කොරෝනාවට බය වුණොත් ප්‍රතිශක්තිය අඩුවෙනවා




කොරෝනා මර්ධනය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව මාධ්‍යය තුළත් සමාජය තුළත් නිතර කතාබහට ලක්වේ. එහෙත් කොරෝනා නිසා ජනතාව තුළ ඇතිවන මානසික අවපීඩනය පිළිබඳ ඒ තරම් අවධානයට ලක්ව නැත. බොහෝ දෙනා ජීවත්වනුයේ ‘මටත් කොරෝනා හැදෙයිද’ යන අනියත බියකිනි.

එය පුද්ගල මානසික සෞඛ්‍ය පිරිහීමට සෘජුවම බලපෑම් කර ඇත. පසුගිය සති කීපය තුළ වාර්තාවූ සියදිවි නසාගැනීම්වලින් හෙලිවූයේ ඒ මානසික පීඩනයේ තරමය. කොවිඩ් වැලඳුනත්, නොවැලඳුනත් කොරෝනා නිසා ඇතිවන මානසික අවපීඩනයන් ජීවිත කාලය පුරාවට බලපෑම් කළ හැකිය. ඉන් ඇතිවන සෘණාත්මක බලපෑම් රටේ ඉදිරි ගමනට බාධාවකි. එනිසා කොවිඩ් 19 සහ මානසික සෞඛ්‍ය ශක්තිමත් විය යුත්තේ ඇයි? ඒ පිළිබඳ අවධානය යොමුවිය යුත්තේ ඇයිද? යන්න පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කොළඹ ජාතික රෝහලේ මනෝවිද්‍යා උපදේශක වෛද්‍ය මහේෂ් රාජසූරිය සමග කළ සංවාදයයි මේ.

කොරෝනා නිසා ඇතිවන මානසික පීඩාවන් උදෙසා උපදේශනය ලබාගන්න මොන වගේ පෙළඹීමක්ද ජනතාව තුළ තියෙන්නෙ…?

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය හඳුන්වා දුන් අංක දෙකෙන් 1926 අංකයට බොහෝ ඇමැතුම් එනව. ඒ එන ඇමැතුම් සියල්ල කොවිඩ් සම්බන්ධයෙන්ද කියන්න බැරි එහි උපදේශන සේවා පවත්වාගෙන යන්නෙ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය නිසා. ඒ වගේම මම පෞද්ගලිකවත් එවැනි උපදේශන සේවාවක් පවත්වගෙන යනව. බාහිර සමාජය දිහා බැලීමේදි මිනිස්සු කොවිඩ් සම්බන්ධයෙන් මානසික අවපීඩනයට ලක්ව ඇති බව බොහොම පැහැදිලියි. නමුත් ඒවාට සාපේක්ෂව මනෝ උපදේශන ලබාගැනීමට ජනතාවගෙ තියෙන උනන්දුවේ යම් ඌනතාවක් තියෙනව.

ඇයි එහෙමවෙලා තියෙන්නෙ…?

මිනිස්සු කොවිඩ් නිසා ඇතිවුණ මානසික ගැටලු තව කෙනෙක් එක්ක කතා කරන්න මැළිකමක් දක්වනව. යම් මානසික අවුලක් ආවත් ඒ මොහොතට සිතෙන දේ කරනව මිසක් ඒ වෙනුවෙන් නිවැරැදි උපදේශනයක් ගන්න උනන්දුවක් දක්වන්නෙ නෑ. ඒ නිසා නොගැළපෙන දේ කිරීමට බොහෝදෙනා පෙලඹෙනව.

මනෝවිද්‍යා උපදේශකයක් විදිහට ඔබට මොනවගේ අත්දැකීම් ද තියෙන්නෙ කොවිඩ් නිසා ජනතාව පෙළෙන මානසික ගැටලු සම්බන්ධව…

මම පෞද්ගලික සම්බන්ධවෙලා ඉන්න ආයතනයක් තමයි මනෝ විද්‍යාත්මක ඇගයීම් හා ප්‍රතිකාර ආයතනය. 0707345000 තමයි අප සේවාවන් ලබාදෙන දුරකථන අංකය. ඒ අංකයට එන ඇමැතුම් පිළිබඳ අපි සතියකට වරක් එකතුවී කතා කරනව. ලොක්ඩවුන් කාලයෙ ආපු ඇමතුම් තමයි ඇතැම් අයට කන්න බොන්න මුදල් නෑ. අවශ්‍ය තැනකට යන්න බෑ වගේ ප්‍රායෝගික විසඳුම් තියෙන ඇමැතුම්. ඊළඟට ලොක්ඩවුන් කාලයට පවුලෙ සාමාජිකයක් සියලුදෙනාම එකට කොටුවෙනව. එතනදී පවුලේ යම් සාමාජිකයෙක්ගෙ හැසිරීම අහිතකර ලෙස මුළු පවුලටම බලපානව. උදාහරණයකට පවුලෙ ඉන්නව පුතෙක් සාමාන්‍යයෙන් ඔහු හරි සැර පරුෂයි. ඔහු ගෙදර නිතර කලකෝලාහල කරනව. ලොක්ඩවුන් කාලයෙ නිතරම ඔහු නිවසේ රැඳෙන නිසා ඔහුගෙ කලහකාරී බව වැඩිවෙනව. ඒක තදින්ම පවුලෙ අනෙක් සාමාජිකයන්ට දැනෙන්න පටන්ගෙන ප්‍රශ්න ඇතිවුණ අවස්ථා තිබුණ. ඊළඟට සැමියා-බිරිඳ අතර තියෙන ප්‍රශ්න වැඩිවුණු අවස්ථා තිබුණ.

මානසික අවපීඩනය ගැන කතා කරන ඒවත් තියෙනව. ඒ හැරෙන්න ‘මට කොවිඩ් හැදෙයිද කියල බයයි’, හැදුණොත් මම මැරෙයිද?’ වගේ ඇමැතුම් එන්නෙ නැතිතරම්. නමුත් එළියෙ බැලුවාම එහෙම ගැටලුවක් තියෙන බව බොහොම පැහැදිලියි.

කොවිඩ් නිසා තමන් මානසික පීඩාවකට ලක්වෙලා, ඒ සඳහා මනෝ උපදේශනයක් ලබාගත යුතුය යන අවබෝධය නැති නිසාද මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නෙ…?

කොරෝනා නිසා ඇති වී තියෙන මේ තත්ත්වය අලුත් නිසා කාටවත් හිතෙන්නෙ නෑ මම කාගෙන් හරි උපදෙසක් ලබාගන්න ඕන කියල. කොරෝනා නිසා නෙමෙයි වෙනත් මානසික ප්‍රශ්න නිසා සියදිවි නසාගන්න හිතෙන අය මනෝ උපදේශනයන් ලබාගන්න එනව. ඒත් කොවිඩ් හින්දා ඇතිවන මානසික අවුල් සහ ඒ සඳහා උදව් ඉල්ලන්න ඕන කියන එක සමාජගතවෙලා නෑ. ඒක මදිකමක්, ඒ නිසා සමාජයෙන් කොන්වෙන්නවෙයි, කොවිඩ්වලට කාගෙන්වත් උදව්වක් ඉල්ලන්න ඕන නෑ වගේ මානසික තත්ත්වයන් ජනතාව තුළ තියෙනවද කියන ගැටලුව තියෙනව. ඒ නිසා ප්‍රශ්නය තව වැඩිවෙලා තියෙනව.

කොහොම වුණත් මේ වෙද්දි කොවිඩ් නිසා ජනතාව තුන් බියකට පත්වෙලා. කොවිඩ් හැදිල මං මැරෙයි, හුස්ම ගන්න බැරිව අමාරුවෙයි වගේ බය එක බයක්. මරණ බය එක අතකට සාධාරණයි. හැබැයි අපි පාර පනිද්දි වාහනයක හැපිල මැරෙන්න පුළුවන්. ඩෙංගු හැදුණොත් කොඩිඩ් හැදුණට වඩා වැඩි සම්භාවිතාවක් තියෙනව මැරෙන්න. දෙවනි බය තමයි අපේ සමීපමතයන්ට කොවිඩ් හැදෙයි කියන බය. අම්මට හැදිල ඒකෙන් අම්ම මියගියොත් අඩුම තරමෙ අම්මව බලන්නවත් වෙන්නෙ නෑ. ඒවගේ බයවල්. තුන්වැනි බය තමයි ප්‍රතිකාර නිසා එන බය. ඒ කියන්නෙ පී.සී.ආර්. එක කරගන්න බයයි, ඒක පොසිටිව් වෙනවට බයයි, පොසිටිව් වුණාම කොහේ එක්කන් යයිද, පවුලෙ හැමෝම පොසිටිව් වුණොත් කොහේ කොහේ යන්න වෙයිද වගේ බය. මේ වගේ බය තුනකින් ජනතාව පෙළෙනව.

නමුත් අපි තුළ තිබිය යුත්තේ කොරෝනා සමාජය තුළ පැතිරෙයිද කියන බය නේද?

පැහැදිලිවම. හැබැයි දැන් වෙලා තියෙන්නෙ කොරෝනාවලට අනියත බියක් ඇතිකර ගැනීම. අපි මීට වඩා බයවෙන්න ඕන ඩෙංගු රෝගයට. ඒ වගේම දුම්පානය කරන අය 50%ක් අකාලයෙ මැරෙනව. ඒත් කොරෝනා නිසා මියයන සම්භාවිතාව 0.24% යි. මේ රෝගයට ලෝකයම අනවශ්‍ය විදිහට බයවෙලා. අපි ඇත්තටම බය වෙන්න ඕන දෙයක් තියෙනව. ඒ තමයි රෝගය ඕනවට වඩා වැඩි වේගයෙන් ව්‍යාප්තවීම ගැන. ඒක තේරෙන භාෂාවෙන් කියනව නම් ‘හෝගාල ලෙඩේ පැතිරෙන්න ගත්තොත් හෝගාල මිනිස්සු මැරෙන්න පටන් ගන්නව’. කවුරු කොහොම විවේචනය කළත් තාම රෝගය ලංකාවෙ තදින් පැතිරිලා නෑ. එහෙම තියෙද්දි අපට දවසකට මරණ හතරක් පහක් වාර්තා වෙනව. හැබැයි ලංකාවෙත් ඇමරිකාවෙ වගේ කොවිඩ් පැතිරෙන්න ගත්තොත්, කී දෙනෙක් දවසකට මැරෙයිද? මොකද ගොඩක් රෝගීන්ට ප්‍රතිකාර කරන්න තරම් අපේ රෝහල්වල ධාරිතාව ප්‍රමාණවත් නෑ. තාම එහෙම තත්ත්වයක් නෑ තමයි. එවැනි තත්ත්වයක් අපේ රටේ ඇතිවුණොත් ඒ ගැනයි අපි බය වෙන්න ඕන.

කොරෝනා රෝගය නිසා නිවසේදීම මියගිය රෝගීන් ගැන වාර්තා වුණා. එවැනි මරණ ඇතිවෙන්නට රෝගය පිළිබඳ මානසිකව ඇතිකරගෙන තියෙන අනියත බිය, පීඩාව හේතුවෙලා තියෙනවද?

ඒ මරණ ගැන නිසියාකාරයෙන් තොරතුරු සොයාබැලීමකින් තොරව නිශ්චිතව එහෙම කියන්න බෑ. නමුත් එවැනි දේ සිදුවීමට හේතු වශයෙන් උපකල්පනය කළ හැකි කරුණුවලදී එක් කරුණක් විදිහට රෝග ලක්ෂණ ගැන නිසි අවබෝධයක් නැතිවීම ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම ඉහතින් සඳහන් කළ තුන්වැනි බය, ඒ කියන්නෙ මාව කොහෙ ගෙනියයිද දන්නෙ නෑ, වටේ පිටේ අය මා ගැන මොනව කියයිද දන්නෙ නෑ, රූපවාහිනී කැමරා උස්සගෙන මාව රූපවාහිනියෙ පෙන්නයිද දන්නෙ නෑ කියන බයට කොවිඩ් වුණත් සද්ද නැතිව ඉන්නව කියන මානසිකත්වය බලපානව. මොකද මට බොහෝ අය කිව්ව දෙයක් තමයි අපේ ගේ ටී.වී. එකේ පෙන්නයිද කියන බය තියෙන බව. අනෙක තමයි ලෙඩේට තියෙන බය වැඩිවුණාමත් ඒකට උත්තර හොයන්න නැතිව ඉන්න බලනව.

පුද්ගලයෙක්ගෙ මානසික බිඳවැටීම් කොහොමද කොරෝනා හමුවේ බලපෑම් කරන්නෙ…

මානසික සෞඛ්‍ය කෙළින්ම සම්බන්ධයි ශරීරයෙ ප්‍රතිශක්ති පද්ධතියත් එක්ක. උදාහරණයකට පියයුරු පිළිකාවක් යැයි සැකයෙන් ඒ වෙනුවෙන් පරීක්ෂණ සිදුකරන කාන්තාවන්ගේ ප්‍රතිශක්තිය පිළිබඳ කළ පරීක්ෂණයකින් පැහැදිලි වෙලා තියෙනව ඒ අයගෙ ප්‍රතිශක්තිය අඩුවෙලා තියෙන බව. අවසානයෙදි ඇයට පිළිකාවක් නෑ කියල තහවුරු වුණත් ඒ ප්‍රතිශක්තිය නැවත ගොඩනැගෙන්නෙ නැති බවත් සොයාගෙන තියෙනව. එහෙම ප්‍රතිශක්තිය අඩුවෙන්න හේතුවෙන්නෙ රෝගය සම්බන්ධයෙන් ඇතිවන මානසික අවපීඩනය. අපි දකිනව බොහෝ විශ්වවිද්‍යාල සහ පාසල් ළමුන්ට විභාග ළංවෙද්දි කැස්ස, හෙම්බිරිස්සාව හැදෙනව. ඒ මානසික අවපීඩනය වැඩිවෙන නිසා. ඒ නිසා අනවශ්‍ය බියවල් සිතෙහි ඇතිකරගෙන දඟලනව නම් අවසානයෙදි වෙන්නෙ ඇත්තටම මැරෙන්න. ඒ නිසා කොරෝනාවලට බියෙන් මානසික බිඳවැටීම ශරීර ප්‍රතිශක්තිය අඩුවීමට බලපානව. ඒක මේ රෝගයටත් ඉතා අහිතකර තත්ත්වයක්.

කොරෝනා නිසා බයවෙලා මානසික අසහනයට පත්වන අයට දිය හැකි උපදෙස් මොනවාද?

පළමුවෙන්ම ‘කොවිඩ්’, ‘පීසීආර්’, ‘නිරෝධායනය’ කියන වචනවලට තියෙන බය අතහරින්න ඕන. ඒ වචන අපි එදිනෙදා පාව්චිචි කරද්දි බොහොම සැහැල්ලුවෙන් පාවිච්චි කරන්න ඕන. සමාජය ඇතුළෙ පවුල ඇතුළෙ ඉන්නකොට ඒ වචන ‘කුණුහරප’ විදිහට හිතල පාවිච්චි නොකර ඉන්න හොඳ නෑ. එහෙම වුණොත් ‘කොවිඩ්’ කියන වචනෙ කියන්නත් අපි බය වෙනව. ‘පීසීආර්’ කියන වචනෙ ඇහෙද්දිත් බයවෙනව. “පීසීආර් කරන්න වුණොත් අපි ඔක්කොම පෝලිමට යං” වගේ විහිළුවෙන් ඒව ගැන කතාකරන්න. ඒකෙන් කියන්නෙ නෑ මේ රෝගය විහිළුවට ගන්න කියන එක.

දෙවැනි කාරණය ඇත්තටම ඔබට පීසීඅාර් කරන්න වුණොත්, ඔබට රෝහල්ගත වෙන්න වුණොත් ඒකට ලෑස්ති වෙන්න. ඔබේ අහල ගම් හතකවත් කොවිඩ් රෝගියෙක් නැතිවෙන්න පුළුවන්. එහෙම වුණා කියන්නෙ ඔබ කොවිඩ්වලින් ආරක්ෂිතයි කියන සහතිකය නෙමේ. කවුද හිතුවෙ මාළු වෙළෙඳසලෙන් කොවිඩ් රට පුරා බෝවෙයි කියල. ඒ නිසා ‘මට හැදුණොත්?’ කියල හිතල, ඒ වෙනුවෙන් යම් මුදලක් වෙන්කරල තියල, ඔබේ ජංගම දුරකථනයෙ බිල ගෙවල, නැන්තම් ඒකට අවශ්‍ය රීලෝඩ් දාගන්න පුළුවන් ක්‍රමයක් හදල, ඔබත් එක්ක වයසක අම්ම කෙනෙක් ඉන්නව නම් ඇය කොහෙද තියන්නෙ, සුරතල් සතුන්ට මොකද කරන්නෙ වගේ දේවල් ගැන කලින්ම සැලසුම් කරල තියන්න. මේ දේවල්වලට පුළුවන් විදිහට සූදානම්වීම ඉතාම වැදගත්. එහෙම ඉඳල කොවිඩ් හැදුණොත් ඒ වෙලාවට එන විදිහට ඒකට මුණ දෙන්න. ලෙඩේ හැදෙන්න ඉස්සරවෙලා ඒකෙන් වෙන්න පුළුවන් දේවල් ගැන හිතන්න එපා.

කොරෝනා සම්බන්ධයෙන් අනියත බියක් සමාජය තුළ ඇතිවෙලා තියෙන්නෙ ඇයි?

එතනදි අපි හැමෝම කරන වැරැද්දක් තමයි මේක ‘මාරාන්තික රෝගයක්’ කියල හැඳින්වීම. මේක මාරාන්තික රෝගයක් නෙමේ. පිස්සුබලු රෝගය මාරාන්තික රෝගයක්. ඒ රෝගයෙන් මියයාමේ සම්භාවිතාව සීයට සීයයි. කොරෝනා මාරාන්තික රෝගයක් කියන බිය සමාජය තුළ ඇතිවෙන්න මාධ්‍යයෙනුත් යම් වරදක් කරල තියෙනව. ඒ තමයි කොරෝනා සම්බන්ධයෙන් යම් ප්‍රවෘත්තියක් ප්‍රකාශ කරද්දි ‘මාරාන්තික’ කියන වචනය ඉදිරියට දාල කතා කිරීම. උදාහරණයක් කිව්වොත් ‘මාරාන්තික කොරෝනා රෝගයෙන් පීඩා විඳින අයට රුපියල් 5000ක් පිරිනැමේ’. මේකෙන් වාර්තා කරන්න යන්නෙ රුපියල් 5000 දෙන එක වුණත් ‘මාරාන්තික’ කියන වචනයත් එක්ක මිනිස්සු තුළ රෝගය ගැන අනියත බියක් ඇතිවෙනව. ඒ නිසා නිවැරැදිව මාධ්‍යය තුළ සහ සමාජයේ වචන භාවිත කිරීම වැදගත්.

කොරෝනා රෝගය සම්බන්ධයෙන් ඕනවට වඩා දැනුවත්වීමට යාමත් මානසිකව යම් පුද්ගලයෙක්ව අවපීඩනයට පත්කරන හේතුවක් බව පැවැසෙනව…

කොවිඩ් කියන්නෙ ගංවතුර වැඩිවෙනව වගේ පැයෙන් පැය වැඩිවෙන එකක් නෙමෙයිනෙ. ඒ නිසා දවසකට පැය භාගයක් හෝ පැයක් වැනි කාලයක් කොවිඩ් ගැන දැනගන්න වෙන්කර ගැනීම ප්‍රමාණවත්. ඒ වගේම විශ්වාසවන්ත මූලාශ්‍රයකින් ඒ තොරතුරු දැන ගැනීමටත් පරෙස්සම් වියයුතුයි.

කොරෝනා රෝගය නිසා වැඩිපුරම මානසික පීඩාවන්ට පත්වුණු කොටසක් තමයි මේ රෝගයෙන් අවදානම් කාණ්ඩයේ පසුවෙනවා යැයි පැවැසෙන වයස්ගත පිරිස සහ නිදන්ගත රෝග ඇති අය. එවැනි අයගෙ මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමට මොන වගේ දේවල්ද කළ හැක්කේ…?

පළමු එක බෞද්ධයෙක් හැටියට මට කියන්න තියෙන්නෙ ජාති, ජරා, මරණ ගැන අපි දන්නව. ඒ නිසා ලෙඩවලට, මරණයට අපි හැමදාම සූදානම්වෙලා ඉන්න ඕන කියන එක. තරුණ වයසෙදිත් ලෙඩ හැදිල මැරෙන්න පුළුවන්, වයසට ගිහින් මැරෙන්නත් පුළුවන්. කවදාවත් නොමැරී ඉන්න ක්‍රමයක් නෑ. කොවිඩ්වලට මහා බයකින් ඉඳල බෙල්ලෙ වැලදා ගැනීම විකාරරූපී දෙයක්. කොවිඩ් කියන්නෙ මැරෙන්න තියෙන හේතු 10000කින් එකක්. වයසට යන්න යන්න මරණය අපට ටික ටික ළංවෙනව. ඒ නිසා කොවිඩ් ඇතිව හෝ නැතිව මැරෙන්න හිත හදාගන්න වෙනව ඒක අමාරුවුණත්. අපේ මරණය වෙන්න කොහොමද කියල දන්නෙ නෑනෙ. ඒ නිසා ඒක ගැන හිත හිතා හැමදාම මැරෙනවට වඩා හොඳයි මැරෙන දවසට ඒකට මුහුණ දෙන එක.

අනෙක් කාරණාව වයසක අයෙක්ට කොවිඩ් හැදුණයි කියල හිතමු. ලෙඩ තියෙන කෙනකුට හැදුණයි කියල හිතමු. ඒත් මැරෙන්න තියෙන ඉඩකඩ ඉතා අඩුයි. ඒ අයගෙනුත් සුවවුණ පිරිස වැඩියි. මම හිතන්නෙ කොවිඩ් හැදිල සුවවුණ වයසක අයගෙ දත්තත් රජය විසින් ප්‍රසිද්ධ කළ යුතුයි. එතකොට ඒ ගැන තියෙන අනියත බියත් නැතිවෙයි. වයසයි කියල, ලෙඩ තිබුණ කියල කොවිඩ් මාරාන්තික වෙන්නෙ නෑ හැමවිටම. නමුත් ඒ අය විශේෂයෙන් පරිස්සම් විය යුතුයි.

සංවාදය – ලක්මාල් බෝගහවත්ත


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments