දිලිනි ගැන ඔබ මෙතෙක් නොඇසු කතාව




දිලිනි උපන්නේ රත්නපුරේ කුරුවිට ගම්බද පළාතකය. දුප්පත් ගොවි ගෙදරකය. ඒත් ඇය දකින්නෙකුට එවන් තැනක උපන් කෙනෙක් කියා සිතුණේ නැත. ඒ තරමට දිලිනි තුළ සුන්දර බවක් මෙන්ම පෞර්ෂත්වයක්ද තිබුණේය.

‘‘අනුන්ට ඕන විදිහට ඉන්නේ නෑ. මං ඉන්නෙ මට ඕනෑ විදියට’’

පසුගිය කාලයේ ඇගේ ෆේස්බුක් ගිණුමට එම වැකිය එක් කර තිබුණේ ඇගේ ‘‘හිත’’ ඇය හිතනපතන වැඩ කරන විදිහෙ අනුනට කියා පාන්නට මෙනි.

ඒත් දැන් ඒ සියල්ල අවසන්ය. අවුරුදු තිහක් වැනි ජීවිතේ තුනෙන් එකක් ගෙවෙද්දී ඇයට මහපොළොවේ සිව්රියනක් උරුම වුණේය. ඒ ඇය ලෝකයක් තරමට ආදරය කළ එස්.අයි. අප්පච්චිගේ පිහි පහරින් බෙල්ල කැපී ගිය නිසාය. ඇයට සිව්රියනේ සැතපෙන්නට වූයේද සැනසිලිදායක නින්දක නම් නොවේ. ඒ සුන්දර වත සහිත හිස කිසිවකුත් නොදන්නා තැනකත් හිස නැති සිරුර තව තැනකත් මිහිදන් වන්නට සිදුවීමත් නිසාය.

ලීනියා කුමාර දුලනිගේ දිලිනි යශෝදා ජයසූරිය ජීවත් වුණේ කුරුවිට තෙප්පනාගම බඩෝවිටයි. ඇයට සිටින්නේ අයියා කෙනෙක් පමණි. ඔහු ප්‍රභාත් ජයසූරියයි. ප්‍රාදේශීය දේශපාලනඥයෙක් ලෙස කටයුතු කරන ඔහුත් දිලිනිත් ඔවුනගේ මවත් ජීවත් වූයේ එකම නිවසේය.

‘‘නංගිට අවුරුදු එකොළහක් වගේ කාලෙදි තමයි තාත්තා නැති වෙන්නේ. ඒ හාට් ඇටෑක් එකකින්. එතකොට එයා තෙප්පෙනාව ඉස්කෝලේ පහේ හයේ වගේ ඉගෙන ගන්නවා. මම හිටියේ 12 පන්තියේ. ඊට පස්සේ අම්මා තමයි තේ දලු කඩලා එහෙම අපිව බලා ගත්තෙ. ඊට අවුරුදු දෙකකට තුනකට පස්සේ මම රස්සාවක් කරන්න ගත්තා.’’

දිලිනිගේ සොයුරා ඔවුනගේ විස්තර එසේ කීවත් දිලිනි ඇගේ යහළු යෙහෙළියන්ට කියා ඇත්තේ ඊට වඩා වෙනස් විදිහේ පවුල් තොරතුරුයි. ඈ කී තොරතුරුවල අම්මාත් අයියාත් සිටි මුත් හෘදයාබාදයකින් මිය ගිය බැව් කියන තාත්තා කෙනෙක් හිටියේ නැත.

‘‘දිලිනි අක්කා කියලා තියෙන්නෙ එයාගේ තාත්තා තාම ජීවත් වෙනවා කියලයි. එයා අම්මගෙ බඩේ ඉන්නැද්දි ඒ ගොල්ලන්ගෙ අම්මාගෙ නංගි එක්ක සම්බන්ධයක් ඇති කරගෙන එයාල අතෑරලා ගියා කිව්වා. තාත්තා වැඩකළෙත් පොලිසියේ කියලයි කිව්වේ. ඊට පස්සේ පොලිසියෙන් අයින් වෙලා තාත්තා රට ගියාලු. ඊටත් පස්සේ ඇවිත් ලංකාවේ ජීවත් වෙනවා කිව්වා.

පහුගිය දවස්වල මට කිව්වා, තාත්තා එයා හිටපු තැනකින් ගියා. ඒ දැන් බැඳලා ඉන්න කෙනාගේ ළමයත් එක්ක. එයාගේ මූණ දිහාම බලාගෙන දැක්කත් නොදැක්ක ගානට යන්න ගියා. ඒ වෙලේ හරියට දුක හිතුනා කියලා කිව්වා. තාත්තාගෙ කියලා ෆොටෝ එකක් ෆේස්බුක් එකේ ෆ්‍රොෆයිල් ෆොටෝ එකටත් දාගෙන හිටියා. පහුගිය කාලේ දවසක් මට තාත්තගෙ කියලා පින්තූරයක් පෙන්නලත් තියෙනවා.’’

ඒ දිලිනි යශෝදරා ළඟින්ම ඇසුරු කළ ඇඹිලිපිටිය ප්‍රදේශයේම ඇගේ මිතුරෙකු කී කතාවකි. අවසන් කාලයේ ඔහුත් ඔහුගේ පෙම්වතියත් ඇයගේ හොඳම මිතුරන් වී සිටියහ. නම හෙළි කරනවාට අකමැති ඇගේ තවත් මිතුරු මිතුරියන් කීප දෙනෙකුටත් දිලිනි යශෝදරා එවන් කතාවක් පවසා තිබුණාය.

දිලිනි පාසල් අධ්‍යාපනය සාමාන්‍ය පෙළ පන්තියෙන් නිම කළ බව කියයි. ඉන්පසු කලින් කලට ඇය පෞද්ගලික අංශයේ රැකියාවන් කීපයක් කර ඇත. ඇඟලුම් කම්හලක වසර ගණනක් වැඩ කළ දිලිනි රක්ෂණ සමාගමකද සේවය කර තිබුණාය. ගෙන් ගෙට ගොස් වතුර ෆිල්ටර් විකුණන රැකියාවක් ද ඇය කළාය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ ඇයට රැකියාවක් ලැබී තිබුණද ස්ථිර නොවීමේ සහ තවත් හේතු නිසා මාස කීපයකින් ඒ රැකියාවද අහිමි වී ඇත. අවසන් කාලයේ ඇය තෝරාගෙන තිබුණේ දුරකතන සමාගමක කඩුවෙල ප්‍රදේශයේ රැකියාවකි. අම්මාගේ අසනීප තත්ත්වය නිසා ඇගේ සොයුරා ඇයව යළි ගමට ගෙන්වාගෙන ඇත. මේ සියලු දේවල් අතරේ පාසල් හැරයාමත් සමග දිලිනි ජාතික තරුණ සේවා සභාවේ යෞවන සමාජයටද සම්බන්ධ වුණාය. එමගින් යොවුන් පුරයන් සඳහාත් ඇය සහභාගි වූවාය. යෞවන සමාජයේ දී මෙන්ම යොවුන් පුරයේදීත් ඇය බොහෝ මිතුරු මිතුරියන් පිරිසක් හඳුනාගත්තාය.

‘‘එයාට හොඳ නායකත්ව හැකියාවක් තිබ්බා. ඒ නිසා යොවුන් පුරේ නගර සභාවටත් මෙයා එතකොට තේරෙනවා. නගර සභාවට දිස්ත්‍රික්කයකින් ගන්න දෙන්නාගෙන් එක්කෙනෙක් වෙන්නෙ දිලිනි. එහෙම වැඩ කරගෙන හිටපු දිලිනි තමයි පසුගිය මැතිවරණ කාලේ හේෂා මන්ත්‍රිතුමාගේ ඡන්ද වැඩවලට සම්බන්ධ වෙලා තියෙන්නේ. අන්න එතකොටයි මන්ත්‍රීතුමාගේ බොඩිගාඩ් වෙලා හිටපු එස්.අයි. ප්‍රේමසිරි අඳුරගෙන තියෙන්නේ. හැබැයි අපි හැමෝටම කිව්වේ එස්.අයි. දිලිනිගෙ මාමා කියලයි. අපිට එයා හඳුන්වලා දීලත් තියෙනවා. එයත් අපිට පුතා කියලා කතා කරල තියෙනවා. අපි යාළුවෝ කිසි කෙනෙක් සැක කළේ නෑ. එයාට අවුරුදු පනහයි. දිලිනිට අවුරුදු තිහයිනේ. එහෙම සැකයක් මුලින් හිතුණෙත් නෑ. අපි හෙව්වෙත් නෑ.’’

ඇගේ මිතුරු ගොන්නේ තව එක් යහළුවෙක් කියද්දී ඈ සමග අවසන් කාලයේ ළඟින්ම සිටි යෙහෙළියකටද මේ එස්.අයි. අප්පච්චිව දිලිනි යශෝදරා හඳුන්වා දී තිබුණාය
‘‘අපේ ගෙදර දවසක් ඒ මනුස්සයා එක්ක ආවා. සුදු පාට කාර් එකක. මට කිව්වේ අම්මගෙ මල්ලි කියලා. දිලිනි අක්ක කතා කළේ අප්පච්චි කියලා. තාත්තා නැති නිසා අප්පච්චි කියලා කතා කරනවා කිව්වා. එයාට ඒ එස්.අයි. කිව්වේ දෝණි කියලා. එස්.අයි. මට කතා කළෙත් දෝණි කියලා. තාත්තා නැති නිසා අප්පච්චි තමයි මාව හැම තැනකම එක්කගෙන යන්නෙ කිව්වා. දිලිනි අක්කා එස්.අයි. ගොඩක් ඇවිදින්න ගියා. දවස් දෙක තුන ඇවිදලා එනවා කියලත් කියලා තියෙනවා.’’

පසුගිය මැතිවරණ සමය වෙනතුරුත් මන්ත්‍රීවරයාගේ ආරක්ෂක අංශයේ සිටි එස්.අයි. අප්පච්චි වන උප පොලිස් පරීක්ෂක අධිකාරී මුදියන්සේලාගේ ප්‍රේමසිරි පසුගිය වසරේ බුත්තල පොලිසියේ සේවයට අනුයුක්ත කර තිබුණි. එහි ගිය ද ඔහු දිලිනි බලන්නට බුත්තල සිට කුරුවිටට පැමිණ තිබුණි. ඒත් දිලිනිගේ අයියා කියන්නේ දෙවරකට වඩා ඔහු නිවසට නොආ බවයි.

‘‘බුත්තල ගියාට පස්සේ හෙඩ්ක්වාටර්ස් යන ගමන් කියලයි, කොළඹ ඉඳලා බුත්තල යන ගමන් කියලයි දවස් දෙකක් අපේ ගෙදර ආවා. ඒ දවස් දෙකේම මං ගෙදර හිටියා. නංගි එක්ක විශේෂයෙන් කතා බහ කළේ නෑ. මාත් එක්ක කතා කර කර ඉඳලා දවල් කෑම කාලා යනවා කියලා ගියා. මං නැති අතරේ ඊට පස්සේ ගෙදරට ඇවිල්ලත් නෑ. හැබැයි මීට මාස තුන හතරකට කලින් මගේ ටෙලිෆෝන් එකට ගෑනු කෙනෙක්ගෙන් කෝල් එකක් ආවා. කතා කළේ එස්.අයිගේ අක්කා කියලා කෙනෙක්. එයා කිව්වා ‘‘නංගියි එස්.අයි. අතරෙයි සම්බන්ධයක් තියෙනවා කියලා කිව්වා. මම කිව්වා අහලා බලන්නම් කියලා. මං නංගිගෙන් ඇහුවා’’ ‘‘පිස්සුද අයියේ මට ඔය වයසක මිනිස්සු එක්ක සම්බන්ධකම් තියන්න ඕන නෑ. මට ඒ කතා කරපු කෙනාගේ නොම්මරේ දීපන්, කතා කරලා මං විස්තරේ අහගන්නම් කිව්වා. මං ඉතින් නොම්මරේ දුන්නා.’’

ඒ දුරකතන අංකය ඉල්ලා ගෙන ඔවුන් කතා කළ දෑ දන්නේ දිලිනිම පමණි. නමුත් එසේ පැමිණි දුරකතන ඇමතුම එතෙකින් නැවතී නොතිබිණි. දිලිනි බොහෝ ඇසුරුකම් පවත්වන යෞවන සමාජ මිතුරු පිරිසේ කෙනෙකුටත් ඒ ඇමතුම ඇවිත් තිබුණි.

‘‘කුරුවිට යූත් එකේ කෙනෙකුට කතා කරලා දිලිනිගෙයි එස්.අයි.ගෙයි සම්බන්ධෙ ගැන කෙනෙක් කියලා තිබුණා. ඒ මීට මාස තුන හතරකට කළින්. ඒ කතාව දැනගත්තම යාළුවෝ හැමෝම වාගේ දිලිනි අක්කව අතෑරලා තිබ්බා. මටත් කට්ටිය කතා කරලා කිව්වා දිලිනි ආශ්‍රය කරන්න එපා. අප්පච්චි කියලා එක්ක එන මනුස්සයා එයාගේ මාමා නෙවෙයි. ඒත් ඉතින් එයාගෙන් මට වරදක් තිබ්බෙ නැති නිසා මං එයාව අතෑරියේ නෑ. ඒත් මේ දේවල් අපි දන්නවා කියලා දැන ගත්තම දිලිනි අක්කා මාසයක් දෙකක් කතා කරන්නෙවත් එන්න යන්නෙවත් නැතුව හිටියා. ඒ මනුස්සයා දිලිනි අක්කට හරි ආදරෙන් හිටියේ. හැම වෙලේම කෝල් කළා. ඉල්ලන්නෙ මොනවද ඒ හැමදේම අරන් දෙනවා කියලයි එයා කිව්වේ. කොහොම හරි මට එදා 23 වැනිදා දිලිනි අක්කා කතා කළා. අම්මගෙ අසනීපෙ ගැන තමයි කිව්වේ. අම්මට දැන් හරි අමාරුයි කිව්වා. එයාලගේ ගෙවල් ළඟ වෙලාව බලපු තැනකින් කිව්වාලු අම්මට තව සති දෙකයි ආයුෂ තියෙන්නේ කියලා. ඒ හින්දා අයියා කන්නෙ බොන්නෙත් නෑ. මට ගෙදරින් එළියට බහින්න බෑ කියලත් කිව්වා. ඊට පස්සෙ මට කතා කළේ නෑ.’’

ඇය ඒ ළතැවිල්ලෙන් සිට ඇත්තේ මවගේ අසනීප තත්ත්වය නිසා නොව එක් පසෙකින් ඇගේ නිදහස් ජීවිතය සීමා වී තිබූ නිසාය. ඇය ගෙවූ නිදහස් ජීවිතය ගැන ඇයව ළඟින් ඇසුරු කළ හැම කෙනෙක්ම දැන සිටියහ.

‘‘අපි එකට යූත් එකේ ප්‍රෝග්‍ර්‍රෑම් කළා. දේශපාලන වැඩ කරද්දී එකට හම්බ වුණා. ඒ හින්දා ගොඩක්ම ෆිට් වුණා යාළුවෝ වුණා. දිලිනි කියන්නෙ කෙල්ලෙක් වුණාට කොල්ලෙක් වගේ වැඩ කරපු කෙනෙක්. එයා උදව් කරද්දි කෙනෙකුට කවුද කෙනා කියලා බැලුවෙ නෑ. අවුරුද්දකට කලින් දෙසැම්බර්වල අපේ තාත්තා නැති වුණ වෙලේ අපේ ගෙදර ඇවිත් දවස් හතක් අටක් හිටියා. මම පිරිමි ළමයෙක් කියලා නෑ. මට එයාගේ ගොඩක් විස්තර කියනවා. දිලිනිගේ ප්‍රේම සම්බන්ධයක් තිබ්බා. ඒ බෝයි හිටියේ රුසියාවේ. මට ෆොටෝ පෙන්නුවා. ගෙවල්වලින් මේ සම්බන්ධෙට ප්‍රශ්න තිබ්බා. මාත් එක්ක ඒ ගැන පහුගිය කාලේ චැට්වලිනුත් කතා කළා. ඒ අතරේ ලංකාවේ තව සම්බන්ධතා දෙක තුනක් තිබ්බා. ඒ අතරේ එයා එක්ක ඇඹිලිපිටිය පැත්තෙත් කොල්ලෙකුත් යාළුවෙලා හිටියලු. ඒ කොල්ලා මේ ගැන කියලා බඳින්න අවසර ඉල්ලන්න ගෙදර එන්න අහද්දි එයා එන්න දුන්නෙ නැතිලු. පසුගිය දවස්වල මෙයා මට ගෙදර ඉන්න බෑ කියලා යාළුවන්ටත් මැසේජ් කරලා තිබුණා.’’

එදා එයා සිරිපාදේ යනවා කියලා අවට ගෙවල්වල අයගෙන් කාසිත් අරගෙන අටපිරිකරකුත් ගෙනල්ලා අම්මා වෙනුවෙන් පූජා කරන්න කියලා බෑග් ලෑස්ති කරගෙන එහෙම තමයි ඔය ගිහින් තියෙන්නේ. ඒ 27 වැනිදානේ.’’ විසිහත යන්න කළින් 26 වැනිදා හවස අපේ යාළුවෙකුට එයා වට්ස්ඇප් මැසේජ් එකක් දාලා තිබ්බා. ඒකෙ තිබුණේ ‘‘මල්ලි උඹ කොහෙද ඉන්නෙ, මම ඔයාලගේ ගෙවල් පැත්තෙ එනවා පොඩි කතාවක් කියන්න තියෙනවා. මට කෝල් එකක් ගන්නවද? මං පොඩි ප්‍රශ්නෙක. මට කියන්න වෙන නැහැ. උඹලව දැක්කෙ නැහැ මල්ලී ගොඩක් දවසකින්. දැන් අසනීප හොඳයිද? ඔන්ලයින් ආවම මැසේජ් එකක් දාපන් මල්ලියා කියලයි.

ඒක යාළුවා දැකලා තිබුණේ ගොඩක් පරක්කුවෙලා. අදටත් එයා කම්පාවෙන් ඉන්නේ මෙයා කියන්න හදපු ප්‍රශ්නෙ මොකක්ද කියලා අහගන්න බැරි වුණ එකට. අපේ තව ගෲප් එකක යාළුවෙකුටත් මැසේජ් කරලා තියෙනවා. අඩෝ මගේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ. මට ප්‍රශ්න ගොඩක් බං කියලා.’’

මිතුරාට කියන්නට සිටි ප්‍රශ්නය නොකියාම ඇයට 27 වැනිදා ගමන පිටත් වන්නට සිදු වී තිබුණි. ඇය 27 සිරීපාදේ යන්නට නිවසින් එළියට බහිද්දී ඇය හමුවන්නට බුත්තල සිට ඇගේ එස්.අයි. අප්පච්චි ප්‍රේමසිරිද පැමිණෙමින් සිටියේය. ඔහු බුත්තල පොලිසියට කියා තිුබණේ අම්මාගේ තුන් මාසේ දානයට යන බව කියමිනි.

‘‘සෙනසුරාදා තමයි නංගි සිරීපාද් ගියේ, යාළුවෝ එක්ක දන්සලක් දීලා අම්බලම් පිරිසිදු කරන්නත් යනව කියලයි ගියේ. එදා රෑ 9.30 ට විතර මම කෝල් එකක් දුන්නා. ආයේ රෑ 10.05 ට විතර නංගි කතා කරලා කිව්වා දැන් ඉන්නේ එරත්නෙ කියලා. ඊට පස්සෙ කතා කරගන්න බැරි වුණේ සිග්නල් නැති හින්දා කියලයි අපි හිතුවේ.’’

දිලිනි හැමදාම ගමන් බිමන් ගියා සේ එස්.අයි. අප්පච්චිත් සමග ඇත්තටම සිරීපාදේ යන්නට ගියා දැයි දන්නේ නැත. ඒත් ඈ සිරිපාදේ වත් එස්.අයි. ප්‍රේමසිරි මවගේ තුන්මාසේ පින්කටමවත් ගොස් තිබුණේ නැත. එදා රාත්‍රී 10.00 ට පමණ ඔවුන් දෙදෙනාම හංවැල්ලේ හෝටලයට ගොස් ඇත. ඒ එහි 106 කාමරයටයි. හෝටලයේ ගත කළ කාලයේ කීපවරක් ඔවුන් දෙදෙනා හෝටලයෙන් පිටතට ගොස් පැමිණ ද තිබුණි. නමුත් පළමුවැනිදා උදෑසන 10.00 එස්.අයි අප්පච්චි හෝටලයේ බිල ගෙවා දමමින් එළියට බසින්නේ තනිවමය. ඔහු අත එනවිට නොගෙනා විශාල බෑගයක්ද විය. නවාතැන්පොළ හිමිකාරියට ඔහුත් සමග දිලිනි නැති අඩුව හෝ ඔහු ගෙන යන විශාල බෑගය ගැන හෝ අවදානයක් ද නොතිබුණි. හෝටලයේ සිට ත්‍රීවීලරයකින් බස් නැවතුමට ගොස් බසයක නැගී කොළඹ ගිය එස්. අයි. අප්පච්චි, අත වූ විශාල බෑගය වේල්ලවීදියේ දමා පැන ගියේය. ඒ ඔහුගේ බුත්තල ගෙදරටයි. හංවැල්ල හෝටලයට දෙපයින් ගිය දිලිනි වේල්ල වීදියට හිසත් නැතිව බෑගයක ආවේ එහෙමය. දවසකට විසිතිස් වරක් දුරකථන ඇමතුම් දුන්, කියන කියන තැන එක්කගෙන ගිය ඉල්ලන ඉල්ලන දේ අරන් දුන්නු, යාළුවන් ඉස්සරහ දෝණිට හුඟක්ම ආදරේ අප්පච්චි ලෙස රඟපෑ එස්.අයි. ප්‍රේමසිරිගේ අතින් හංවැල්ල හෝටලයේදී මියගොස් තිබුණ. ඒ සිරුරින් හිස කපා වෙන් කර කවන්ධය පමණක් බෑගයට දමාගෙන යන්නට ඇත්තේ මිනීමරුවකු වූ බයටය. ඇගේ සුන්දර සිනාවෙන් පිරි මුහුණ සහිත හිස තවමත් අතුරුදන්ය. කළ දේ පළ දේ කියන්නා සේ ඔහුගේ හෘද සාක්ෂිය නිහඬව නොසිට ඔහුටද ඒ ඉරණමම අත්කර දුන්නේය. පොලිසිය ඔහු සොයා යද්දී කැලයට පැන වස පානය කොට ගෙළ වැළලාගෙන මියගියේ ඒ හෙයිනි. ඒත් ඔහු නිර්දෝෂී වන්නට, මරණය පෙනෙන්නට ගත් මොහොතේ කොළයක් පෑනක් ගෙන ආදරණීය බිරින්දෑටත්, දරුවන්ටත් ලෝකයට පේන්නට ලිපියක් ලියා ඇත. එහි දිලිනි වරදකාරියක කර ඇත්තේ තමන් කෙරේ අනුකම්පාවක් දිනා ගන්නට වන්නට ඇත. ඒත් මියෙන්නට මොහොතකට පෙර දිලිනිටත්, පෑනක්, කොළයක් හමු වුණා නම් මේ කතාව සමහර විට මීට වඩා වෙනස් ලෙස කාටත් අසන්නට ලැබෙනු ඇත.

බියංකා නානායක්කාර
Source – aruna.lk


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
1
Love
Lol Lol
1
Lol
Wow Wow
3
Wow
Sad Sad
17
Sad
Angry Angry
10
Angry

Comments