මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වීමට යුක්රේන ගුවන් කණ්ඩායමක සබඳතාවක් ඇති බවට බුද්ධි අංශ මේ වනවිට සියයට 80 ක් පමණ අනාවරණ කරගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
මේ අතර, ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 457 දෙනෙකු අලුතින් හඳුනාගත් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.
ඒ අනුව, මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්රිත පොකුරුවලින් මේ වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 5396 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හිරු පත්තරේ විස්තරේ වැඩසටහනට අද එක්වෙමින් මිනුවන්ගොඩ – බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර නිර්මාණය වීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ බුද්ධි අංශ වාර්තාව පිළිබඳව පැහැදිලි කළා.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේ රෝග ව්‍යාප්තිය තවමත් පොකුරු මට්ටමක පවතින අතර, රෝගීන් වාර්තා වීම පාලනයට ජනතාවගේ දායකත්වය ද අවශ්‍ය බවයි.
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 8,870 ක් ලෙසයි. මියගිය රෝගීන් සංඛ්‍යාව 19 ක්.
ඊයේ දිනයේ රෝගීන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඒ අතරින් 19 හැවිරිදි තරුණයා උපතින්ම රෝගාබාධ වලින් පෙලුණු පුද්ගලයෙකු බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර, කළුබෝවිල ශික්ෂණ රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පියාට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ ඔහු සහ එම වෛද්‍යවරයා සමඟ පසුගියදා ශල්‍යකර්මයකට එක්වූ තවත් විශේෂඥ වෛද්‍යවරියක නිරෝධානයට යොමුකර ඇති බව රෝහල් පොලීසිය සඳහන් කළා.
එසේම, බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරින් 15 දෙනෙකුට මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
බස්නාහිර පළාත භාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නිවේදනය කළේ ඒ අනුව, නිරෝධායන මධ්‍යස්ථාන වෙත පොලිස් නිලධාරින් 96 දෙනෙකු යොමුකර ඇති අතර, 708 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි.
එසේම, වෙරළබඩ පොලීසියේ නිලධාරින් දෙදෙනෙකු සහ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ තවත් නිලධාරියෙකුට කොරෝනා වෛරසය වැලදී ඇතැයි ද පොලීසිය සඳහන් කළා.
මේ අතර, මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් ඇතුළු 23 දෙනෙකුට මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
ආරච්චිකට්ටුව, පෙරියකරුක්කුපනේ ප්‍රදේශයේ තවත් කෙරෝනා ආසාදිතයින් 4 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
කොත්මලේ, පූඩළුඔය වතුයායකින් ද තවත් ආසාදිතයෙකු හමුවී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදඟන් කළේ.
ආගරපතනේ වතු යායකින් ද තවත් ආසාදිතයෙකු හඳුනාගෙන තිබෙනවා.
එසේම, කටුනායක ආයෝජන කලාපයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 404 දක්වා ඉහළ ගියා.