වේල්ල වීදිය කාන්තා මළ සිරුර: පොලිස් පරීක්ෂණවල අලුත් තත්ත්වය




කොළඹ, වේල්ල වීදියේ ගමන් මල්ලක තිබී සොයා ගත් කාන්තා මළ සිරුරේ හිස සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව වේල්ල වීදිය පොලිසිය පවසයි.

‘මව්බිම’ කළ විමසීමකදී වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ, ලැබෙන තොරතුරු, දුරකතන තොරතුරු හා සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ අදාළ විමර්ශන ක්‍රියාත්මක බවය.

ඊට සමගාමීව බඩල්කුඹුර ප්‍රදේශයේ ද මෙහෙයුම් ක්‍රියාත්මක බව බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ ය.

කොළඹ, වේල්ල වීදිය ප්‍රදේශයේ ගමන් බෑගයක තිබී සොයා ගත් කාන්තා මළ සිරුරේ හිස සෙවීම සඳහා කැලණි ගඟේ මෝය කටේ සිට හංවැල්ල දක්වා, සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා පදිංචිව සිටි බඩල්කුඹුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස හා ඒ අවට සහ බුත්තල සිට බඩල්කුඹුර දක්වා ද පසු ගිය දා පොලිසිය සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබීය.

ඒ අනුව, සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා ගේ නිවසට යාබ ද වත්තේ තිබී බෑගයක සහ ඔහු ඇඳ සිටි රෝස පැහැති කමිසයක පුළුස්සන ලද කොටස් හමුවුණු අතර හිස පිළිබඳ හෝඩුවාවක් සොයා ගැනීමට පොලිසිය අපොහොසත් විය.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඝාතනයට ලක් වූ තරුණියගේ අවසන් කටයුතු පෙරේදා (10) සිදු කෙරුණු අතර සිය දිවි නසා ගත් සැකකාර උපපොලිස් පරීක්ෂකවරයාගේ අවසන් කටයුතු ඉකුත් 7 වන දා සිදු කෙරිණි.

මෙලෙස ඝාතනයට ලක් වූයේ, කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක තරුණියකි.

හිස කඳින් වෙන්කළ කාන්තා මළ සිරුරක් ගමන් මල්ලක දමා, මහ මග දමාගොස් තිබියදී කොළඹ, වේල්ල වීදිය ප්‍රදේශයෙන් ඉකුත් 1 වන දා සොයා ගත් බව පොලිසිය පැවසීය.

වේල්ල වීදියේ වෙළෙඳ සලක් ඉදිරිපිට දීර්ඝ වේලාවක් සැක සහිත ගමන් මල්ලක් ඇති බවට වේල්ල වීදිය පොලීසියට ලද තොරතුරක් මත අදාළ මළ සිරුර සහිත ගමන් මල්ල පොලිසිය විසින් සොයා ගනු ලැබීය.

පසුව සිදු කළ විමර්ශන අනුව, අදාළ ඝාතනය සිදු කළ බවට සැක කරන උපපොලිස් පරීක්ෂකවරයෙකු හඳුනා ගැනුණු අතර ඔහු සිය නිවස ආසන්නයේ කැලයක සිය දිවි නසා ගෙන සිටියදී සොයා ගැනිණි.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
2
Sad
Angry Angry
1
Angry

Comments