ඒ හිනාවටත් අරුතක් එක් කරමු




“අදත් උදේම මුලිච්ච් උනානෙ, දැන් ඉතින් දවසම ඉවරයි.”

“ඇයි, මොකද උනේ?”

“නෑ අර ඉන්දිකාගේ මොංගල් කොල්ලා. වැඩට යන්න එලියට බැස්සා විතරයි ඉස්සරහටම ආවේ නැතෑ. හරියට කතා කරගන්නත් බෑ ගොත ගගහ, ඒ මදිවට සෙවලත් පෙරෙනවා. අප්පිරියාවේ බෑ!”

“ඒකනම් ඇත්ත. මඩමකවත් තියන්නේ නැතුව ගෙදර තියාගෙන උගන්නන හදන්නේ, ඔය පිස්සු ළමයා මොන විභාගෙ පාස් කරවන්නද දන්නෙ නෑ. ඉන්දිකාටත් විකාර, නිකන් ලෙඩෙක් මත්තෙ නහිනව.”

ටිකක් හිතන්න… මේ කතා කළේ ඔබේ දරුවා, ඔබේ සහෝදරයා ගැන නම්, මේ වදන් ඇසෙන ඔබට කොයි තරම් නම් වේදනාවක් දැනේවිද? තාක්ෂණයෙන්, මනුස්සකම් අතින් අපි කෙතරම් දියුණු යැයි පැවසුවත් හිතට එකඟව, විශේෂ අවශ්‍යතා ඇති දරුවන් දෙස වපර ඇසකින් කිසිවිටෙක බලා නැති බව කිව හැක්කේ ඇත්තටම අපි කීයෙන් කී දෙනාටද? හැම පුද්ගලයෙකුම විශේෂිත යැයි කියන සමාජයක විශේෂ අවශ්‍යතා සහිත අයට අපි සම තැනක් දෙනවාද? International Down Syndrome Day මාර්තු 21 යෙදී ඇති පසුබිමක, එම රෝගයෙන් පීඩා විඳිමින් නොයෙකුත් කම්කටොලු වලට මුහුණ දෙන අහිංසක ජීවිත ගැන විමසා බලන්නට මේ හොඳම කාලයයි.

01. පිපෙන්නට වෙර දරන මල් කැකුළු

පාසල් කාලය, දරුවෙකුගේ දිවියේ අඩිතාලම ගොඩනැගෙන අවධියයි. අනෙකුත් දරුවන්, විශේෂිත දරුවන්ට සමග සෙල්ලම් කිරීමට, ඔවුන් හඳුනාගන්නට වැය කරන කාලය, අනාගතයේ විශේෂිත පුද්ගලයන්ට සමසේ සලකන්නට ඔවුන්ට මහත් පිටිවහලක් වනු නොඅනුමානයි. පාසල තුල ඔවුනට අවශ්‍ය ආදරය, කරුණාව මෙන්ම අනෙක් ළමුන් අතර ගැවසීමට අවස්ථාව ගුරු භවතුන් විසින් ලබා දිය යුතුයි වගේම ඔවුන්ගේ දක්ෂතා හඳුනාගෙන, ඒවා ඔප්නැංවීමට උර දීම මගින් ඔවුන්ගේ අනගතය දීප්තිමත් කිරීමට උපකාර කල හැකියි.

02. වටිනා ශ්‍රම බලකායක්

විශේෂ අවශ්‍යතා ඇති අය දක්ෂතා රැසකට උරුමකම් කියයි. අත්කම්, ඉවුම් පිහුම්, කලාව මෙන්ම අධ්‍යාපනයත් ඔවුන් ජයගෙන ඇති ක්ෂේත්‍ර අතර කැපී පෙනේ. ඔවුන්ගේ බලාපොරොත්තු, කැපවීම, මෙන්ම නොපසුබට උත්සහයද අපට නොදෙවෙනි වන්නේ ජාත්‍යන්තරය ජයගැනීමට තරම් දක්ෂයින් ඔවුන් අතර බිහිවී ඇති නිසයි. අවශ්‍ය වන්නේ ඔවුන් දිරි ගන්වන, විටෙක සහයෝගයෙන් මඟ පෙන්වන, ඔවුන්ට සම සේ සලකන සහෘදයන් පිරිසක් පමණයි. රැකියාවේ හමුවන මෙවන් අයට වචනයකින් නතිනම් සිනහවකින් සංග්‍රහ කරන්නට තරම් ඔබ නිහතමානී නම් ඔවුන්ගේ විඩා නිවන්නට එය මහත් උපකාරයක්ම වේවි. නිරතුරුව ඔවුන් දිරිමත් කරමින්, සමාජයේ කොන් වෙන්නට ඉඩ නොතබා ඔවුන්ගේ ජය ගමනේ හයියක් වන්නට ඔබටත් හැකියාවක් ඇත්නම් එයයි ඔබට කළ හැකි විශාලම උපහාරය.

03. මේ ගැනත් සැලකිල්ලෙන්

මෙවන් දරුවන්ට සිදුවන හිංසන, අතවර අද සමාජයේ දැවෙන ප්‍රශ්න බවට පත්වී තිබුනත් ඒවා සංවාදයට බඳුන් වන්නේ ඉතා අඩුවෙන්. ඔවුන්ගේ මානසික මට්ටම් ගැන අවධානය යොමු කරන විට, මේ අහිංසක මල් වැනි දරුවන් ගොදුරු බවට පත් කරගන්නට මාන බලනා නොමිනිසුන්ගෙන් ඔවුන් ආරක්ෂා කරගැනීම අපි සැමගේ යුතුකමක් මෙන්ම සමාජ කාර්‍යභාරයක්.

04. අපි වගේමයි

සමාජයේ අපිත් සමගම ජීවත් වන මේ පිරිසටත්, ආදරය කරුණාව අත්‍යවශ්‍යයි. තමන්ගේ වැඩ ස්වාධීනව කරගන්නට, ජීවිතය ජයගෙන ඉදිරියට යන්නට, ඔවුනුත් අපි වගේම සිටින්නේ නොඉවසිල්ලෙන්. ජාති ආගම් කුල බේද නොතේරෙන, තරඟකාරීත්වය ගැන හාන්කවිසියක්වත් නොදන්නා මේ පිවිතුරු මිනිසුන්ගේ සතුට ඉතා සරලයි. ජීවිතය විඳින්නට, විනෝදයෙන් සිනාසෙන්නට, තමන් ලද ජීවිතය අර්ථවත්ව ගත් කරන්නට, ඔවුනුත් අපි වගේම කැමතියි. මේ ලෝකය තවත් ලස්සන කරන ඔවුන් දෙස අළුත් ඇසකින් බලන්නට, ඔවුනට ලැබියයුතු නිසි ගෞරවය මෙන්ම සම සැලකිල්ලද ලබාදෙන්නට හණමිටි අදහස් බැහැර කොට, නව ආකල්ප වලින් පරිණත මිනිසුන් ලෙස අද සිටම අත් වැල් බැඳ ගනිමු. එවන් පුද්ගලයන් හෝ විශෙෂ අවශ්‍යතා ඇති පුංචි දරුවන් දුටු විට ලැජ්ජාවෙන් වෙනතක් බලාගනු වෙනුවට ඔවුන් වෙතට ලං වී, ඒ මුහුණු වලට සිනහවක් කැන්දන්නට ඔබටත් හැකිනම්, එවන් මිනිස්කමින් පිරි සමාජයක ජීවත් වීමත් අප සැමටම භාග්‍යයක් වේවි.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments