පළාත් සභා මැතිවරණය වහා පවත්වනු




මෙරට පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව ඉන්දියාව පවසනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජායිශංකර් මේ බව ප්‍රකාශ කළේ තමිල්නාඩු ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. මන්ත්‍රීවරයෙකු වෙත ලිපියක් යොමු කරමින්.

රාජ්‍ය සභා මන්ත්‍රී එම්. තම්බිදුරෙයි මෙරට දෙමළ ජනතාවගේ ගැටළු පිළිබදව කරුණු මතු කළේ ජිනිවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව පිළිබද යෝජනාව විවාදයට ලක්වන විටයි.

ඒ.අයි.ඒ.ඩී.එම්.කේ මෙවර තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් වන්නේ අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සමඟ සන්ධානගතවයි.

ඔහුට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජායිශංකර් කියා සිටියේ මෙරට පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඇතුළු දේශපාලන අධිකාරියේ බලය බෙදා හැරීම සඳහා ලක් රජය කැප විය යුතු යැයි ජාත්‍යන්තර ප්‍රජාව කරන ඉල්ලීමට ඉන්දියාව සහය දක්වන බවයි.

මෙරට ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුකූලව සියළු පළාත් සභා ක්‍රියාත්මක වීම සහතික කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඉන්දියාවේ මෙම ස්ථාවරය ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේදී ද ඉදිරිපත් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියා.

ශ්‍රී ලංකාව පිළිබද යෝජනාවේදී ඡන්දය ප්‍රකාශ නොකර සිටීමෙන් ඉන්දියාව එහිදී ප්‍රබල ප්‍රකාශනයක් සිදුකර තිබෙනවා.

එය, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අපේක්ෂාවන්, සමානාත්මතාව, යුක්තිය, සාමය සහ ගෞරවනීයත්වය වෙනුවෙන් ඉන්දියාවේ කැපවීම පිළිබිඹු කරන්නක්.

එමෙන්ම, දෙමළ ජනතාවගේ ගැටළුවලට විසදුම් සපයමින් සංහිදියා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා යුතු බවත්, ලක් රජය ජාත්‍යන්තර ප්‍රජාව සමග ඵලදායී අන්දමින් කටයුතු කළ යුතු බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජායිශංකර් අවධාරණය කළා.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
1
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
1
Angry

Comments