ඝාතනය වු තරුණියගේ හිස කොහේ ද? – පොලීසියට මතු වු සැකය


2 shares


පිටකොටුව, වේල්ල වීදිය ප්‍රදේශයේ දී සොයාගත් තරුණියගේ මළ සිරුරේ හිස කොටස සොයා තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බව පොලීසිය පවසයි.

ලේ පැල්ලම් සහිතව ත්‍රීරෝද රථයක් පොලිස් භාරයට ගෙන ඇති අතර එම ලේ පැල්ලම් සම්බන්ධයෙන් ඩී.එන්.ඒ වාර්තාවක් කැඳවීමට ද පියවර ගෙන ඇති බව සඳහන් වේ.

මේ අතර අදාළ ඝාතනය සිදුකළ බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයාගේ මළ සිරුර ද අද (03) උදෑසන බඩල්කුඹුර, පහේකණුව ප්‍රදේශයේ ඔහුගේ නිවසට යාබද ස්ථානයක රබර් වත්තේ, ගසක එල්ලෙමින් තිබියදී සොයාගනු ලැබීය.

පිටකොටුව, වේල්ල වීදිය ප්‍රදේශයේ වෙළෙඳසැල් හිමියන්ගෙන් ලද තොරතුරකට අනුව හිස නොමැති කාන්තා මළ සිරුරක් ට්‍රැවලින් බෑගයක බහා තිබියදී මාර්තු 1 වන දා පොලීසිය විසින් සොයා ගනු ලැබීය.

ඒ අනුව අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වූ එම මළ සිරුර සම්බන්ධයෙන් සහ එය එම ස්ථානයට රැගෙන ආ පුද්ගලයා සම්බන්ධයෙන් වේල්ල වීදිය පොලිසිය ඇතුළු විමර්ශන කණ්ඩායම් කිහිපයක් සීසීටීවී දර්ශන ඔස්සේ  පුළුල් මෙහෙයුමක් දියත් කළහ.

එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරු බුත්තල පොලිසියේ සේවය කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බව තහවුරු කරගැනීමට විමර්ශන කණ්ඩායම් සමත් වු අතර, ඊයේ පස්වරුවේ ඔහු පදිංචිව සිටි බඩල්කුඹුර වෙහෙරගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු පිටත් කර යවනු ලැබීය.

එම අවස්ථාවේදී නිවසේ සිටි සැකකාර පොලිස් නිලධාරීයා අසල පිහිටි රබර් වත්තට පැන ගොස් තිබේ.

ඔහුගේ බිරිඳ ද ඔහු පසුපස දිවගොස් ඇතත්, එම පුද්ගලයා තම බිරිඳට පවසා ඇත්තේ තමුන් පසුපස නොපැමිණ නිවසට වී සිටින ලෙසය.

අනතුරුව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායම් දෙකක් ඔහු පිළිබඳව සොයා බැලීමට එම ප්‍රදේශයට යවන ලද අතර සැකකාර නිලධාරියා අසල රබර් වත්තේ ගසක ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි අද (03) අලුයම ප්‍රදේශවාසියකු මාර්ගයෙන් ඔවුන්ට අනාවරණය වී තිබුණි.

සැකකරු මිය ගොස් සිටි ස්ථානය අසල වස කුප්පියක්ද දක්නට ලැබුණු බව පොලීසිය පැවසීය.

මෙලෙස සියදිවි හානිකරගත් පොලිස් නිලධාරියා අධිකාරී මුදියන්සෙලාගේ ප්‍රේමසිරි නමැති  52 හැවිරිදි තිදරු පියෙකි.

පසුව පොලිසිය ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ඔහු තම බිරිඳට ලියූ ලිපියක් ද සොයා ගත්තේය.

“එස්.අයි අන්කල් , එස්.අයි අන්කල්“ කියමින් තමාට ළං වූ තම එම තරුණිය සමඟ සම්බන්ධයකට යොමු වී සිටි තමාට ඉන් ගැලවීමට නොහැකි වූ බවත්, ඇය ඝාතනය කිරීම සැලසුමකින් තොරව සිදුවූවක් බවත් ඔහු එම ලිපියෙන් පාපොච්චාරණය කර තිබුණි.

ඔහුගේ එම අනියම් සම්බන්ධය හේතුවෙන් බිරිඳ සමග අවස්ථා ගණනාවකදී ම ගැටුම් ඇති කරගෙන තිබූ බව පොලීසිය පවසයි.

දින කිහිපයක් නිවසින් බැහැරව සිටි අදාළ පොලිස් නිලධාරියා මාර්තු පළමු වැනිදා රාත්‍රියේ යළි නිවසට පැමිණ ඇති අතර ඔහු ඊයේ පෙරවරුවේ බුත්තල පොලීසියට ගොස් පොලිස් ඉතිරි කිරීමේ අංශයෙන් ණය මුදලක් ලබා ගැනීමට පොරමයක්ද පුරවා ස්ථානාධිපතිවරයාට ලබා දී තිබුණි.

ඔහු විසින් ඝාතනය කර ඇත්තේ කුරුවිට, තෙප්පාගම, බඩෝගම පදිංචි 30 හැවිරිදි දිලිනි යසෝධා ජයසූරිය නම් තරුණියක් බව පොලීසිය අනාවරණය කරගත්තේය.

ඇයගේ සොයුරා ප්‍රාදේශීය දේශපාලනඥයෙක් වන අතර ඇය පසුගියදා නිවසින් පිටවගොස් ඇත්තේ සිරිපා වන්දනාවේ යන බවට පවසමිනි.

ඒ අනුව මියගිය තරුණියගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා ඇයගේ ඥාතීන් අද වේල්ල වීදිය පොලීසියට කැඳවා තිබුණි.

පසුව පොලිස් මෘත ශරීරාගාරයේදී ඔවුන් මියගිය තරුණියගේ දේහය හඳුනා ගත්තේය.

මේ අතර පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වී තිබේ.

අදාළ පොලිස් නිලධාරීයා පසුගිය 27 වනදා  බුත්තල පොලිසියෙන් නිවාඩු ලබා පැමිණ එදින රාත්‍රී 10.00ට පමණ එම තරුණිය සමග පහළ හංවැල්ලේ පිහිටි ලැගුම්හලකට පැමිණ ඇති බව පොලීසිය පැවසුවේය.

එම හෝටලයේ නතර වී සිටින අතරතුර ඔහු මියගිය තරුණිය සමග තුන් වතාවක් ඉන් පිටතට ගොස් ඇති අතර අවසන් වරට ඔහු ලැගුම්හලෙන් පිටව ගොස් ඇත්තේ මාර්තු පළමු වැනිදා උදෑසන 10ට පමණය.

ඊට පෙර ඔහු හංවැල්ල නගරයට ගොස් විශාල ට්‍රැවලින් බෑගයක් සහ පිහියක් මිලදී ගෙන ඇති අතර එම අවස්ථා
සීසීටීවී කැමරා කිහිපයක සටහන්ව තිබුණි.

පසුව ඔහු ලැගුම්හලට ගොස් ඝාතනය කළ තරුණියගේ සිරුර ට්‍රැවලින් බෑගයෙහි බහා ත්‍රිරෝද රථයකින් බස් නැවතුම්පළ වෙත පැමිණ තිබේ.‍

හිස රහිත මළ සිරුර පිළිබඳ පුවත ප්‍රචාරය වීමෙන් පසු සැකකරු ඊයේ එම ලැගුම්හලට දුරකථන ඇමතුමක් ලබාදී තිබේ.

ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද දිනයේදී අදාළ ලැගුම්හලේ කාමරය පරීක්ෂා කළේය.

ඝාතනය සිදුකළ පසු සැකකරු ලැගුම්හලේ තමා සිටි කාමරය සම්පූර්ණයෙන් පිරිසුදු කර ඇති බව පොලීසිය පැවසීය.

එහිදී භාවිතා කළ රසායනික ද්‍රව්‍යවලින් පසුව ලේ බිංදු කිහිපයක් දක්නට ලැබුණු බව “අද දෙරණ“ වාර්තාකරු සඳහන් කළේය.

අවිස්සාවේල්ල වැඩබලන මහෙස්ත්‍රාත්වරිය ද පැමිණ අදාළ කාමරය පරීක්ෂා කර තිබේ.

කොළඹ මධ්‍යම කොට්ඨාස භාර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නිශාන්ත චන්ද්‍රසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පවසා සිටියේ මෙවැන්නකි.

“මියගිය කාන්තාවගේ සහෝදරයා ගෙනල්ලා දේහය හඳුනාගැනීම කළා. නමුත් ජෛව විද්‍යාත්මකව හඳුනාගැනීම් කිරීමට දේහයෙන් හා මවගෙන්, හඳුනාගැනීමට පැමිණි සහෝදරයාගෙන් DNA සාම්පල අරගෙන තහවුරු කිරීමක් කරන්න ඕනේ පශ්චාත් මරණ පරීක්ෂණයට ප්‍රථමව. ඊට පස්සේ අපිට පුළුවන් පශ්චාත් මරණ පරීක්ෂණය කරලා මේ පිළිබඳ තවදුරටත් කරුණු අනාවරණය කර ගැනීමට. වෛද්‍යවරු තීරණය කරලා තියෙනවා ලිංගික අපරාධයක් සිදුවෙලා නෑ කියන එක සම්බන්ධව. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් වැඩිදුරටත් කරුණු අනාවරණය කරගන්න පුළුවන්. “

මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසා සිටියේ, මේ වන තෙක් ඝාතනය වු තරුණියගේ හිස පිළිබඳ තොරතුරු අනාවරණය වී නොමැති බවය.

“බොහෝ දුරට සැකකරනවා සැකකරු කරේ එල්ලාගෙන යන එකේ හිස සහිතව රැගෙන ගියාද කියන සැකය තියෙනවා. ඒ ඔස්සේ පරීක්ෂණ කරනවා.“


Like it? Share with your friends!

2 shares

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
1
Wow
Sad Sad
3
Sad
Angry Angry
7
Angry

Comments