වල තත්ත්වයේ පැවතීම නිසා විෂබීජවලින් තොර, පහසුකම් සහිත කාමරයක සිටිය යුතු බව වෛද්‍ය නිර්දේශය විය. නිවසේ එවන් පහසුකම් නොවීම නිසා යළිත් නිවසටයාමේ සිහිනය ඇගෙන් තවදුරටත් දුරස් වෙමින් තිබිණි.

“ඒ අවස්ථාවේ මීගමුව ආවේ මරියා රෝහලේ වෛද්‍යවරු මාව රෝහලට භාරගත්තා. නිවසට ආසන්න නිසා මගේ දෙමාපියන්ට, ඥාතීන්ට, දරුවන්ට නිතර මා බලන්න එන්න අවස්ථාව ලැබුණා. දරුවන් දෙදෙනා නිතර දකින්න ලැබීම මට විශාල සහනයක් වුණා. කොරෝනා වසංගත තත්ත්වය එද්දීත් මම හිටියේ ඒ රෝහලේ. මගේ ආරක්ෂාව ගැන ඒ රෝහලේ කාර්‍ය මණ්ඩලය ගොඩක් හිතුවා. ඔවුන් මා ආරක්‍ෂා කළා. පසුව මගේ නිවසේ මට අවශ්‍ය ආකාරයේ කාමරයක් ඉදිකරදීමට සෙත්සරණ පදනම හා ඩයලොග් ආයතනය කටයුතු කළා. ඉන්පසු මා පසුගිය වසරේ ජූනි 19 වැනිදා ආපසු මගේ නිවසට ගියා. ඒ මාස 14කට පසුවයි. මා අසල නිතර හෙදියක් සිටිය යුතුයි. වසර දෙකක කාලයකට මා අසල හෙදියක් තැබීම සඳහා වියදම් දරන්නේ ඇමෙරිකාවේ සමාගමකින්.”

අද වන විට ඇගේ තත්ත්වය තරමක් යහපත් අතට හැරී ඇතත් ඇගේ ඉනෙන් පහළ මේ වන විටත් අප්‍රාණික තත්ත්වයේ පවතී. මේ වන විට ඇය භෞත චිකිත්සක ප්‍රතිකාර ලබමින් තනිව අසුන් ගැනීමට උත්සාහ කරමින් සිටී. එහෙත් සියුම් යමක් අල්ලාගැනීමට හෝ තමාට තවමත් නොහැකි බව ඇය පවසයි.

“මම අවුරුදු දෙකක් තිස්සේ ඇඳකට සීමා වෙලා. මගේ පණ වගේ බලාගත්ත දරුවෙක් මට නැති වුණා. මම ඒ වන විට රැකියාවක් කරමින් සිටියත් දැන් මට රැකියාවක් කරගන්නත් බැහැ. මට කවදා සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්න පුළුවන්ද කියලවත් මම දන්නෙ නෑ. කාදිනල්තුමාට, සෙත්සරණ ආයතනයේ අධ්‍යක්ෂ ලෝරන්ස් රාමනායක පියතුමාට, කටුවාපිටිය පල්ලියේ මංජුල පියතුමා ඇතුළු පියතුමන්ලාට, මගේ ජීවිතය බේරා දුන් සියලු වෛද්‍යවරුන්ට, රෝහල් කාර්ය මණ්ඩලවලට, මගේ ඥාතීන්ට, මුහුණු පොත ඔස්සේ පවා මට උදව් කළ හා සෙත් පැතූ දෙස් විදෙස් ජනතාවට ස්තුතිවන්ත වෙන්න මම මේ විදියට හරි ජීවත් වෙනවා. මට බෙහෙත්වලට මාසිකව රුපියල් 30,000ක් පමණ වැයවෙනවා. ඒ සියල්ල දරන්නේ සෙත්සරණ පදනමයි. මගේ දරුවන්ගේ පියා අප සමඟ නැහැ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලටත් අපට සෙත්සරණ පදනම උදව් කරනවා.”

ඒ වගේම අහිංසක අපේ ජීවිත මේ විදියට විනාශ කළ අය සොයාගෙන් අපට සාධාරණයක් වන තුරු අපි බලා ඉන්නවා. අද හැමදේම දේශපාලනයට යටවෙලා. ඕනෙ දෙයක් කරලා නිදහසේ ඉන්න පුළුවන් තත්ත්වයක් රටේ තියෙනවා. අපට තිබෙන ලොකුම ශක්තිය කාදිනල් හිමියන්. උන්වහන්සේ නොසිටියා නම් අපි තවත් අසරණ වෙනවා.” යැයි තිළිණා කීවේ හැඬූ කඳුළිනි. ඇය මෙන්ම මේ ප්‍රහාරයෙන් දුක් විඳින තවත් බොහෝ දෙනෙකු අප අතර සිටී. යළිත් මෙවන් විපත් මෙලොව කිසිවකුටත් නොවේවා යන්න අපේ පැතුමයි.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
7
Sad
Angry Angry
0
Angry

Comments