ත්‍රාසජනක ඉංග්‍රීසි චිත්‍රපටවල අමුතු ආකාරයේ ගිනිඅවි අප දැක ඇත. ගල්කටස්, ටී _ 56 දැක ඇති අපි එම අමුතු ආකාරයේ ගිනිඅවි ඉංග්‍රීසි චිත්‍රපටවලින් නරඹද්දී අමුතු ආකාරයක සතුටක් ලබන්නේ එවැනි අවියක් හැබැහින් දැකීමද ආස්වාදයක් කරගෙනය. ඇතැම්හු වෛවර්ණ මල්වලට ආශා කරති. තවත් සමහරු බල්ලන්, පූසන්ට ආදරය කරති. ඒ අතර තවත් පිරිසක් අමුතු තාලයේ ගිනිඅවිවලට, යුද ටැංකිවලට, ගුවන් යානා, නෞකාවලට ආදරය කරති.
එය සාමාන්‍ය තත්ත්වයකි. ඔබද කිසියම් දෙයකට ආශාවක් ඇත්තකු වේ. මේ කතාව ගෙනෙන්නේ අවිවලට ආශාවක්, ගිනිඅවි සම්බන්ධ තොරතුරු රැස්කරන පිරිස් වෙතය.
මේ දිනවල සමාජ මාධ්‍ය සිසාරා අමුතු තාලයේ ගිනිඅවියක් ගැන කතාබහක් ඇතිව තිබේ. ගුවන් හමුදා සෙබළකු විසින් අත දරා සිටින එම අමුතු තාලයේ ගිනිඅවිය දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසැරීම හේතුවෙන් මෙම කසුකුසුව නිර්මාණය වී ඇත.
වසර 70 පුරා ලකඹර සුරකිමින් ලක්මාතාව රකින ශ්‍රී ලංකා ගුවන් හමුදා 70 වැනි සංවත්සරය ඉකුත් මාර්තු 2 වැනිදාට යෙදී තිබිණි.
වර්ෂ 1951 මාර්තු 2 වැනි දින ‘රාජකීය ලංකා ගුවන් හමුදාව’ ලෙස ස්ථාපිත අපේ ගුවන් හමුදාව වර්ෂ 1972දී ජනරජයක් වීමත් සමඟ රාජකීය ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත්විය.
Chipmunk යානයෙන් සිය ගමන ඇරැඹි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව අද වන විට K-Fir, F-7 ජෙට් යානාද, AN 32, C 130, MA 50, ක 12 ප්‍රවාහන ගමන් යානා, Bell 212, Bell 412, MI 17, MI 24 හෙලිකොප්ටර් යානා ඇතුළු ගුවන් යානා රැසක් පවතී.
තිස් වසරක් පුරා එල්ටීටීඊය සමඟ පැවැති කුරිරු යුද්ධයේදී සතුරා අන්දමන්ද කරමින් ගුවන් ප්‍රහාර දියත් කළ අපේ ගුවන් හමුදාව සතුරා පරාජය කිරීම සඳහා දිවි හිමියෙන් කැප කළ අභීත හමුදාවක් ලෙසද යුුද ඉතිහාසයට එක්ව තිබේ.
එලෙසින් පාස්කු ප්‍රහාර දින පවා දෙමටගොඩ, මහවිල උද්‍යානයේ ත්‍රස්ත මර්මස්ථානය හෙලිකොප්ටර් යානාවකින් වට කරමින් ආරක්ෂක අංශ සිදුකළ දැවැන්ත මෙහෙයුමට ගුවන් යානා සහාය ලබා දුන් බව අපට මතකය.
ලොවම වෙළා ගත් කොරෝනා වයිරසය හමුවේ ලක්ජනයා, ආරක්ෂා කිරීමේ අරමුණින් හුදකලා නීතිය කඩ කරමින් වයිරසය ගම් සිසාරා වපුරන පිරිස් සොයා ගුවන් මෙහෙයුම්, ඩේරා්න යානා සහ හෙලිකොප්ටර් ආධාරයෙන් මෙහෙයුම් දියත් කිරීමටද ගුවන් හමුදාව කටයුතු කළ බව අප මතකයට නැඟේ.
මින් පසක් වන්නේ ගුවන් හමුදව වර්තමාන, අනාගත අභියෝග, හඳුනා ගනිමින් කටයුතු කරන හමුදාවක් බවටය.
වත්මන් ගුවන් හමුදාපති, එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ සංකල්පයට අනුව ගුවන් හමුදා සංවත්සරයට සමගාමීව ගාලුමුවෙදාරහිදී තෙදිනක් පුරා පැවැති ඉන්දු _ ලංකා ගුවන් යානා සන්දර්ශනය අතර බොහෝ දෙනකුගේ අවධානය යොමු වූ අමුතු තාලයේ අවිය කුමක්දැයි මෙම සටහනින් පසු ඔබට යම් දළ අදහසක් සිතෙහි ගොඩනැඟෙනු ඇත.
මෙරට සේම ලෝකයටම අද තර්ජනයක් වී ඇත්තේ නියමුවන් රහිත ප්‍රහාරක යානාය. මෙවැනි යානා සතුරා විසින් සිය ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින් නිරීක්ෂණ කටයුතු සඳහා භාවිත කෙරේ.
ජනාධිපතිවරයා සේම දෙස් – විදෙස් ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු අමුත්තන් හා මහජනතාව වැඩි වශයෙන් ගුවන්යානා සන්දර්ශනය නැරඹීම සඳහා ගාලුමුවෙදාරට පැමිණ සිටියහ.
ගාලුමුවෙදාර හා ඒ අවට ආරක්ෂාව පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවිධ හමුදාව ඒකාබද්ධව තර කර තිබූ අතර ප්රභූන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු Anti Drone Jammer Gun අවි ගාලුමුවෙදාර වෙත ගෙනැවිත් තිබිණි.
ගුවන් විරුවා අත ඇති මෙම අවිය චීනයේ නිෂ්පාදිත ඩේරා්න යානා, ගුවන් විදුලි තරංග මෙන්ම ජංගම දුරකථන සංඥා අවහිර කරන අවියකි. QR 0753 අංකයෙන් හැඳින්වෙන මෙය බොහෝ රටවල ප්‍රභූ ආරක්ෂක කටයුතු සඳහා භාවිත කරනු ලබයි.
Digital Eagle සමාගමේ නිෂ්පාදනයක් වන මෙම ඩේරා්න ජෑමර් අවිය ඔස්සේ මීටර් 1500ක පමණ වපසරියක ඇති ඩ්‍රෝන යානාවක් වුවද සංඥා අවහිර කොට බිමට පහත් කිරීමේ හැකියාව පවතී.
මෙය කිලෝ හතරක පමණ බරින් යුක්තය. මෙහි භාවිත කාලය පැය දෙකක් පමණ වේ.
මෙම ඩ්‍රෝන ජෑමර් අවිය ඔස්සේ අදාළ ඩ්‍රෝන යානාව බිම පතිත කිරීමට අමතරව අවිය භාවිත කරන සෙබළා සිටින තැනට ගෙන ඒමට හැකි වීම විශේෂත්වයකි.
මෙම අවියේ තවත් සුවිශේෂිතාවක් වන්නේ මෙය රැගෙන යෑමේ පහසුව සඳහා කොටස් ත්‍රිත්වයකට වෙන් කිරීමේ හැකියාවයි.
සතුරා විවිධ වෙස් ගනිමින් ඔහුගේ ඉලක්කය සපුරා ගන්නා අතර සතුරු උපක්‍රම හඳුනා ගනිමින් ඊට මුහුණදීමට ආරක්ෂක අංශද විවිධ උපක්රමයන් යෙදීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අවිය හැදින්විය හැකිය.
චාමර අමරසූරිය