ලොක්ඩවුන් කිරීමත් සමඟ පිරිමි ගෘහස්ථ හිංසනය ඉහළට




කොවිඩ් 19 පාලනය වෙනුවෙන් නැවතත් රට ක්‍රමයෙන් වසා දමමින් පවතී. බහුතර ජනයා සංචරණ සීමා මත නිවෙස් තුළට වී කල් ගත කිරීමට යත්න දරති. සංචරණය සීමා කිරීම කොවිඩ් 19 පාලනයෙහිලා ප්‍රගතිශීලී උපායමාර්ගයක් බව සැබෑය. නමුත් ඒ ආශ්‍රිතව ගොඩනැගෙන්නා වූ සමාජමය ප්‍රතිවිපාකයන් වෙත සමාජයක් ලෙස ධනාත්මක අවධානයක් යොමු කරනවාදැයි ගැටලු සහගත ය.

සමාජයට අලුත් මාතෘකාවක් නොවේ

එනිසා එකී සියලු ගැටලු එක මිටකට ගෙන සාකච්ඡා කිරීම නොව ඉන් මූලික එක් ගැටලුවක් වෙත වඩාත් විද්‍යාත්මක කෝණයකින් සම්මුඛ වීම වැදගත්ය. ගෝලීය දත්තයන් පිරික්සීමේ දී මිනිසුන් නිවෙස් තුළ හුදකලා වීම මත ගොඩනැගෙන්නා වූ මූලික ඍණාත්මක ප්‍රතිවිපාකයක් ලෙස ගෘහස්ථ හිංසනය හඳුනාගත හැක. ගෘහස්ථ හිසංසනය සමාජයට අලුත් මාතෘකාවක් නොවුණත් කොවිඩ් 19 වසංගතයත් සමග ම ආසාදිතයන් සංඛ්‍යාවට සාපේක්ෂවම ගෘහස්ථ හිංසනයට ලක්වන්නන්ගේ ප්‍රමාණය ද වර්ධනය වීම සිදු විය. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවැනි තත්ත්වයන් හඳුන්වනු ලබන්නේ “සෙවණැලි වසංගත“ තත්ත්වයන් ලෙසය. නැවතත් ලාංකීය සමාජය මෙන්ම ලෝකය ද මීට මාස කිහිපයකට තිබූ තත්ත්වයට ම ගමන් කරමින් සිටිය දී ගෘහස්ථ හිංසන තත්ත්වයන් ද වැඩි වශයෙන් බලාපොරොත්තු වීම සහ ඊට නියමිත වැළැක්වීමේ උපක්‍රම සමාජගත කිරීමේ කාලය එලඹෙමින් තිබේ.

ගැටලුව වෙත අවධානය යොමු කිරීමට පෙර ගෘහස්ථ හිංසනය යන සංකල්පය සරලව වටහාගෙන සිටීම වැදගත් ය. සමීප සහකරුවෙකු මත බලය පවත්වා ගැනීම සහ පාලනය පවත්වා ගැනීමට භාවිත කරනු ලබන ඕනෑම හැසිරීම් රටාවක් (විශේෂයෙන් ම පීඩාකාරී වන්නා වූ) ගෘහස්ථ හිංසනය ලෙස සරලව අර්ථ ගැන්විය හැක. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ගෘහස්ථ හිංසනයේ ආකාර කිහිපයකි.

1. ශාරීරික හිංසනය – (පහරදීම්, වද හිංසා සිදු කිරීම් වැනි)

2. ලිංගික හිංසනය – (බලහත්කාර සංසර්ගයන්, ලිංගික හිංසනයන් වැනි)

3. මානසික හිංසනය – (අනවශ්‍ය පීඩාකාරී පාලනය, තර්ජනය කිරීම්, නින්දා කිරීම් වැනි)

4. ආර්ථිකමය හිංසනය – (මුදල් සම්භන්ධ අනවශ්‍ය පීඩාකාරී පාලනයන්, මුදල් වියදම් කීරීම් දැඩි ලෙස අවම කිරීම් වැනි)

ගෘහස්ථ හිංසනය ඕනෑම වයසක, ඕනෑම ලිංගභේදයක, ඕනෑම ජනවර්ගයක කෙනෙකු අත්විඳිය හැකි තත්ත්වයකි. සරල අර්ථයෙන් ගතහොත් ගෘහස්ථ හිංසනය සිදු වන්නේ පුද්ගලයෙකු ශාරීරිකව, ලිංගිකව හෝ චිත්තවේගීමය හිංසනය තුළින් සිය සහකරු පාලනය කිරීමට නිරන්තරයෙන් අරමුණු කරගත් විට ය. සම්බන්ධතාවයන් එකිනෙකට වෙනස් වුව ද, ගෘහස්ථ හිංසනය සාමාන්‍යයෙන් අසමාන බල ගතිකයක් මත ගොඩ නැගෙන අතර එහි දී එක් සහකරුවෙකු අනෙකාව සිය පාලනයට නතු කරගැනීමට පීඩාකාරී උත්සාහන් සිදු කරනු ලබයි.

වසංගත හමුවේ ගෘහස්ථ හිංසනය

වසංගත හෝ ව්‍යසනකාරී කාලසීමාවක් සහ ගෘහස්ථ හිංසනය යන සංකල්පයන් අතර පවතින්නේ කුමනාකාරයේ සම්බන්ධතාවක් ද? පර්‌යේෂණ දත්තයන් විමර්ශනයේ දී පෙනී යන මූලිකම තත්ත්වය වන්නේ ව්‍යසනකාරී වාතාවරණයකට අදාළ සමාජයක් තුළ ගෘහස්ථ හිංසන සිදුවීම්වල සාපේක්ෂ වර්ධනයක් හඳුනාගත හැකි බවයි. නිදසුන් ලෙස 2005 දී හයිටියේ ඇති වූ භූමි කම්පාව, එම වර්ෂයයේ ම ඇති වූ කත්‍රිනා සුළිකුණාටුව, 2004 දී ආසියාකරය මුහුණදුන් සුනාමි වැනි ව්‍යසනකාරී අවස්ථාවන්වල ගෘහස්ථ හිංසන සිදුවීම් සාපේක්ෂව වර්ධනය වූ බව ආචාර්ය ඩෙබ්රා පාර්කින්සන් වැනි විද්වතුන්ගේ පර්‌යේෂණ දත්තයන් සනාථ කරනු ලබයි. මීට අමතරව මෑත කාලීන වසංගත තත්ත්වයන් නිර්මාණය කළ ඉබෝලා වැනි වයිරස ව්‍යාප්ති කාල සීමාවන් තුළ ද ගෘහස්ථ හිංසන සිදුවීම් ඉහළ අගයක් ගත් බවට සාරා ඊ. හේව්ස් සිදුකළ පර්‌යේෂණයන් තහවුරු කරනු ලබයි.

නූතන කොවිඩ් 19 කාලසීමාව තුළ ගෘහස්ථ හිංසන සිදුවීම් දෙස අවධානය යොමු කිරීමේ දී ගෝලීය හෝ ලාංකීය සමාජ දත්තයන් ඉහතින් දැක්වූ අතීත දත්තයන්ගෙන් වෙනස් නොවන බව කනගාටුවෙන් හෝ කිව යුතුය. පෙරදිග, අපරදිග භේදයකින් තොරව සංචරණ සීමා ආශ්‍රයේ ගෘහස්ථ හිංසන සිදුවීම් වර්ධනය වීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙමින් තිබේ. නිදසුනක් ලෙස එක්සත් ජනපදයේ රෙෆියුජ් ආයතන දත්තයන්ට අනුව කොවිඩ් 19 කාල සීමාව තුළ ගෘහස්ථ හිංසන සිදුවීම් මත එම ආයතනයට ලැබෙන පැමිණිලි 25%කින් වර්ධනය වී ඇත. ගෘහස්ථ හිංසනයේ බහුතර වින්දිතයන් බවට පත් වන්නේ කාන්තාවන් සහ ළමුන් වුවත්, කොවිඩ් 19 කාල සීමාව තුළ එම ආයතනයට ගෘහස්ථ හිංසන සිදුවීම් සම්බන්ධයෙන් පිරිමින් විසින් කරනු ලබන පැමිණිලි 16%කින් ඉහළ ගොස් තිබේ. ඉන්දීය ජාතික කාන්තා කොමිසමේ දත්තයන්ට අනුව මාර්තු 23 – අප්‍රේල් 06 කාල සීමාව තුළ ගෘහස්ථ හිංසන පැමිණිලි 587 ක් ලැබී තිබූ අතර එය පෙර දින 25 ට සාපේක්ෂව 45%ක වර්ධනයකි.

ගෝලීය ප්‍රවණතාවට හැඩගැසෙමින්

ශ්‍රී ලාංකීය සමාජ දත්තයන් ද ගෝලීය ප්‍රවණතාවටම හැඩ ගැසෙමින් තිබේ. ශ්‍රී ලංකා ජාතික කාන්තා කමිටුවේ දත්තයන්ට අනුව අප්‍රේල් මස හිංසනයන් සම්බන්ධ සිදුවීම් 460 ක් වාර්තා වී තිබූ අතර ඉන් 156 ක් පවුල් ආරවුල් හා සම්බන්ධව තිබූ අතර 111 ක් ගෘහස්ථ හිංසනයන් හා සම්බන්ධ පැමිණිලි විය. අනෙක් අතට එකී කාල සීමාව තුළ මෙකී තත්ත්වයන් මත රෝහල් ගත වූවන්ගේ වර්ධනයක් පැහැදිලිව හඳුනාගත හැකි විය.

ගාහස්ථ හිංසන සිදුවීම් වර්ධනය වී ඇත්තේ ඇයි?

වසංගත/ව්‍යසනකාරී අවස්ථාවක මේ ලෙස ගෘහස්ථ හිංසන සිදුවීම්වල වර්ධනයන් ඇතිවන්නේ ඇයි? ගෝලීය වශයෙන් සිදුකර ඇති පර්‌යේෂණයන් ඔස්සේ මෙවැනි තත්ත්වයක් ගොඩනැගීමෙහිලා බලපානු ලබන සාධකයන් කිහිපයක් මූලික වශයෙන් හඳුනාගෙන තිබේ.

අපයෝජකයෙකු විසින් වින්දිතයෙකුට ඔවුන්ගේ ලෝකය තුළ වැදගත්ම පුද්ගලයා බව ඒත්තු ගැන්වීමට භාවිත කරනු ලබන පළමු පියවර හුදකලාවයි. පවුලේ සාමාජිකයන්, මිතුරන් ක්‍රමයෙන් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් ලෙස හුදකලාව භාවිත කිරීමෙන් අපයෝජකයාට අදාළ පරිසරය තුළ නිරායාස බලයක් ගොඩ නැගේ. මෙකී බලය විටෙක වින්දිතයාට හානිකර චර්යාවන් දැක්වීම දක්වා වර්ධනය විය හැක. මනෝචිකිත්සාව හා චර්යාත්මක විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන නාඩින් කැස්ලෝට අනුව සමීප සහකරු ප්‍රචණ්ඩත්වය ඉහළ නැංවීමට හුදකලාව මත ගොඩනැගෙන තත්ත්වයක් වන වින්දිතයාට ආරක්ෂාව හෝ උපකාර සොයා ගැනීමට ඇති විකල්පයන් අවම වීම යන සාධකය ද ඍණාත්මකව බලපානු ලබයි.

ආතතිය – ව්‍යසනකාරී තත්ත්වයන් සහ ආතතිය අතර පවතින්නේ අවියෝජනීය බැඳීමකි. නව රෝගය පිළිබඳ පවතින බිය, කාංසාව සහ අනාගත අවිනිශ්චිතභාවය ද මූලිකව පුද්ගලයා තුළ නිරායාස ආතතියක් ගොඩනගනු ලබයි. පුද්ගලයාගේ මෙම ආතතිය විටෙක සිය කුටුම්භය තුළ සිටින අනෙක් පුද්ගලයන් ඔස්සේ අහිතකර ලෙස පිටවීම සිදු විය හැක. 2017 වර්ෂයේ සිදුවූ හාර්වි සුළිකුණාටුවෙන් පසු සිදුකළ පර්‌යේෂණ දත්තයන් පවා ව්‍යසන කාලසීමාවක් තුළ ගොඩනැගෙන පුද්ගල ආතතිය ගෘහස්ථ හිංසනය සමඟ දක්වන බැඳියාව තහවුරු කරනු ලබයි.

ආර්ථික තත්ත්වය සහ විරැකියාව

වසංගත කාලසීමාවක් තුළ පුද්ගලයා තුළ ආතතිය ගොඩනැගීමේ මූලික ආතතිකාරකයක් ලෙස ආර්ථිකය යන සාධකය දෙස විද්‍යාඥයෝ වැඩි අවධානයක් ලබාදෙති. බහුතර පර්‌යේෂණ දත්තයන් පෙන්වා දෙනු ලබන්නේ ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින කුටුම්භවල ගෘහස්ථ හිංසන සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වන බවයි. 2007 – 2009 කාල සීමාව තුළ ගෝලීය වශයෙන් සිදු වූ ආර්ථික පරිහානිය මත ඇති වූ විරැකියා තත්ත්වය මත ගෘහස්ථ හිංසන සිදුවීම් ඉතා වැඩි වශයෙන් වාර්තා වීම නිදසුන් ලෙස පෙන්වා දිය හැක. තව ද ආචාර්ය මාර්ක් ටොටේන්ගේ මතයට අනුව පුරුෂාධිපති සමාජයක් තුළ කුටුම්භයෙහි ආර්ථිකය මෙහෙයවීමට පුරුෂයාට විඥානික සහ අවිඥානික හැඟීමක් ඇති අතර ම, යම් හේතූන් මත එකී වගකීම ක්‍රියාවට නැංවීමට නොහැකි වූ විට එය සිය පුරුෂ අනන්‍යතාවයට තර්ජනයක් ලෙස දකින ඔහු ඒ ඔස්සේ ආතතියට පත්වනු ලබයි. විටෙක මෙකී ආතතියේ අතුරු ප්‍රතිඵලයක් ලෙස ගෘහස්ථ හිංසනය ගොඩනැගීමේ සම්භාවිතාවක් පවතී.

මත්ද්‍රව්‍ය භාවිතයේ බලපෑම

මත්ද්‍රව්‍ය භාවිතය – ආක්‍රමණශීලීත්වයත් සමඟ දක්වන්නා වූ දැඩි සම්බන්ධතාවය මත ගෘහස්ථ හිංසන ඇතිවීමේ පුරෝකථකයක් ලෙස මත්ද්‍රව්‍ය භාවිතය හඳුනා ගත හැක. ආතතියෙන් පෙළෙන කාලවල දී මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍ය වෙත යොමුවීම සාමාන්‍ය නමුත් එය සැබැවින් ම දුරනුවර්තනීය යාන්ත්‍රණයකි. හුදකලාව, ආතතිය වර්ධනය වන්නා වූ මෙවන් ව්‍යසන කාල සීමාවක් තුළ මත්ද්‍රව්‍ය පරිභෝජනය ඉතා ඉහළ අගයක් ගනියි. 9/11 ප්‍රහාරයෙන් පසු කාලසීමාව තුළ ඇමරිකාවේ මත්පැන් පරිභෝජනය 17.5%කින් ඉහල යාම මීට නිදසුන් ය. මිනිසුන් සිය ආතතිය, හුදකලාව මත්ද්‍රව්‍ය සමඟ බෙදා ගත්ත ද එය ඍණාත්මකව බලපානු ලබන්නේ තමන්ට පමණක් නොවේ. (දිගු කාලීනව, අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් පෙණහලුවල ප්‍රතිශක්තිකරණ සෛල ක්‍රියාකාරිත්වය අඩාළ වන අතර එමඟින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය අවම වේ. එය කොවිඩ් 19 වයිරස ක්‍රියාකාරීත්වය ප්‍රබල වීමට මග පාදයි). මත්පැන් භාවිතය බොහෝවිට ගෘහස්ථ හිංසනයේ ස්වරූපයෙන් සිය ළඟම සිටින අනෙකාට ද හානි පැමිණවීමේ සම්භාවිතාවක් පවතී. කෙසේ නමුත් කොවිඩ් 19 කාලසීමාව තුළ ලාංකීය සමාජය මත්පැන් භාවිතය 80% කින්, දුම්කොළ භාවිතය 68% අතහැර දමා ඇති බව මද්‍යසාර සහ ඖෂධ පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙනු ලබයි. එය සැබැවින්ම ධනාත්මක ප්‍රවණතාවක් වන නමුත් එය සැබැවින් ම අතහැර දැමීමක් ද නැතහොත් සංචරණ සීමා මත ඊට ළඟාවීමේ අපහසුබව මත ගොඩනැගුණක් ද යන්න විමර්ශනය කිරීම වැදගත් වේ. මන්දයත් එය ළඟා වීමේ අපහසුබව මත ගොඩනැගුණක් නම් ඒ ඔස්සේ පුද්ගලයා තුළ ගොඩ නැගෙන ආතතිය නැවතත් පෙරළා ගෘහස්ථ හිංසනමය ස්වරූපයෙන් පිට විය හැක.

සමාජයීය වගකීම

මෙවැනි අයහපත් ප්‍රවණතාවන් වළක්වා ගැනීම වෙනුවෙන් පුද්ගලයෙක් ලෙස එසේත් නැත්නම් සමාජයක් ලෙස සිදු කළ හැක්කේ මොනවා ද? කොවිඩ් 19 සංචරණ සීමා තුළ අතුරු ප්‍රතිඵලයන් වශයෙන් ගොඩනැගෙන්නා වූ මෙවන් සාධකයන් වෙනුවෙන් රාජ්‍ය යාන්ත්‍රණයන් ගොඩනැගීම මූලික වශයෙන් අනිවාර්යය වේ. දැනටමත් එකී යාන්ත්‍රණයන් ක්‍රියාත්මකව පැවතුන ද එකී යාන්ත්‍රණයන් සම්බන්ධව ජනතාවගේ දැනුවත්භාවය සම්බන්ධයෙන් තිබෙන්නේ ගැටලුකාරී තත්ත්වයකි. සමාජ මාධ්‍ය ඇතුළු විද්‍යුත් මාධ්‍යන් වැඩි වශයෙන් භාවිත කරන්නා වූ මෙවන් කාල සීමාවක වඩාත් නිර්මාණශීලී භාවිතයන් ඔස්සේ තොරතුරු සමාජගත කිරීම සිදුකළ හැකිව තිබේ. ගෘහස්ථ හිංසන අවධානම් සාධක අවම කිරීම, එවන් අවස්ථාවක දී ප්‍රතික්‍රියා දැක්විය යුත්තේ කුමනාකාරයෙන් ද නැතහොත් පැමිණිල්ලක් සිදු කරනවානම් එකී ක්‍රියාවලිය කුමනාකාර ද වැනි සාධකයන් එහි දී මුල්කොට ගත හැක. මෙවන් දැනුවත් කිරීම් දිස්ත්‍රික් මට්ටමින්, ප්‍රාදේශීය මට්ටමින් ගොඩනැගීම ද වැදගත් වේ.

රජයට විතරක් බෑ

අනෙක් අතට රජයට මෙහි සියලු වගකීම් පැවරීම ද සාධාරණ නොවේ. මන්දයත් පුද්ගලික වශයෙන් ද අපට මෙවන් තත්ත්වයන් වළක්වා ගැනීමෙහිලා වැඩි කාර්යභාරයක් පවතී. විශේෂයෙන්ම තමන් මෙම ඝට්ටනයේ අපයෝජක පාර්ශ්වය නියෝජනය කරයි නම් හැකිතාක් දුරට සිය ආතතිය වර්ධනය කරන්නා වූ ආතතිකාරකයන් හඳුනාගෙන ඊට පිළියම් යෙදීම වැදගත් වේ. සන්නිවේදන ප්‍රභවයන් භාවිත කරමින් යහපත් ලෙස සම්බන්ධතා පවත්වාගෙන යාම, ආතතිය මග හැරීම වෙනුවෙන් ගෘහස්ථ හිංසනයට මග පාදන්නා වූ මත්පැන් පරිභෝජනය වැනි පුරුදු අවම කිරීම වැනි ක්‍රියාවන් පුද්ගලික වශයෙන් සිදුකළ යුතුව තිබේ. මේ ආකාරයෙන් සිතීමට/කටයුතු කිරීමට හැකි නම් ඒ පුද්ගලයා ගෘහස්ථ හිංසනයට පෙලඹෙන්නේ දැයි කෙනෙකු ප්‍රශ්න කළ හැක. එම ප්‍රශ්නය සාධාරණය. නමුත් පුද්ගලයා තමන් මේ ලෙස හිංසාකාරී චර්යාවන්වලට පෙලඹෙන්නේ මන්දැයි යන්න හෝ එයින් වන අගතිය පිළිබඳව මින් පෙර කල්පනා කර නොතිබෙන්නට පුළුවන. මේ උත්සාහය ඒ සිතා බැලීම වෙනුවෙන් යම් පෙලඹවීමක් සිදු කිරීම ය.

රෑ වැටුණු වළේ දවල් නොවැටීමට නම්

මෑත කාලීන ඉතිහාසයේ ගෝලීය දත්තයන් මත මීට මාස කිහිපයකට ඉහත වර්ධනය වූ ගැටලුවක් නැවතත් සමාජගත කරන මේ වෑයමේ ඵලය කුමක්දැයි කෙනෙකුට තර්ක කළ හැක. කොවිඩ් 19 අවසන් වූවායැයි ඔබත් මමත් කළ නිගමනවල නිෂේධාත්මක බව පසක් කරමින් නැවතත් ගෝලීය වශයෙන් කොවිඩ් 19 හිස ඔසවමින් පවතී. මීට මාස කිහිපයකට ඉහත දී උගත් පාඩම් ක්‍රියාත්මක කර බැලීමට හොඳ ම කාලය මෙයයි. මේ කාලය තුළ ද එකී අයහපත් ප්‍රවණතාවන් නැවත නැවත සිදුවේ නම් සමාජයක්, රටක් ලෙස අප පසුගාමී බව අප පිළිගත යුතු ය. එකී ඍණාත්මක ප්‍රවණතාවන් අවම කිරීම වෙනුවෙන් කටයුතු කළ යුතු ය. මන්දයත් රෑ වැටුණු වළේ දවල් ද වැටේ නම් එහි වරද අදාළ වළේ නොව අපේ වන බැවිනි.

ඕෂද පෙරේරා – සහය කථිකාචාර්ය මනෝවිද්‍යා දෙපාර්තමේන්තුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments