කොවිඩ් ආසාදිත මව නිවුන් දරුවන් බිහි කරයි




කොවිඩ් ආසාදිත වයස අවුරුදු 23ක මවක් මුල්ලේරියා රෝහලේදී නිවුන් දරුවන් බිහිකර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ හුදෙකලා කර ඇති ප්‍රදේශයක සිට කොළඹ ද සොයිසා කාන්තා රෝහලට ඇතුළත් කළ මෙම මවට කොවිඩ් වයිරසය අාසාදනය වීම හේතුවෙන් මුල්ලේරියාව රෝහලට මාරුකර යවා ඇත.‍

ඇය දියවැඩියාවෙන් සහ අධිරුධිර පීඩනයෙන් පෙළුණ බැවින් සිසේරියන් සැත්කමක් මගින් දරුවන් බිහිකළ බව රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ සඳහන් කළේය.

මෙම දරුවන් දෙදෙනා අඩුබරකින් උපත ලැබීම හේතුවෙන් නොමේරූ ළදරු ඒකකයක රැඳවිය යුතු නමුත් මුල්ලේරියා රෝහලේ නොමේරු ළදරු ඒකකයක් නොමැති වීමෙන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වූ බව විශේෂඥ වෛද්‍යවරයා කියයි.

රෝහලේ විශේෂිත ස්ථානයක රඳවා අඩුබර දරුවන් දෙදෙනා රැකබලාගත් අතර කාසල් වීදීයේ කාන්තා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය සමන්කුමාර ප්‍රමුඛ කණ්ඩායමක් පැමිණ ළදරුවන්ගේ ශරීර සෞඛ්‍ය ගැන සොයා බැලූ බව ද වෛද්‍ය මයුරමාන සඳහන් කරයි.

මේ වන විට නිවුන් දරුවන් දෙදෙනා මවට බාරදී ඇති අතර දරුවන්ගේ බර සම්පූර්ණ වන තෙක් තවදුරටත් රෝහලේ රඳවාගැනීමට සිදුවන බවද පැවැසේ.

මුල්ලේරියාව රෝහලට නොමේරු ළදරු ඒකකයක් ලබා දෙන මෙන් වසරක පමණ කාලයක් පුරා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කළද මේ වන තෙක් එයට නිසි විසඳුමක් නොලැබුණු බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.

ඉතාමත් අවම පහසුකම් යටතේ වුව කොවිඩ් ආසාදිත ගර්භණී මව්වරුන්‌ රැකබලාගැනීමටත් අවශ්‍ය වුවහොත් දරු ප්‍රසූතිය මෙම රෝහලේම සිදුකිරීමට ඉඩලබා දීමටත් කටයුතු කරන බව වෛද්‍ය මයුරමාන වැඩිදුරටත් පවසයි.

මේ වන විට කොවිඩ් ආසාදිත මව්වරුන් 170ක්ම රෝහලේ ප්‍රතිකාර ලබා ඇත. ඉන් මව්වරුන් 11 දෙනකුට සිසේරියන් සැත්කම් සිදුකර තිබේ.

ශ්‍රියානි විජේසිංහ


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments