ක්‍රිකට් ලොව අලුත්ම පැතුම පැතුම් නිස්සංක පසුපස ජයරත්න මල්ශාලාව




සිය මංගල ටෙස්ට් තරඟයේදීම ශතකයක් රැස්කළ පැතුම් නිස්සංකගේ ක්‍රීඩා දිවිය පසුපස එක්වූ බොහෝ පිරිසක් සිටිනවා.

ඒ අතරින් සෙවනැල්ල සේ සිටි පියාට අමතරව ඔහුගේ පුහුණුකරුවන් සහ තවත් එක් විශේෂ කණ්ඩායමක් පිළිබඳව තොරතුරක් මේ.

කළුතරින් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන පැතුම් කොළඹ ඉසිපතනයට කැඳවීම් ලබන්නේත් ක්‍රිකට් ක්‍රීඩාවමයි.

ඉසිපතනයේ ක්‍රීඩාව කරගෙන යාමට අවැසි තරම් ශක්තියක් නොතිබූ පැතුම්ට ඉසිපතන ආදිශිෂ්‍ය සංගමය පළමු සවිය සපයනවා.

නමුත් එය ප්‍රමාණවත් නොවූ තැන කොළඹ ඉසිපතනයේ ක්‍රිකට් පුහුණුකරු ඔහුගේ මිතුරෙකු වූ නිලන්ත අමරසිංහ අමතනවා.

කොළඹ ජයරත්න මල් ශාලාවේ සේවකයෙකු වන නිලන්ත මේ සුපිරි දක්ෂතාවයෙන් හෙබි නැගී එන ක්‍රිකට් තරුව යහපත් අනාගත ආයෝජනයක් විය හැකි බවට ජයරත්න මල් ශාලා හිමිකරුට පවසනවා.

නිලන්තගේ බහට අවනත වන ජයරත්න අධ්‍යක්ෂවරුන් තීරණය කරන්නේ ඔහුගේ ක්‍රිකට් දිවිය දීප්තිමත් කිරීම සඳහා අවශ්‍ය පසුබිම් සවිය සැපයීමටයි.

මේ අනුව පැතුම්ට වසර 3ක කාලයක් සඳහා ක්‍රීඩාවට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීමට ඔවුන් පොරොන්දු වනවා.

තමාගේ ඉදිරි මග ඇති කටු පඳුරු ලඳු හෙල් පැහැදිලි කර දුන් පසු පැතුම් තමා කෙරෙහි විශ්වාසය තැබූවන්ට සිය පිත්තෙන් පිළිතුරු දීම ආරම්භ කළා.

පළමු පෙළ තරඟවලදී ලකුණු 67.11ක සාමාන්‍යයක් රඳවාගනිමින් තමන් ක්‍රිකට් ක්‍රීඩාවේ දීප්තිමත් හෙට දිනකට පියමනින ඉඟි සටහන් පෙන්නුම් කළා.

තමන් විශ්වාසය තැබූ මේ අනාගත ක්‍රිකට් තරුව සිය පළමු විදෙස් සංචාරය සඳහා ජාතික කණ්ඩායමට තෝරාගනිද්දී ඒ පිළිබඳව වැඩියෙන්ම සතුටු වූ පිරිස අතරේ සිටි ජයරත්න අධ්‍යක්ෂ මණ්ඩලය බටහිර ඉන්දීය කොදෙව් සංචාරය තුළදී වියපැහැදම් කිරීමට රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් පැතුම් අත තබන්නටත් අමතක කළේ නැහැ.

විදෙස් රටකදී සිය මංගල ටෙස්ට් තරඟය සඳහා එක්වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ලබාගත් පළමු ශතකය සටහන් වන්නේ පැතුම් නිස්සංකගේ නම ඉදිරියෙන්.

එය වෙන කිසිවෙකුටත් කිසිදිනෙකත් බිඳ හෙළිය නොහැකි වාර්තාවක්.

වයස අවුරුදු 22යි මාස 10 ක් සම්පූර්ණ වෙද්දී සිය මංගල ටෙස්ට් ශතකය රැස්කරගන්නා පැතුම් මෙරට ලාබාලම ටෙස්ට් ශතකලාභීන් ලැයිස්තුවේ සිව්වන ස්ථානයේ සිටිනවා.

ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 132ක් සිය මංගල ඉනිමේදීම රැස්කළ ලිට්ල් කලූ හෙවත් රොමේෂ් කලුවිතාරණ ලාබාලම මංගල ටෙස්ට් තරඟ ශතකලාභීන් අතර ඉදිරියෙන් සිටිනවා.

ඔහු එම දස්කම දක්වද්දී වයස අවුරුදු 22යි මාස 8ක්.

කෙසේ වෙතත් මෙරට ටෙස්ට් ශතකයක් රැස්කරගත් ලාබාලම ක්‍රීඩකයා ලෙස වාර්තාපොත්වල දැක්වෙන්නේ වයස අවුරුදු 19 දින 187කදී ටෙස්ට් ශතකයක් තමන් ඉදිරියේ ලියාගත් අසංක ගුරුසිංහ.

ඔහුට පසුපසින් මේ ලැයිස්තුවේ සිටින්නේ එතෙක් මෙතෙක් මෙරටින් බිහිවූ විශිෂ්ඨතම පිතිකරුවෙකු වන පින්නදූවගේ අරවින්ද ද සිල්වායි.

ඔහු ඉදිරියේ ශතකයක ගෞරවය සටහන් වන විට අරවින්දගේ වයස දැක්වුණේ අවුරුදු 20ට එක්දිනක් පසුපසින් හෙවත් වයස අවුරුදු 19යි දින 364ක් ලෙසින්.

(උපුටාගැනීම – රෙක්ස් ක්ලෙමන්ටයින්ගේ සටහනකින්)


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
2
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments