අනිත් අය මගෙන් බලාපොරොත්තු වුණේ ශාරීරික වින්දනයක් පමණයි




ඔහු බොහෝ දෙනාගේ ආදරයට පාත්‍රවූ සිනමාවේ සිහින කුමරාය. එදා ගැහැනු ළමයින් ඔහුට ආකර්ෂණය වූයේ ප්‍රේමයටත් වඩා ඔහුගේ පහස විඳගැනීමටය. පාසල් කාලයේ සිටම අනංගයෙක් බවට පත්වූ මේ සිහින කුමරා නමින් කමල් අද්දරආරච්චිය. ප්‍රේමය, ආදරය නිසාම බොහෝ ගල්, මුල් ඔහුට එල්ල වූ වාර අපමණය. ඒත් ඒ සියල්ල විඳගෙන ඔහු ජීවිතයට මුහුණ දුන්නේ ආදරයේ ඇති උත්තරීතර බව පසක් කර දෙමිනි. අද ඔහු හොඳ විවාහ දිවියක් ගෙවන අතර, පුතකුගේ ආදර සෙනෙහස ද ලබමින් සිටී. අප ඔහු සමග “ආදරය, ප්‍රේමය හා විවාහය” යන මාතෘකාව ගැන කතා කරන්න අදහස් කළේ, අනංගයෙක් ලෙස එදා සිටි තත්ත්වයේම අදටත් සිටින නිසාවෙනි. අදටත් ඔහුට ගැහැනු පාර්ශ්වයෙන් ඇති ආකර්ෂණයේ අඩුවක් නැත.

කමල් ඔයාට මුලින්ම ආදරයක් ඇතිවුණේ කොයි කාලයේ ද?
ඒක මොන්ටිසෝරි කාලයේ ඉඳලා ඇතිවූ දෙයක්. අපට ඉගැන්වූ ඒ මොන්ටිසෝරි ටීචර්ට මම හරිම ආදරෙයි. ඇය ළඟට කිට්ටුවෙලා, ඇඟේ දැවටෙන්න පුදුම කැමැත්තක් තිබුණේ. ඒක කාලයත් එක්ක පාසල් ගියාට පස්සේ වෙනස් වුණා. පාසල් කාලයේදී තමයි මුලින්ම ගැහැනු ළමයෙක්ට ආදරය කරන්න පටන් ගත්තේ. ඒ කාලයේ මම අනංගයෙක් වගේ තමයි හිටියේ.

මොකද මම පාසලේදී දක්ෂ, කඩිසර යෞවනයෙක්. පාසලේ වේදිකාවේ ගීත ගයනවා. රඟපානවා. සංගීත කණ්ඩායමක් හදාගෙන ගීත ගැයුවා. විවාද කණ්ඩායමේ නායකයා විදියට කටයුතු කළා. ශිෂ්‍ය නායකයෙක් වුණා. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. ඒ නිසා නිතරම පාසලේදී මම කැපී පෙනුණා. මේ කැපී පෙනීම ගැහැනු ළමයින්ගේ ආකර්ෂණය දිනාගන්න සමත් වුණා. ඒ හින්දා ප්‍රේම සබඳතා හරියට තිබුණා. ඒවා කාලයත් එක්ක නැතිවෙලා ගියා.

ඒ කාලයේදී පාරේදී යාළුවෙන්න අහපු හැටි, දෙන්නත් එක්ක හොරෙන් චිත්‍රපට බලන්න ගිය හැටි අනන්තවත් තිබුණා. මොකද ඒවා දුරදිග ගෙනිච්චේ නෑ. ආදරය කරන කෙනාට වඩා තවත් ලස්සන කෙනෙක් දැක්කාම එයා එක්ක යාළුවෙන්න උත්සාහ කළා. මේ වගේ ගොඩක් ප්‍රේම සබඳතා මට තිබුණා. මටත් කෙල්ලෝ බූට් තිබ්බා. මාත් ඒ වගේම කෙල්ලන්ට බූට් තිබ්බා.

එතකොට රංගන ශිල්පියෙක් වූ පසු නිළියන් ඔයාගේ ආදරය ඉල්ලගෙන එන්න ඇති නේද? ඔයාත් නිළියන්ට ආදරය කළා ද?
රංගන ශිල්පියෙක් වුණාම චරිතත් එක්ක අපේ ආකර්ෂණය ඇතිවෙනවා. “ඉර පායා” ටෙලි නාට්‍යය කරද්දී සමිතා එරන්දතී එක්ක හොඳ හැඟීමක් ඇතිවුණා. මාත් ඇයට සමීප වුණා. එයාටත් එවැනි හැඟීමක් ඇති වෙන්න ඇති.

රමණි බර්තෝලමියුස් චරිතය ඔබේ ජීවිතයට ඉතාම වැදගත් එකක්. කොහොමද රමණිට ආදරයක් ඇති වුණේ?
රමණි එක්ක ඇතිවූ ආදරය විශේෂයි. ඒ කාලයේ රඟපාන්න සෙට් එකට රමණි එන්න ඉස්සෙල්ලා, එතන ටීවී එකේ අය මම මොනවද කරන්නේ කියලා බලාගෙන හිටියා. ඇත්තෙන්ම රමණි දැක්කාම මට ලොකු තිගැස්මක් ඇතිවුණා. ඒ වගේම ලොකු ආකර්ෂණයක් ඇතිවුණා. රමණිට මම ගොඩක් කැමති වුණේ ඇයගේ අහිංසක, නිවුණු පෙනුමට. රාගික පෙනුමක් තිබෙන අයට වඩා මගේ හිත ආකර්ෂණය වුණේ අහිංසක, නිවුණු පෙනුමක් ඇති අයටයි. මොකද ඒ දර්ශනය මගේ හිතට ප්‍රිය දසුනක් වෙන හින්දා.

නිතරම අඟපසඟ පෙන්වන අයට වඩා මගේ ආකර්ෂණය තිබුණේ එවැනි අයටයි. රාගික අය මගෙන් බලාපොරොත්තු වුණේ ශාරීරික වින්දනයක් පමණයි. මට අවශ්‍ය ආදරය ඒ තුළ තිබුණේ නෑ. රමණි දුටුවිට ඇතිවූ තිගැස්ම පස්සේ ආදරයක් බවට පත්වුණා. මම රූගත කරන කාලේදී තමයි ඇයට ආදරය ප්‍රකාශ කළේ. ඒක ආත්මීය බැඳීමක් කියලයි මට සිතුණේ.

ඇය තුළ තිබුණු විශේෂතා මොනවද?
රමණි ඉතාමත් හොඳ ධෛර්යක් තියෙන ඕනෑම තත්ත්වයකට හැඩගැහෙන්න පුළුවන් බොහොම නිහතමානී, අවංක ප්‍රතිපත්තිගරුක කෙනෙක්, මට අසීමිතව ආදරය කළා

ඇය ජීවිතෙන් සමුගත් දවසෙ මොනවගේ හැඟීමක්ද ඇතිවුණේ?
ඒක කියලා වැඩක් නෑ. මුළු ලෝකෙම නැතිවුනා වගේ තමයි හැඟුණෙ. මොකද ලෝකයක් කඩාගෙන වැටුණා. මගෙ ජීවිතේ අරමුණක් නැතිව හිස් බවක් එක්ක කාලයක් යනතුරුම ගෙවුණෙ.

ඔබ මේ ක්ෂේත්‍රයට ආවට පසුව වැඩිපුරම ආදරවන්තිය වුණේ කවුද?
වැඩිපුරම ආදරවන්තිය වුණේ සංගීතා වීරරත්න

ඇය සමග රඟපෑ චිත්‍රපට අතරින් කැමතිම?
අසනි වර්ෂා චිත්‍රපටයට ගොඩක් කැමතියි. වසන්ත ඔබේසේකරගෙ.

එයින් පස්සේ ඔබගේ ආදර හිස්තැන පුරවන්න හරියට කට්ටිය එන්න ඇති නේද?
අපොයි ඔව්. ඒත් මට කිසිම ආදරයක් ඉන් පස්සේ ඇතිවුණේ නෑ. හැමෝම වගේ බැලුවේ වෙනත් ආස්වාදයක් පමණයි. එහිදී මා අතිනුත් එවැනි දේවල් සිද්ධ වෙන්න ඇති. මොකද අපි පෘථග්ජන අයනේ. දෙන්නගේම කැමැත්ත මතයි ඒ දේවල් සිද්ධ වුණේ.

කමල් – සංගීතා කියලා යුගයක් පවා බිහිවුණා නේද?
ඒ යුගය වෙන වෙන නළුවො ඇවිල්ලා කාලා දැම්මනෙ. සංගීතාව මගෙන් ඩැහැගත්තා.

ඇයත් එක්ක රඟපාද්දි ඇයට ආදරයක් ඇතිවෙලා නැද්ද?
මොකද නැත්තෙ, ඇයට කොයිතරම් පිරිසක් ආදරේ කළාද? මම තවමත් ආදරෙයි.

දැන් ඔබගේ බිරිඳ අනුරානිට කොහොමද ආදරයක් ඇතිවුණේ? ඇය බිරිඳ කරගන්න ඔබ සිතුවේ ඇයි?
අනුරානි මට හමුවුණේ මීට අවුරුදු 12කට කලින්. ඇය මුලින් දුටුවාම මට එදා රමණීට ව​ෙග් හැඟීමක් තමයි අනුරානි දැක්කාම ඇතිවුණේ. ඇයගේ මුහුණ දැක්කාම, එයාව කසාද බඳින්න ඕනෑ කියන අදහස මට ඇතිවුණා. හැබැයි ඒ කාලයේ විවාහ වෙන මානසිකත්වයක නොවෙයි මම හිටියේ. අපි දෙන්නට අපල කාලයක් තිබුණා. හැබැයි අපි දෙන්නා පෙම්වතුන් විදිහට ආශ්‍රය කළා. ඒ අපල කාලය ගෙවනතුරු අනුරානිත් කැමති වුණේ නෑ විවාහ වෙන්න. පස්සේ තමයි අපි දෙන්නා විවාහ වුණේ. අද අපිට පුතෙක් ඉන්නවා. පුදුම සතුටකින් විවාහ දිවිය ගෙනියන්නේ.

වර්තමානයේ රංගන ශිල්පිනියො ගත්තම රුව ලස්සන අතින් කැමති අය ඉන්නවද?
රූපය පැත්තෙන් හොඳ පෙනුම තියෙන අය ගොඩක් ඉන්නවා ඒ අතරින් මහේෂි, නදීශා, තාරුකා එයාලට හොඳ පෙනුමක් තියෙනවා.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments