කොරෝනා එන්නත හැම රටකටම ලැබේවිද?




කොවිඩ් වසංගතයෙන් ගොඩ එන්නේ කවදාදැයි ලෝකයම බලා සිටිය දී මේ වන විට යම් යම් සුබදායක ආරංචිද ඇසෙන්නට පටන් ගෙන තිබීම සතුටට කාරණයකි. කොරෝනා වයිරසයට එරෙහිව සාර්ථකව සටන් කිරීමට හැකි එන්නත් කිහිපයක් පිළිබඳව පළවන තොරතුරු ඒ අතරින් ප්‍රධානය. ඇමරිකාවේ ෆයිසර් සමාගම සහ ජර්මනියේ බයෝඑන්ටෙක් සමාගම එක්ව අත්හදා බලන එන්නත සහ ඇමෙරිකාවේ මොඩර්නා සමාගම අත්හදා බලන එන්නත මේ අතරින් කැපී පෙනේ. ඒවා සියයට 95ක සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබේ. ඒ අතර බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා නමැති ඖෂධ සමාගම එක්ව අත්හදාබලන එන්නතද මේ වන විට සියයට 70ක සාර්ථකත්වයක් පෙන්වා ඇත. එම තත්ත්වය සියයට 90ක් දක්වා වැඩි දියුණු කළ හැකි බවද සඳහන් වේ.

එන්නත් පිළිබඳව මේ ආකාරයෙන් සුබ ආරංචි පළ වෙද්දී තවත් බරපතළ ගැටලුවක් සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්වවල අවධානය යොමු වෙමින් තිබේ. එනම්, මෙම එන්නත්වල ප්‍රතිඵල භුක්ති විඳීමට ලෝකයේ දිළිඳු සහ මැදි ආදායම් ලබන රටවල ජනයාට වාසනාවක් හිමි වේවිද යන්නයි. බිලියන 8කට ආසන්න ජනගහනයක් ජීවත් වන ලෝකයෙහි මෙම එන්නත් සඳහා මේ වන විටත් දැවැන්ත ඉල්ලුමක් පවතින බව රහසක් නොවේ. නමුත් එන්නතෙහි සැපයුම මුල් වසරවල අතිශයින් සීමිත වනු ඇත. මෙයට අදාළව ප්‍රකාශයක් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් තෙද්‍රොස් ගෙබ්‍රයේසස් පසුගිය දා සඳහන් කර තිබුණේ මුලින්ම නිපදවෙන එන්නත් මාත්‍රා සියල්ල ධනවත් රටවල් මිල දී ගතහොත් දිළිඳු රටවලට හිස් අතින් බලා සිටින්නට සිදුවනු ඇති බවයි.

ඉහත කී ෆයිසර් සමාගම මෙම වසර තුළ නිපදවීමට බලාපොරොත්තු වන්නේ මාත්‍රා මිලියන 50ක් පමණි. 2021 වසරේ බිලියන 1.3ක් නිපදවන බව ඔවුන් පවසා තිබේ. නමුත් එක් පුද්ගලයකු වෙනුවෙන් මෙම එන්නතෙහි මාත්‍රා දෙකක් ලබා දිය යුතු වේ. මේ නිසා මෙම මාත්‍රා සංඛ්‍යාව ප්‍රමාණවත් වන්නේ දළ වශයෙන් පුද්ගලයන් මිලියන 675ක් වැනි සංඛ්‍යාවකට පමණි. එන්නත්වල සැපයුම මොන තරම් සීමිතද යන්න මේ අනුව වටහා ගැනීම කිසිසේත් අපහසු නොවේ.

මුලින් නිපදවෙන එන්නත් තොග ඉක්මනින් ලබා ගැනීම සඳහා ඇතැම් රටවල් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. එන්නත් සඳහා පර්යේෂණ කෙරෙමින් සහ ඒවා අත්හදා බැලෙමින් ඇති කාලයේම සමහර රටවල් ඒවා සඳහා අත්තිකාරම් ගෙවති. පර් යේෂණ කරන ආයතන එම මුදල්ද තම පර් යේෂණ සහ අත්හදා බැලීම් සඳහා භාවිතා කරයි. එම එන්නත් සාර්ථක වූ විට කලින්ම සහ වැඩියෙන්ම අත්තිකාරම් ගෙවූ රටවලට ඒවා මුලින් ලබා දීමට නිෂ්පාදන සමාගම්වලට සිදු වේ. බොහෝ විට මෙම වරප්‍රසාදය හිමි කර ගන්නේ විශාල වශයෙන් අත්තිකාරම් ගෙවීමට හැකියාව ඇති ධනවත් රටවල්ය. මේ අතර, ඖෂධ නිෂ්පාදනය කිරීමට කර්මාන්තශාලා වැනි පහසුකම් ඇති රටවල් අර සාර්ථකව අත්හදා බැලෙන එන්නත් තම රටවල් තුළද නිපදවීම සඳහා ගිවිසුම්වලට එළඹෙති. ඒ අනුව එසේ නිපදවන එන්නත් තොගවලින් විශාල කොටසක් තම රටවලම ජනතාව වෙනුවෙන් භාවිත කිරීමේ අවස්ථාව ඔවුහු උදා කර ගනිති. මෙම අවස්ථාව හිමි වන්නේද ඉහළ ආදායම් සහ මැදි ආදායම් ලබන රටවලට බව අමුතුවෙන් කිව යුතු නැත.

එන්නත් පිළිබඳ පර් යේෂණ කරන ආයතන ඒවා අත්හදා බලන අවස්ථාවේ දී මෙම අත්හදා බැලීම් සඳහා තම රටවල ජනතාව යොදා ගැනීමට තවත් රටවල් ඉඩ දෙති. බ්‍රසීලය වැනි රටවල් මෙවැනි පියවරක් ගත් බව රහසක් නොවේ. මෙම එකඟතාව නිසා එම එන්නත් සාර්ථක වූ විට ඒවායේ මුල් තොග තම රටවලට ලබා ගැනීමට දෙවනුව කී රටවලට අවස්ථාව උදා වෙයි. නමුත් අත්හදා බැලීම් සඳහා තම රටවල ජනයා ලබා දීම ද සෑම රටකටම කළ හැකි දෙයක් නොවේ. මේ ආකාරයෙන් එන්නත්වල මුල් තොග, සීමිත රටවල් සංඛ්‍යාවක් අතර බෙදී ගිය විට ඉතිරි රටවලට අත්වන ඉරණම කුමක්ද? මෙය මේ වන විට උණුසුම් සංවාදයකට බඳුන්ව ඇති කාරණාවක් වී තිබේ.

මේ වන විටත් එන්නත් තොග වැඩිම ප්‍රමාණයක් මිල දී ගෙන ඇති පාර්ශ්ව ලෙස සඳහන් වන්නේ ඇමරිකාව, යුරෝපා සංගමය, ඉන්දියාව, බ්‍රිතාන්‍යය, කැනඩාව වැනි ඒවායි. එන්නත් බෙදා හැරෙන ආකාරය සම්බන්ධයෙන් පවතින ඉහත කී විෂමතාව පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ පවසා තිබිණි. ‘යම් යම් රටවල නායකයන්ට මුලින්ම තමුන්ගේ රටවල ජනතාව ආරක්‍ෂා කිරීමට සිදු වීම තේරුම් ගැනීමට අපහසු කාරණයක් නොවේ. ඔවුන් මුලින්ම තම වැසියන්ට වගකිව යුතුයි තමයි. නමුත් මෙවැනි ගෝලීය වසංගතයක් සඳහා සාමූහික ප්‍රතිචාරයක්ද අවශ්‍යයි. ගෝලීයකරණයට ලක් වූ ලෝකයක, ඉතාම දරුණු ආකාරයෙන් පැතිරෙන වයිරසයක් හමුවේ සෑම රටක්ම එක සේ සුරක්‍ෂිත වන තුරු කිසිදු රටක් සුරක්‍ෂිත නොවන බවත් අමතක නොකළ යුතුයි’. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම අදහස කිසිසේත් බැහැර කළ නොහැකිය.

ඖෂධ බෙදාහැරීමේ ක්‍රියාවලිය තුළ දක්නට ඇති මෙවැනි විෂමතා අලුත් කාරණයක් නොවේ. සාමාන්‍ය පිළිගැනීම වන්නේ ලෝකයේ නිෂ්පාදනය කරන ඖෂධවලින් සියයට 90ක්ම ලැබෙන්නේ ලෝක ජනගහනයෙන් සියයට 10කට පමණක් බවයි. මෙය කවදත් දක්නට ලැබුණු තත්ත්වයක් බව විශේෂඥයෝ පෙන්වා දෙති. කෙසේ නමුත් මේ වන විට ලොවටම දැවැන්ත තර්ජනයක් එල්ල කරමින් සිටින කොරෝනා වයිරසය හමුවේ මෙම විෂමතාව මේ ආකාරයෙන්ම පවතින්නට ඉඩ දිය හැකිද යන්න ගැන දැඩි අවධානයක් යොමු වන්නේ රටවල් සුළු ප්‍රමාණයක පමණක් එය තුරන් කිරීමෙන් කිසිසේත් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගත නොහැකි බැවිනි.

කෙසේ හෝ වේවා, මෙම විෂමතාවන් ජය ගැනීම සඳහා මේ වන විටත් යම් යම් ක්‍රියාමාර්ග ගැනෙමින් ඇති බවද සඳහන් කළ යුතු වේ. ලෝකයේ සියලු රටවලට සාධාරණ ආකාරයෙන් එන්නත් බෙදාහැරීමේ අරමුණ සාක්‍ෂාත් කර ගැනීම සඳහා පිහිටුවා ඇති කොවැක්ස් (Covax) වැඩසටහන මෙහි දී ප්‍රධාන තැනක් ගනියි. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයද ඇතුළු පාර්ශ්ව කිහිපයක් එක්ව ක්‍රියාත්මක කරන වැඩසටහනකි. මෙම වැඩසටහන සමග එක්වන රටවල ජනගහනයෙන් සියයට 20ක් සඳහා එන්නත් මාත්‍රා සැපයීම මෙහි අරමුණයි. කෙසේ වෙතත් මෙහිදී ප්‍රමූඛත්වය ලැබෙන්නේ සෞඛ්‍ය සේවකයන්, වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන්, විවිධ නිදන්ගත රෝග ආදිය නිසා වැඩි තර්ජනයක් සහිත පුද්ගලයන් වැනි අයටයි.

මේ වන විටත් රටවල් 186ක් පමණ මේ හා එක්ව සිටින බව සඳහන් වේ. ශ්‍රී ලංකාවද මෙම වැඩසටහන සමග අත්වැල් බැඳගෙන සිටියි. තනි තනිව කොවිඩ් එන්නත් මිල දී ගැනීමට හැකියාවක් නැති රටවලට සාමූහික ප්‍රයත්නයක් තුළින් අරමුදල් සපයා දීමක් මෙහි දී සිදු වේ. දිළිඳුම රටවල් 92 ක් සඳහා කොවිඩ් එන්නත් සපයා දීමට අවශ්‍ය වන ඇමෙරිකානු ඩොලර් බිලියන 2කට ආසන්න අරමුදල් මේ වන විටත් සපයාගෙන ඇති බව කොවැක්ස් වැඩසටහනේ මූලිකත්වය ගෙන සිටින පාර්ශ්ව සඳහන් කරයි. නමුත් 2021 වසරේ දී අවම වශයෙන් තවත් ඩොලර් බිලියන 5ක්වත් අවශ්‍ය වනු ඇති බව ඔවුන්ගේ අදහසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වන තෙද්‍රෝස් ගෙබ්‍රයේසස් පසුගිය දිනෙක පවසා තිබුණේ කොවිඩ් වසංගතය නිසා ඇති වූ දැවැන්ත අන්ධකාරය කෙළවර යම් ආලෝකයක් මතුවෙමින් ඇති බවයි. ඔහු මෙම ප්‍රකාශය කළේ කොවිඩ් එන්නත් පිළිබඳ බලාපොරොත්තු ඉහළ යාමට පටන් ගැනීමත් සමගය. නමුත් ඔහු කියන මෙම ආලෝකය ලොව පුරා එක සේ පැතිරෙනු ඇත්තේ එම එන්නත්වල ප්‍රයෝජනය ලෝකයේ සියලු රටවලට එක ලෙස භුක්ති විඳීමට හැකි වුවහොත් පමණක් බවද මෙහි දී අමතක කළ හැකි නොවේ.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments