ස්පාඤ්ඤ උණ රැළි තුනක් ඔස්සේ ව්‍යාප්ත වුණු බව ඔබ දැන සිටියාද ?




කොරෝනා වැනි දරුණු ගණයේ වසංගත තත්ත්වයන් ලෝක ඉතිහාසය තුළ මීට පෙර සිදුවී තිබෙනවා. ඒ 20 වැනි සියවසේ මුල් භාගයේ ව්‍යාප්ත වූ ඉන්ෆ්ලුවෙන්සා වසංගතයේ බිහිසුණු අවස්ථාවක් වූ ස්පාඤ්ඤ උණ යි.

1918 වසරේ වසන්ත සමයේදී ආරම්භ වූ මෙහි පළමු රැල්ල ඇමරිකාව හා යුරෝපය පුරා පැතිර ගියා. නමුත් 1914දී ඇරඹුණු පළමු ලෝක යුද්ධය, 1918දී අවසාන වීමත් සමග, ජනතාව සෞඛ්‍ය පුරුදු අමතක කර වීදි සැණකෙළි පවත්වන්නට පෙළඹෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මාස තුනෙන් අවසාන කරගන්න තිබුණු ස්පාඤ්ඤ උණ, වසර දෙකක කාලයක් දික්වෙනවා. ලොවපුරා මිලියන 500 ක පමණ ජනතාවට මෙම වෛරසය වැළඳුණු අතර ඉන් මියගිය පිරිස මිලියන 20 – 50 පමණ වෙන බවට ගණන් බලා තියෙනවා.

මේ සංඛ්‍යාව සලකා බැලුවොත් පළමු ලෝක යුද සංග්‍රාමයේදී මියගිය සෙබළුන් හා සිවිල් ජනතාවගේ එකතුව ද ඉක්මවා යනවා. ඒ අනුව, ඉතා සුළු හානියකින් වළක්වාගන්න තිබුණු ස්පාඤ්ඤ උණ, ලෝක යුධ ජයග්‍රහණ සැමරුම් නිසා අවසාන වෙන්නේ ලෝක යුද්ධයටත් වඩා ජීවිත ගණනක් බිලි ගනිමින්.

ස්පාඤ්ඤ උණ රැළි තුනක් ඔස්සේ ව්‍යාප්ත වුණු බව අද කොරෝනා රැලි ගැන කතාකරන අපිට අමතකයි. මේ ගැන සිදුකළ පර්යේෂණ වලින් අනාවරණය වූවේ ස්පාඤ්ඤය තුළ උණ පැතිරීමට ප්‍රධාන හේතුවක් වූවේ සැන් ඉසිඩ්‍රෝ සැණකෙළිය බවයි. ස්පාඤ්ඤ උණ දෙවැනි රැල්ල පැතිරයන්නේ 1918 සරත් සමයේදීය. 1919 මුල් මාස කීපයේදී මෙහි තෙවැනි රැල්ල පැතිරයනවා.

මෙහි පළමු රැල්ලේදී මාරාන්තික බවක් දක්නට ලැබෙන්නේ නැහැ. අධික උණ ගතිය දින තුනක කාලයක් පුරා පැවති බව එකල පැවති සෞඛ්‍ය දත්ත තුළ පෙන්වාදී තිබෙනවා. 1918 අගෝස්තු මස වනවිට වෛරසය ක්‍රම ක්‍රමයෙන් පැතිරෙන්න ගන්නවා. මේ කාලයේදී වෛරසය ශරීරගත වුණු නිරෝගී තරුණයෙකු හෝ තරුණියකගේ ජීවිතය පැය විසිහතරක් තුළ අවසන් කරන්නට තරම් ප්‍රබලත්වයක් එහි තිබුණා.

උණ, නිව්මෝනියාව හා පෙණහලු වල හටගත් අපහසුතා මේ මරණ වලට හේතුවුණා. පළමු ලෝක යුද්ධ කාලයේදී සෙබළුන් විශාල පිරිසක් යුද පෙරමුණේදී එකිනෙකාට සමීපව සිටීම ස්පාඤ්ඤ උණ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන්න හේතුවක් වුණා. කොරන්ටයින් වීමට පැවති දැඩි අපහසුතාවත් මේ මරණවලට හේතුවුණා.

ස්පාඤ්ඤ උණෙන් බලපෑමට ලක්වුණු හැම රටකම පාහේ ප්‍රධානනගරවල මග තොට පාළු වුණා. අද අපි අත්විඳින විදියටම පාසැල්, කඩසාප්පු වසා දැමුණා. ජනතාව නිරෝධායනය වෙද්දි අවමඟුල් උත්සව පවා තහනම් කෙරුණා. හැමදෙනාම නිවසටම වී සිටිය යුතු බව වගේම අද වගේම මුඛ ආවරණ පැළඳිය යුතු බවටත් නියෝග ආවා. තැන තැන කෙළ නොගසන්නැයි පෝස්ටර් ගහන්න පවා ආණ්ඩුවට වුණා.

මාස කීපයක් ගතවුණාට පස්සේ වසංගතය දැන්නම් ඉවරෙටම ඉවරයි කියලා හිතපු ජනතාව වෙනදා වගේම තමන්ගේ වැඩ රාජකාරි වල නිරත වෙන්න ගත්තා, මඟතොට ගැවසෙන්න ගත්තා. ඒ 1918 දෙසැම්බර් මාසයේදීයි. නමුත්, මේ සන්සුන් බව අතරින්ම 1919 ජනවාරි මාසයේදී නැවත වරක් මාරයා මතුවුණා. දෙවැනි වතාව තරම් දරුණු නොවුණත් වසංගත තත්ත්වයකට පස්සේ වැඩි වැඩියෙන් සුපරික්ෂාකාරී නොවුණොත් නැවත නැවතත් වසංගතය මතුවිය හැකි බව මෙමගින් සනාථ වුණා.

මේ වගේ වටපිටාවකදී දැඩි නිරෝධායන ප්‍රතිපත්තියක් ලෝකයේ බොහෝ රටවල අනුගමනය කරන්නට උත්සහ ගත් අතර මහජන ආරක්ෂාව සහතික කරන්න පොලිස් නිලධාරීන්ට වීදිවල මුර සංචාරයේ යෙදෙන්නටත් සිද්ධ වුණා. රෝගය පැතිරී යද්දී නිවෙස්වල සිටියදීත් මුහුණු ආවරණ පළඳින්න උපදෙස් දෙන්න ආණ්ඩු වලට සිද්ධ වුණා. රෝගී වුණු පිරිස් නිවාස තුළම නිරෝධායනය කෙරුණා. විශේෂයෙන්ම, ස්පාඤ්ඤයේ අල්ෆොන්සෝ රජුගේ අභාවයත් සමග දැඩි ප්‍රතිපත්තීන් අනුගමනය කිරීමට එරට රජය තීරණය කරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස තැපෑලෙන් භාණ්ඩ යැවීම හා විදුලි පණිවිඩ සේවාව පවා අත්හිටුවනවා.

මේ ස්පාඤ්ඤ උණ ගැන අපිට කියවන්නට ලැබෙන කතාව වුණත් කොවිඩ් 19 ලංකාව තුළ පැතිරුණු අන්දම ගැන මෙහෙම කතාවක් මතු පරපුරට ලියා තියන්න කලින් අපිට දෙවරක් සිතා බලන්න වෙනවා.

කලින් කිව්ව ස්පාඤ්ඤ උණ වගේම අද ලංකාවේ අහුමුළු අතරින් මතුවෙන කොවිඩ් 19 පැතිරෙන්න රුකුල් දුන්නේ බලධාරීන්ද ? නැත්නම් ජනතාවද ?. මේ වසංගතය ගැන බලධාරීන්ට වගකීමක් පැවරී තිබෙන බව සැබෑ යි. නමුත්, ආණ්ඩුවකට කළ හැක්කේ උපදේශ, දැනුවත් කිරීම් ලබාදෙමින් කොවිඩ් 19 ගැන ජනතාව දැනුම්වත් කිරීමයි. මේ උපදෙස් පිළිනොපදින ජනතාව සමහරවිට මට්ටු කරන්න වෙන්නේ නීති, අණ පනත් පවා යොදාගෙනයි. ඒත්, ජනතාවගේ උරමත පැවරී තිබෙන වගකීම ඊට වඩා වැඩිවෙන්නේ වසංගතය පරාජය කිරීම හෝ ඊට ඉඩදී එක්ව නැසෙනවද ? යන්න තීරණය කරන්නේ ඔවුන් වන බැවිනුයි. බලධාරීන්ටම චෝදනා නොකර තමන්ට රැකෙන්නට පුළුවන් නම් මතු පරපුර වෙනුවෙන් හෙට දවසේ අපේ කතාව මීට වඩා වෙනස් විදියට ලියන්නට හැකියි.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments