කොවිඩ් ආවේ ඉන්දියාවෙන් නෙමෙයි




ලංකාවේ කොරෝනා යළි හිස ඔසවමින් පවතින මේ මොහොතේ බොහෝදෙනා එහි වගකීම විවිධ පාර්ශ්වයන්ට පැවරීමට උත්සහ කරන ආකාරය අපිට දකින්න පුළුවන්. ඊට හොඳම උදාහරණය බ්‍රැන්ඩික්ස් සමාගමට එල්ලවූ චෝදනාවන්. ඒත්, ඇත්තටම සිද්ධවුණේ මොකක්දැයි කරුණු සොයාබලන්න ඒ චෝදනා එල්ලකරන අයට වුවමනාවක් නැහැ. මේ කියන්න හදන්නේ බ්‍රැන්ඩික්ස් සමාගම මේ සිද්ධියේදී ක්‍රියාකරපු ආකාරය ගැන මාධ්‍ය වලින් ඔබට නොකී කතාව.

ඉන්දියාවේ විශාඛාපට්නම් වල බ්‍රැන්ඩික්ස් සමාගමේ ශාඛාවක් පිහිටලා තියෙනවා. ලංකාවෙන් ගියපු 400 ගාණකට ආසන්න පිරිස මේ ශාඛාවේ සේවයේ යෙදෙනවා. ඉන්දියාව තුළ සීඝ්‍රයෙන් කොවිඩ් 19 පැතිරිලා යද්දී මේ කර්මාන්තශාලාවේ සේවය කරපු ලාංකිකයින් බ්‍රැන්ඩික්ස් කළමනාකාරීත්වයෙන් ඉල්ලා සිටින්නේ තමන්ව ආපහු ලංකාවට ගෙන්වාගන්න ලෙසයි. නන්නාදුනන රටක ලොක්ඩවුන් වෙලා කෑමබීම පවා හිඟවුණු තත්ත්වයක් ඇතුළේ ඔවුන්ට තවදුරටත් ඉන්දියාවේ රැඳී ඉන්න නොහැකි වෙනවා.

බ්‍රැන්ඩික්ස් කළමනාකාරීත්වය මේ වෙලාවේදී තමන්ගේ කාර්යමණ්ඩලයේ පිරිසගේ ජීවිත ගලවාගැනීමේ සටනට උරදෙන්නේ ආයතනයට වන ආර්ථික අලාභය ගැනවත් නොසිතා. ඔවුන් විශාඛාපට්නම් වල සිටි කාර්යමණ්ඩලයේ 341 දෙනෙකු වෙනුවෙන් විශේෂ ගුවන්යානා පිළියෙල කරලා සමාගමේ වියදමින්ව මොවුන්ව මෙරටට ගෙනැවිත් හෝටල්වල කොරන්ටයින් කරනවා. බ්‍රැන්ඩික්ස් කාර්යමණ්ඩලය මුලින්ම ඉන්දියාවේ ඉඳන් රැගෙන එන්නේ ජූනි 25 වැනිදා. ඊට පස්සේ අගෝස්තු 8, සැප්තැම්බර් 22ත් මේ විදියට පිරිස රැගෙන එනවා. ජූලි මාසේදී රැගෙන ආව බ්‍රැන්ඩික්ස් කාර්යමණ්ඩලයේ පිරිසගෙන් 20 ක පමණ පිරිසක් කොවිඩ් පොසිටිව් වුණා. මේ පිරිස අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර සඳහා යොමුකළා. අගෝස්තු මාසයේදී ආව පිරිස අතර සිටි කොවිඩ් පොසිටිව් වුණු කීපදෙනත් මේ විදියට අයි.ඩී.එච් වෙත යොමුකරනවා. අනෙක් පිරිස හෝටල් තුළ කොරන්ටයින් කළා. ඉන්දියාවේ ඉඳන් අවසන් වරට බ්‍රැන්ඩික්ස් කාර්යමණ්ඩලය අරගෙන සැප්තැම්බර් මාසයේදී ගුවන්යානයක් පැමිණියත් මේ තුළ කොවිඩ් පොසිටිව් කිසිවෙකු හිටියේ නැතත් ඔවුන්ව කොරන්ටයින් කරනවා. එතකොට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කාර්යමණ්ඩලයට කොරෝනා ආසාදිත වුණා කියන කතාව මතුවෙන්නේ කොතැනින්ද ?.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලට එල්ල වුණු චෝදනා හමුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සමාගම කියන්නේ, විශාඛාපට්නම් වල ඉඳන් කිසිදු ඉන්දීය ජාතිකයෙකු නොපැමිණි බවත් මිනුවන්ගොඩ කර්මාන්තශාලාවට කිසිදු ඉන්දීය ජාතිකයෙකු නොපැමිණි බවත්ය. ඒවගේම උණ රෝගය වැළඳී තිබියදී සේවයට පැමිණෙන ලෙස කිසිදු සේවකයෙකුට ආයතනයේ බලධාරීන් බල නොකරපු බවත් එවැන්නක් සිදුවූවා නම් ඒ ගැන සොයාබැලීමට විශේෂ කමිටුවක් පත්කරපු බවත් මෙම නිවේදනයේ දක්වා තිබෙනවා.

ඉන්දියාවේ ඉඳන් ආව බ්‍රැන්ඩික්ස් කාර්යමණ්ඩලයේ පිරිස නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරපු මොහොතක, පළමුවරට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කරපු කාන්තාවක් කොවිඩ් පොසිටිව් බව හඳුනගන්නේ ඔක්තෝබර් 3 වැනිදා. ඇගේ රෝග ලක්ෂණ පහළ වෙලා තියෙන්නේ සැප්තැම්බර් 21 වැනිදා. නමුත්, ඉන්දියාවෙන් මුලින්ම ආපු කාර්යමණ්ඩලයේ පිරිස සැප්තැම්බර් 22 වැනිදා වෙනකල් හිටියේ කොස්ගොඩ හා වාද්දුව ප්‍රදේශවල නිරෝධායනය වෙලා. එතකොට මිනුවන්ගොඩ පොකුරේ පළමු ආසාදිත කාන්තාවට රෝග ලක්ෂණ මතුවෙන දවස වෙනකොටත් ඒ කියන්නේ සැප්තැම්බර් 21 වෙනකොටත් ඉන්දියාවෙන් පැමිණි සියළුම කාර්යමණ්ඩලය හිටියේ නිරෝධායනය වෙමින්. එහෙමනම් මිනුවන්ගොඩ පොකුරේ ආරම්භය ඉන්දියාව නෙවෙයි කියන්න තවත් සාක්ෂි වුවමනාද ?. සාමාන්‍යයෙන්, ඉන්දියාවෙන් පැමිණි පිරිස රටපුරා පිහිටි බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලා සඳහා යෙදෙව්වා නම් මිනුවන්ගොඩ කර්මාන්තශාලාවෙන් පමණක් පොසිටිව් කෙනෙක් ඉස්මතුවෙන්න මාසයක කාලයක් ගතවෙනවද ?. ඒ විතරක් නෙමෙයි, බ්‍රැන්ඩික්ස් සමාගමට අයත් කර්මාන්තශාලා 27 ක් ලංකාව පුරා තියෙනවා. ඉන්දියාවෙන් ආපු පිරිස නිරෝධායනය නොකර මේ කම්හල් වලට වැඩට දැම්මාය කියා කියන චෝදනාව  ඇත්තමයි කියා මොහොතකට හිතමු. එතකොට, ඉන්දියාවෙන් ආපු සේවක පිරිස රට පුරා කර්මාන්තශාලා 27 ක වැඩට ගියා නම්, කම්හල් 26ක් හොඳින් තියෙන්නත්, මිනුවන්ගොඩින් පමණක් රෝගීන් හමුවන්නෙත් කොහොමද ?.

මේ සියලුම කරුණු විමසා බලද්දී පැහැදිලි වෙන්නේ මාස කීපයක් යටපත් වෙලා තිබුණු කොරෝනා වසංගත තත්ත්වය මිනුවන්ගොඩින් මතුවෙද්දී මේක බ්‍රැන්ඩික්ස් සමාගමෙන් මතුවූවක් යැයි කියලා කොහොමටවත් හිත හදාගන්න බැහැ.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments