ලොව ප්‍රථම වරට වාර්තා වන කොවිඩ් -19 ප්‍රතිදේහ සමග උපත ලැබූ දරුවෙකු පිළිබඳව ඇමරිකාවේ දකුණු ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ගර්භණී අවධියේදී Moderna එන්නතෙහි එක් මාත්‍රාවක් ලබා ගත් කාන්තාවක මෙම දරු උපත සිදු කර ඇතැයි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු ප්‍රකාශ කළ බවය.
එම වෛද්‍යවරුන් විසින් ඔවුන්ගේ සොයා ගැනීම් පූර්ව මුද්‍රිත ලිපියකින් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
කොවිඩ්-19 රෝගයට එරෙහිව පෙරමුණේ සටන් කරන සෞඛ්‍ය සේවිකාවක වන ඇය ඉකුත් ජනවාරි මාසයේ එන්නත ලබා ගන්නා විට සති 36ක ගැබිනියක බව පෝල් ගිල්බට් සහ චැඩ් රුඩ්නික් යන වෛද්‍යවරුන් දෙපළ ප්‍රකාශ කර ඇත.
ඉන් සති තුනකට පසුව ඇය ශක්තිමත් නිරෝගී බිළිඳියකට උපත ලබා දී තිබේ.
පසුව පර්යේෂකයින් ඇයගේ පෙකණි වැලෙන් ලබා ගත් රුධිරය විශ්ලේෂණය කර ඇති අතර ඉන් තහවුරු වී ඇත්තේ එම බිළිඳිය උපත ලබන අවස්ථාවේදී ඇයගේ රුධිරයේ කොවිඩ්-19 ප්‍රතිදේහ ඇති බවටය.
මෙම මාතෘ එන්නත හේතුවෙන් එම බිළිඳියට Sars-CoV-2 වෛරසයෙන් (කොරෝනාවෛරසය) ආරක්ෂා වීමටත් එය ආසාදනය වීමේ අවදානම අවම බවටත් හැකියාවක් ඇති බවට පර්යේෂකයින් පෙන්වා දෙයි.
“අප දන්නා පරිදි, එන්නතකින් පසු කොවිඩ්-19 ප්‍රතිදේහ සමග දරුවෙකු ඉපදුණු බවට වාර්තා වූ ලොව පළමු අවස්ථාව මෙයයි,” ළමා විශේෂඥ වෛද්‍ය පෝල් ගිල්බට් මාධ්‍ය වෙත පවසා තිබේ.
“ගර්භණී සමයේදී ලබා දෙන වෙනත් එන්නත් සමග සිදු වන ආකාරයට ම මවගේ ප්‍රතිදේහ මෙම එන්නත හරහා ද දරුවාට ලබා දෙන්නේ දැයි දැන ගැනීමට අපි ළදරුවාගේ පෙකණි වැල පරීක්ෂා කළෙමු,” ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත්, ඔවුන් පෙන්වා දෙන්නේ මෙය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා පර්යේෂණ සිදු කළ යුතු බවය.