කොරෝනා රැලි පිටිපස්සේ ඇත්තටම කවුද ඉන්නේ




අපේ රටට නැවත වරක් කොරෝනා ආවේ ගුවන්තොටුපළෙන්

මෙරට තුළ යටපත් වී තිබුණු කොරෝනා නැවත වරක් මතුවුණේ කොතැනින්ද ?, ඒ කොහොමද ?.  මේ ගැන අපි කවුරුත් දන්න ප්‍රසිද්ධ කතාව වෙන්නේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් කොරෝනා මතුවුණු බවයි. ඒත්, ඒ මතය ඒ විදියටම පිළිගන්න නොහැකි පැහැදිලි සාධක තියෙනවා. හෝටලයක නමක් ඈඳුණු ඒ ඇත්ත ගැන කතාකරන්න බොහෝ දෙනෙකු බයයි.

යුද හමුදාපතිවරයා පහුගියදා කිව්වේ ලංකාවට නැවත වරක් කොරෝනා ආවේ විදේශයකින් කියලා. මේ ගැන රාජ්‍ය බුද්ධි අංශය හොයාගත්තු කරුණු වලින් සනාථ වුණේ ගුවන්තොටුපළෙන් කොරෝනා ආපු බවයි.

බ්‍රැන්ඩික්ස් ආයතනය මුදල් ගෙවලා විශාඛා පට්නම් වල තියෙන බ්‍රැන්ඩික්ස් ශාඛාවේ සේවය කළ පිරිසෙන් 48 දෙනෙකු ලංකාවට ගෙන්වා ගන්නවා. ඒ සැප්තැම්බර් 22 වැනිදා. මේ පිරිස යූ.එල්. 1160 දරණ ගුවන්යානයෙන් එන්නේ මත්තල ගුවන්තොටුපළටයි.

යුද හමුදාවේ අධීක්ෂණය යටතේ මොවුන් කොස්ගොඩ ෂෙරටන් හෝටලයේ නිරෝධායනයට යොමු කෙරෙනවා. ඒ නිරෝධායනය වෙන දින දාහතර ඉවර වෙන්නෙත් ඔක්තෝබර් 6 වැනිදාටයි. ඊට පස්සේ නිවසේ ඉඳන් තවත් දින 14 ක කාලයක් ඔවුන්ව නිරෝධායනයට යොමු කෙරෙනවා. මේක අවසන් වෙන්න තිබුණේ ඔක්තෝබර් 20 වැනිදා.

එහෙම තත්ත්වයක් තුළ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරපු කාන්තාවකට කොවිඩ් බව දැනගන්නේ ඔක්තෝබර් 3 වැනිදා. වෛද්‍ය වාර්තා වලට අනුව මේ කාන්තාවට උණ වැළඳී තිබුණේ සැප්තැම්බර් 28 වැනිදා. ඒවගේම වෛද්‍ය පරීක්ෂණ මගින් පැහැදිලිව ඔප්පු වෙනවා මේ කාන්තාව බ්‍රැන්ඩික්ස් තුළින් හමුවුණු පළමු ආසාදිත කාන්තාව නෙමෙයි කියලා.

කොවිඩ් යළි පැතිරුණේ හෝටලේ වැරැද්ද නිසයි

බුද්ධි අංශ වාර්තා පැහැදිලිව සඳහන් කරන්නේ මේ කාන්තාවට කොවිඩ් පොසිටිව් වීම හා විශාඛා පට්නම් ඉඳන් ආව පිරිසත් සමග කිසිදු සම්බන්ධයක් නැහැ කියලා. එහෙනම් ඇය කොවිඩ් ආසාදිතයෙකු බවට පත්වුණේ කොහොමද ?.

තුර්කියේ ඉඳන් කටුනායක ගුවන්තොටුපළට ආව යුක්රේන් ගුවන් කාර්ය මණ්ඩලයේ 8 දෙනෙක් සැප්තැම්බර් 11 වැනිදා සීදූව රමාඩා හෝටලයේ නවාතැන් ගන්නවා. ඒ කියන්නේ දින 14 ක ස්වයං නිරෝධායනයට යොමු කෙරෙනවා. සැප්තැම්බර් 13 වැනිදා වෙද්දී මේ අතරින් එක් අයෙකු කොවිඩ් පොසිටිව් බව වාර්තා වෙනවා. නිරෝධායන මධ්‍යස්ථාන වලින් පමණක් රෝගීන් වාර්තා වී බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා නොවුණු පසුබිමකයි මේ රෝගියා වාර්තා වෙන්නේ.

සංචාරක මණ්ඩලයේ මාර්ගෝපදේශ මත රමාඩා හෝටලේ කාර්යමණ්ඩලය සැප්තැම්බර් 5 වැනිදා පී.සී.ආර් පරීක්ෂාවකට ලක්වෙනවා. හෝටලයේ ලැගුම්ගත්තු විදේශිකයෙකුට කොවිඩ් පොසිටිව් බව වාර්තාවීමත් එක්ක සැප්තැම්බර් 23 වැනිදා රමාඩා කාර්යමණ්ඩලය පී.සී.ආර් පරීක්ෂණ වලට යොමු කෙරෙනවා. ඔක්තෝබර් 9 වැනිදාත් කාර්මණ්ඩලයේ පිරිසක් පී.සී.ආර් පරීක්ෂාවට ලක්වෙනවා. ඔක්තෝබර් 12 වෙනිදා වෙද්දී තහවුරු වෙන්නේ රමාඩා හෝටල් කාර්යමණ්ඩලයේ 5 දෙනෙකුට කොවිඩ් වැළඳිලා තියෙන බවයි.

කාර්යමණ්ඩලය වගේ රටම අනතුරේ හෙලුවේ කවුද ?

ඒවගේම යුක්රේන ජාතිකයා කොවිඩ් ආසාදිතයෙකු බව වාර්තා වෙද්දීත් රමාඩා කාර්යමණ්ඩලයේ සේවකයන්ගෙන් දහඅට දෙනෙක්ම දිනපතා නිවෙස්වල ඉඳන් සේවයට වාර්තා කරන තත්ත්වයක් පැවතුණා. එතකොට නොසැලකිලිමත් ලෙස කටයුතු කළේ කවුද ?. සමාජයට රෝගය ගෙනියන්න රුකුල් දුන්නේ කවුද ? කියන වගත් බ්‍රැන්ඩික්ස් ආයතනය නිකරුණේ චෝදනා ලබන බවත් පැහැදිලියි.

විශේෂයෙන්ම, රමාඩා හෝටලයේ ලොන්ඩරිය භාර සේවකයා දිනපතා හලාවත ඉඳන් සේවයට ආ ගිය කෙනෙක්. ඒවගේම ස්ටුවට්වරයෙක් දිනපතා උස්වැටකෙයියාව ඉඳන් ඇවිත් තියෙනවා. රෝගය පිටතට පැතිර ගියේ මේ දෙන්නාගෙන් බව විශ්වාස කරනවා. සීදූව රමාඩා හෝටලයේ ඉඳපු යුක්රේන් ගුවන් කාර්ය මණ්ඩලයෙන් රෝගය පැතිරුණු බව 80 % ක්ම විශ්වාස කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියනවා.

බුද්ධි අංශ සකස් කරපු වාර්තාවේ දක්වලා තියෙන්නේ, හෝටලයකට නිරෝධායනය සඳහා කණ්ඩායමක් රැගෙන ආ විටදී හෝටල් කාර්ය මණ්ඩලයත් දින දාහතරම හෝටලයේ සිටිය යුතුයි කියලා. නමුත්, රමාඩා කාර්යමණ්ඩලයේ 18 දෙනෙකු ගෙවල්වල ගිහිං. මෙතැනින් පොසිටිව් වුණ පස් දෙනාගෙන්, තුන් දෙනකුම සැප්තැම්බර් 11, 12, 13 හෝටලයේ වැඩ කරපු අය. මොවුන්ගේ වෛරස් අගය 29ත් 31ත් අතර තිබ්බා. මීට කලින් අපේ කොවිඩ් පොකුරුවල ​වෛරස් අගය තිබුණේ 15ත් 18ත් අතර. විදේශයකින් ආව නිසා තමයි මේ අගයන් වැඩිවුණේ.

තවත් සුවිශේෂී කාරණයක් මෙහිදී හෙළිවෙනවා. ඒ රමාඩා හෝටලෙන් හමුවුණු රෝගීන්ගේ වෛරස් ධාරිතාව හා බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවෙන් හමුවුණු රෝගීන්ගේ වෛරස් ප්‍රමාණය සමාන බව. රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න කාලයක් ගතවීම මේ කොවිඩ් පොකුර සැගවී තියෙන්න තවත් හේතුවක් වුණා.

මේ වෙද්දී සිදුකර තියෙන විමර්ශන වලින් සැක පහළ කරන්නේ බ්‍රැන්ඩික්ස් සේවිකාවන්ට සැප්තැම්බර් 16 වෙද්දී වත් රෝගය ආසාදනය වී තිබුණු බවයි. සැප්තැම්බර් 29 වෙද්දී බ්‍රැන්ඩික්ස් වලින් වාර්තා වුණු පළමු රෝගියාට රෝග ලක්ෂණ පෙන්නුවත් ඊට කලින් කොවිඩ් වැළඳුණු පිරිස සිටි බව විමර්ශන යුද හමුදාපතිවරයාත් තහවුරු කරනවා.

බ්‍රැන්ඩික්ස් කාර්යමණ්ඩලය දිනපතා වැඩබිමේදී පරීක්ෂාවට ලක්කළත් රෝගය ආසාදනය වුණත් එය නොපෙන්වා තිබෙන පසුබිමක රෝගීන් මුලින් හසුනොවුණු බවත් පැහැදිලියි. තමන්ගේ කාර්යමණ්ඩලය නිසි ලෙස හසුරුවා ගන්න තිබුණු අසමත්කම නිසා එකපාර දැවැන්ත කොරෝනා රැල්ලක් බිහිවෙන්න රුකුල් දුන්නු හෝටල් පරිපාලනය අද මුනිවත රකිනවා.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
1
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments